භාග්‍යවතුන් වහන්සේ සුනාපරන්තයට වැඩීම

සච්චබද්ධ ජටිලයා පැහැදවීම

භාග්‍යවතුන් වහන්සේ ද ඒ පිළිගෙන, පසුදා පන්සියයක් භික්ෂු සමූහයා හා අහසින් වැඩි සේක. එ සේ වඩින බුදුරජාණන් වහන්සේ අතර මඟ සච්චබද්ධ නම් පර්වතයකට බැස එහි උග්‍ර තපස් ඇති ජටිලයාට දම් දෙසා ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කොට, ඒ භික්ෂු ද කැටි ව වෙළෙඳ ගම් වැඩි සේක.

ගම් වැස්සෝ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට මහ දන් දී තමන් තැනැවූ ආරාමයට වැඩම කැරැවූහ.

සුනාපරන්ත වාණිජ සමාගම

සවස් කාලයෙහි ගම් වැස්සෝ මල් පහන් ආදිය ගෙන ආරාමයට ගියහ. ඔවුනට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. ඔහු සෝවාන් ආදී මාර්ග ඵලයනට පැමිණියහ. ඔවුනට වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි කිහිප දිනක් ම වුසූ සේක.

නර්මදා නදී තීරයෙහි පා සටහන තැබීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන් එහි ම නවතා, ඉන් නික්ම නර්මදා නදී තීරයට වැඩි සේක. නර්මදා නා රජ පෙර ගමන් කොට, භාග්‍යවතුන් වහන්සේ ස්වීය භවනයට පමුණුවා මහත් සත්කාර කෙළේ ය. ඒ නා රජුගේ ආයාචනයෙන් භාග්‍යවතුන් වහන්සේ නර්මදා නදී තීරයෙහි පාද ලාංඡනය තැබූ සේක.

සච්චබද්ධ පර්වතයෙහි පා සටහන

ඉක්බිති සච්චබද්ධ[1] පර්වතයට වැඩ එහි සච්චබද්ධ තෙරුන් නැවැත් වූ සේක. පූජ්‍ය වස්තුවක් තෙරණුවෝ ඉල්ලූ හ. භාග්‍යවතුන් වහන්සේ ගල මත්තෙහි අලුත් මැටි පිඩෙකැ මෙන් පාද ලාංඡනය තැබූ සේක.

  1. කඳුහතක් එකට බැඳී පිහිටි බැවින් මෙය සත්තබද්ධ නම් වූ පසු වැ සච්චබද්ධ නම් විය. අද මෙය ඒළු මලෙයි නමින් ප්‍රසිද්ධ ය. මදුරාසි දිස්ත්‍රික්කයට අයත් ය. තිරුපතිපුරය මේ කන්ද පාමුලය.