නාග ජනයෝ මේ ධර්ම කථාව මොනවට පිළිගත්හ. ධර්ම දේශනාව ඒ පිරිසට සාර්ථක විය. ඒ මහා සභාවට පැමිණි සුමන දෙව්රජ තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ, තමා වසන සමන්තකූට පර්වතයට ද වඩින ලෙස ආයාචනා කෙළේ ය. එය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සමූහයා සහිත වැ එදා පස්වරුයෙහි අහසින් ඒ පර්වතය කරා ද වැඩි සේක. මහත් දේවගණයා රැස්වී ය. මෙහිදී සුමන දිව්‍ය රාජයා සිරිපා සටහන තබන මෙන් භාග්‍යවතුන් වහන්සේ ඇයැදී ය. භාග්‍යවතුන් වහන්සේ ද වම් සිරිපා ලකුණ එහි පිහිටු වූ සේක.
ඉක්බිති පර්වත ප්‍රාන්තයෙහි එක් ගල් ගුහායෙක දිවා විහරණය කළ සේක. ඒ භගවද්ගුහා නමින් දන්නා ලදී. ශ්‍රාවකයෝ පර්වතයෙහි තැන තැන දිවා විහරණය කළහ.
ඉන්පසු ශ්‍රාවක ගණයා සහිත බුදුරජාණන් වහන්සේ එ තැනින් නික්මැ අහසින් රුහුණු ජනපදයට වැඩ එහි දැන් දීඝවාපි ස්තූපය පිහිටි තැන නිරෝධ සමාපත්තියෙන් මඳ වේලාවක් හුන් සේක.
එයින් අහස් නැග අනුරාධපුරය වූ භූමිභාගයට වැඩ සිරිමහ බෝමැඩ, මඟුල් මහසෑය, අකුදා නිදන් කළ තැන යන මෙකී ස්ථානයන්හි මඳ මඳ වේලා නිරෝධ සමාපත්තියෙන් කල් යවා. දැන් ශෛල චෛත්‍යය වූ ස්ථානයට වැඩ, එහිදී දම් දෙසා ඉන් අහස් නැග දඹදිව සැවැත්පුර ජේතවනාරාමයට ම පෙරළා වැඩි සේක.