යමා මහ පෙළහර

පෙළහර පාමින් අතරින් පතර ඒ පිරිසට දහම් දෙසු සේක. පෙළහර දක්වා ඉක්බිති එයින් ම තව්තිසා භවනයට වැඩි සේක. එකෙණෙහි ඒ සේනාව භාග්‍යවතුන් වහන්සේ නො දැක “බුදුරජාණන් වහන්සේ කොහි වැඩි සේක් දෝ” යි කියා හැඬූහ. ඔහු මුගලන් තෙරුන් වෙත එළැඹ “භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩිසේක් දැ”යි විචාළහ. උන් වහන්සේ තමන් කාරණය දත් නමුත් අන් තෙරුන්ගේ ගුණය ප්‍රකට කරනු අටියෙන් “අනුරුද්ධ තෙරුන් ගෙන් ඇසුව මැනැවැ” යි වදාළ සේක. ඉක්බිති ඔහු අනුරුද්ධ තෙරුන් විචාළහ. තව්තිසා භවනයෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වැස මාතෘ දෙව් රජුට අභිධර්මය දෙසනු පිණිස වැඩි බව අනුරුත් තෙරණුවෝ වදාළහ. “කවර දා පෙරළා වඩනා සේක්දැ”යි ඔහු විචාළහ. “වස් තුන් මස ගත කොට පවාරණ දිනයෙහි යැ” යි තෙරණුවෝ වදාළහ. එ විට පෙළහර දැකීමට රැස් වූ මහ පිරිස කඳවුරු බැඳ එහි ම එ තුන් මස රැඳුණහ. චුල්ල අනාථපිණ්ඩික සිටුහු ඒ සියල්ලට ආහාර පාන බුලත් ආදියෙන් තෙ මස මුළුල්ලෙහි ම සංග්‍රහ කළහ. ඔවුනට බණ වදාරන්නට මුගලන් තෙරුනට භාග්‍යවතුන් වහන්සේ කලින් ම නියෝග කර තුබුණෙන් උන්වහන්සේ එහි ම රැඳී එ තුන් මසෙහි ඒ පිරිසට ධර්ම කථායෙන් සංග්‍රහ කළ සේක.