රූප මදයෙන් මත් වූ ඛෙමා

මදුරට සාගල නුවර රජ කුලයෙහි විශිෂ්ට රූපශ්‍රීන් හෙබි ඛෙමා නම් කුමරියක් වූය. වැඩි විය පැමිණි ඕ බිම්බිසාර මහ රජුගේ මෙහෙසි වූවා ය. ඕ තොම රූප මදයෙන් මත් වූවා, බුදු රජුන් රූපයට නිග්‍රහ කරති යි අසා භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ගියා ය. රජ තෙම දේවිය බුදු රජුන් දැක්මට යවන අදහසින් උපායක් යොදන්නේ, වේළුවනයේ අලංකාරය වණන ගීතිකා බඳවා නෘත්‍යකාරාදීනට දෙවී ය. ඔවුන් ගයන ඒ ගී ඇසූ බිසවට වෙළුවනය පෙර නොදුටුවාක් මෙන් හැඟුණේ ය. දිනෙක වේළුවන දර්ශනාභිලාෂයෙන් ම එහි ගියා ය. “භාග්‍යවතුන් වහන්සේ දක්නට නො පැමිණ, ආපසු එන්නට සැරසුනොත් බලාත්කාරයෙන් වත් ඇය උන්වහන්සේ වෙතට ගෙන යෑ යුතු යැ” යි රජු රාජ පුරුෂයනට අණකොට තිබුණේ ය. දේවි තොමෝ ද වේළුවනය බලා ඇවිද භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ගොස් ආපසු එන්නට සැරසුණා ය. රාජ පුරුෂයෝ ඇය බලාත්කාරයෙන් බුදුරජාණන් වහන්සේ ඉන්නා තැනට ගෙන ගියහ.

ශාස්තෘන් වහන්සේ ඇය එන්නිය දැක, සෘද්‍ධියෙන් දෙවඟනක වැනි ශ්‍රීමත් ස්ත්‍රියක තමන් වහන්සේ වෙත සිට විජිනිපතක් ගෙන පවන් සලන්නා සේ ඇයට පෙනෙන්නට සැලැස්වූ සේක. ඛේමා එය දැක “මෙබඳු දෙවඟනන් වැනි රූප ශ්‍රී ඇති ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සිටිත්. මම මොවුන් ගේ මෙහෙකාරකමට වත් නො වටනා තරම් ය. භාග්‍යවතුන් වහන්සේ රූපශ්‍රීයට නිග්‍රහ කරන සේකැ යි රටේ පවත්නා කථාව බොරු චෝදනාවකැ” යි සිතුවා ය. සිතා, ඒ ස්ත්‍රී රූපය දෙස ම බලාගෙන සිටියා ය. ඇය බලා සිටියැ දී ම බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි, ඒ ස්ත්‍රී රූපය ප්‍රථම වයස ක්‍රමයෙන් ගෙවා, මධ්‍යම වයසට ද, එය ද ඉක්මැ මහලු වයසට ද පැමිණ, ඉසකේ පැසුණු සම රැලි වැටුණු විරූප වූ කඩදත් මැහැල්ලක් වී, විජිනිපත හැර දමා බිම වැටුණේ ය. ඛේමා තොම ඒ බලා සිට මෙබඳු ශ්‍රීමත් ශරීරය පවා මෙසේ විනාශයට පැමිණියේ ය. මගේ ශරීරයත් මෙසේ ම වන්නේ නො වේ දැ” යි සිතුවා ය. ඇගේ රූප මදය හීන වී නුවණ මුහුකුරා ගිය බව දත් බුදුරජාණන් වහන්සේ ශරීරයේ පිළිකුල ප්‍රකාශ කොට දම් දෙසූ සේක. එය ඇසීමෙන් කෙලෙස් බර ගතිය තුනී ව නිරෝග වූ සිත් ඇති ඇයට මහානිදාන[1] සුත්තය වදාළ සේක. එය අසා ඕ සෝවාන් ව රජු ගෙන් අවසර ගෙන පැවිදි වූවා ය. එයින් අඩ මසක් ගිය තැන පහනක් ඇවිලීමත් නිවීමත් දැක ඒ අරමුණු කොට විවසුන් වඩා රහත් වූවා ය.

  1. මෙය දික්සඟියේ සූත්‍රයකි.