විකුර්වණර්ද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය පෑම තහනම් කිරීම

භාග්‍යවතුන් වහන්සේ රජගහ පුරැ වසන සමයෙහි රාජගෘහික සිටු සැට රියන් පමණ ඉහළ රත්හඳුන් පාත්‍රයක් එල්වා “සෘද්‍ධිමත් රහතෙක් ඇත්නම් මෙය ගනී වා” යි නුවර ප්‍රකාශයක් කැරැවී ය. ඔහු රවටා එය ගැන්මට පූරණකාශ්‍යපාදී තීර්ථකයෝ නොයෙක් උපාය කොටත් නො හැකි වූහු. සත් වන දින පින්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ අහසින් වැඩ පෙළහර දැක්වූයෙන්, සිටු එය උන් වහන්සේට පිරිනැමී ය. මේ කාරණය ඇරැබ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා විකුර්වණර්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීම තහනම් කළ සේක. එ විට තීර්ථකයෝ “මෙයට පසු ශ්‍රමණ ගෞතමයනුත් තත් ශ්‍රාවකයනුත් ප්‍රාතිහාර්‍ය්‍ය නො පාති” යි සිතා “අපි පාත්‍රයක් ලබනු සඳහා අපේ රහත් ගුණය ප්‍රකට නො කෙළෙමු. එහෙත් මින් පසු ශ්‍රමණ ගෞතමයන් හා ම ප්‍රාතිහාර්‍ය්‍ය පාන්නමු” යි කියා ඇවිද්දහ.

බිම්සර රජු මේ ගැන භාග්‍යවතුන් වහන්සේ විචාළහ. එ විට භාග්‍යවතුන් වහන්සේ රජහු තමා ගේ අඹ උයනෙහි ඵල අනුභව කිරීම තහනම් කළොත් එය රජු හැර සෙස්සනට ම බවත්, එ මෙන් ම ඒ තහනම තමන් වහන්සේ ට නො වන බවත් ශ්‍රාවකයනට ම බවත් තව සාර මසෙකින් සැවැත් නුවර සමීපයේ ගණ්ඩම්බ රුක ළඟ දී පෙළහර පාන බවත් වදාළහ. එකී දින රජගහ නුවර පිඬු පිණිස හැසිර දවල් දන් වළඳා, ඉක්බිති එයින් නික්ම සැවැත් පුර අතට වැඩිසේක. තීර්ථකයෝ ද “ශ්‍රමණ ගෞතමයෝ අප හා ප්‍රාතිහාර්‍ය්‍ය නො පා පලායෙති” යි කියමින් බුද්‍ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා පසු පස්සෙන් ගමන් කළහ. ඔවුන් අනු ව බොහෝ ජනයෝ ප්‍රාතිහාර්‍ය්‍ය දක්නා අටියෙන් සැවැත් නුවර බලා ගියහ. භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩ ගණ්ඩම්බ රුක් මුල දී ඇසළ මස පුර පසොළොස්වක් දා සවස ප්‍රාතිහාර්‍ය්‍ය දැක් වූ සේක.