භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාමයට වැඩ එහි වසන සෙමෙහි, බුද්‍ධත්වයෙන් අටවන වර්ෂයෙහි මණිඅක්ඛික නම් ලක්වැසි නාගාධිපතියෙක් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ලක්දිව වඩනට ආයාවන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ අයැදුම පිළිගත් සේක.
නා රජ තෙම සතුටු ව ලක්දිව ගොස් ස්වකීය කැළණි පුරය සරසවා, බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට සෙනසුන් පිළියෙළ කරවා, භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා හා පෙර මගට වුත් බලා සිටියේ ය.
මේ දවස වනාහි වෙසක් මස පුණු පොහෝ දා ය. භාග්‍යවතුන් වහන්සේ මහද්භික්ෂු සංඝයා පිරිවරා අප්‍රමේය බුද්ධානුභාවයෙන් බබලමින් ලක්දිව වැඩ කැළණියට බැස්ස සේක. නාගයෝ බුද්‍ධ ප්‍රමුඛ සංඝයා වඩා හිඳුවා දන් වැළැඳැවූහ. වළඳා අන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ පහත සඳහන් අදහස් ඇති දහමක් දෙසූ සේස්ක.
[1] 162 “පින්වත් නාගයිනි, අසවු. සසර සත්ත්වයෝ බුදුවරයකු ලබා ද පිහිට කොට නොගන්නෝ අනාථ ව දුකෙහි ගැලෙති.”
“නාගයිනි, දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය බොහෝ කලෙකින් ලබාගෙන සිටින තෙපි පමා නො වවු. සසර වසන්නහුට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෞර්මනස්‍යයෝ නියත හ. සසරින් මිදුණාහට එ කිසි දුකෙක් නො වේ.”
“ සත්ත්වයන්ගේ තරුණ බව නෙලුම් මලෙක ස්වභාව සේ ස්වල්ප කලක් පවත්නා එකෙකි. ජීවිතය පිනිබිඳක් මෙන් නිස්සාර ය. ධන සම්පත් රළ බිඳීම මෙන් අස්ථිර ය. සිත නිතර නන් වැදෑරුම් ශෝකයෙන් තැවේ”
“පෙර ආකාශචාරී ඍද්‍ධිමත් සෘෂිහු ද ස්ත්‍රී රූපයෙහි ඇලුණෝ ධ්‍යානයෙන් පිරිහී වනසට පැමිණියහ. නුවණැත්තෙනි, තෙපි එ බැවින් රූපයෙහි නො ඇලෙවු.”
“පෙර එක් මොනරෙක් සෙබඩක ගේ හඬෙහි ඇලුණේ ඒ අනුව ගියේ වැද්දකුට අසු විය. එ හෙයින් ශබ්දයෙහි ඇල්ම ද මහත් දුකට කාරණ ය.”
“මී මැසි තෙම මද ගන්ධයෙහි ඇලුණේ මල් පැණියෙහි ඇල්ම ද හැර දමා මතැතුන් ගේ කුම්භස්ථලයට පැමිණ කන් තල පහර ලබා සුන් බුන් ගාත්‍ර ඇත්තේ වනසට පැමිණේ. ගන්ධයෙහි අල්ම ද විනාශයට කාරණයෙකි.”
“ගැඹුරු ජලයෙහි බොහෝ ආහාර ඇත ද, රසයෙහි ගිජු වූ මත්ස්‍ය තෙම බිලිය ගිල මහත් දුකට පැමිණේ. රස කාමයෙහි දොස් සලකා ඒ හැර දමවු.”
පෙර ඇත්බැවෙක “බඹ ලොවින් චුත ව වුත් මිනිස් ලොව ඉපිද පරිශුද්ධ බ්‍රහ්මචාරී ව සිටි බෝධිසත්ත්ව තෙමේ ද ස්ත්‍රී සංගමයෙහි ඇලුණේ තම සතු රාජ්‍යයෙන් ද පිරිහුණේ ය. ස්ප්‍රෂ්ටව්‍යකාමය මහත් ව්‍යසනයට කාරණයෙකි.”
එබැවින් මෙ කී පංචකාමයන්හි ඇල්ම හරිවු.
“පෙර කැනහිල් සා වඳුරු දියබලු යන අහේතුක ප්‍රතිසන්ධි ඇති සත්වයෝත් දාන පාරමිතාව පුරා ඉන් මිදී අවුත් නිවන් සැප ලදහ. නාගයිනි, නිවන් පතන කවරෙක් දානපාරමිතාව නො පුරා ද?”
“ඒ දාන ශීල හේතුයෙන් ලැබෙන ස්වර්ගය මහත් රත්න ප්‍රාසාදාදියෙන් ගැවැසී ගත්තේ ය. බොහෝ දෙවඟනන්ගෙන් සුන්දර ය. පිපි පුෂ්ප ජාතියෙන් යුත් පද්මාකර උද්‍යානාදීන් සිත් කළු ය. එහි දෙවියෝ මරණය නැත්තවුන් සේ නිතර සැපෙන් කල් යවත්.”
“පින්වත්නි, ඒ දිව්‍ය සම්පත්තියට වඩා බ්‍රහ්ම සම්පත්තිය රම්‍ය ය, එයටත් වඩා නිර්වාණ සම්පත්තිය ශ්‍රේෂ්ඨ ය. එ බැවින් සිය දියුණුව පතන නැණැතියෙනි, ඒ නිවන් ලබනු පිණිස නිතර වීර්‍ය්‍ය කරවු.”
-
සමන්තකූට වණ්ණනා ↑