සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වන නිවන වූකලී විවිධවූ ද, ගම්භීරවූද, මහා ප්‍රඥාසමුදායයන් තුළ බොහෝ කලක් මුළුල්ලෙහි පහළවී පැලඹුණු පැණ-පිළිතුරු මැදින් ඒවා අභිබවා පැනනැඟුණු විශිෂ්ට තත්ත්වයෙකි. මේ නිවන මනඃකල්පිත වූ සංකල්ප මාත්‍රයක් නොව, විද්‍යමාන වූ ලෞකිකත්වය ඉක්ම සිටි, ලෝකෝත්තර පරමාර්ථ ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක. ඒ මෙසේයි:
“අත්‍ථි භික්ඛවෙ, තදායතනං, යත්‍ථ නෙව පඨවි, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලොකො, න පරලොකො, න උභො චන්‍දිමසුරියා, තත්‍රාපාහං භික්ඛවෙ, නෙව ආගතිං වදාමි. න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං, අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමෙවෙතං, එසෙවන්තො දුක්ඛස්සාති.”[1]
“මහණෙනි, යමෙක්හි පෘථිවි ධාතුව නැද්ද, ආපොධාතුව නැද්ද, තේජො ධාතුව නැද්ද, වායො ධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤානඤ්චායතන සිත නැද්ද, ආකිඤ්චඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ ස්කන්ධ ලෝකය නැද්ද, එහි අඳුරක් නැති හෙයින් අඳුර දුරලන්නට සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූද, මාර්ග-ඵල සිතට අරමුණු වන ආයතනය (නිවන) ඇත.”
“මහණෙනි, එහිත් කිසිවකුගේ ඊමක්, යාමක්, සිටීමක්, මරණයක්, මැරී ඉපැද්මක් මම නොකියමි. මෙය කිසිවක නො පිහිටි, ප්‍රත්‍යයන්ගෙන් නොපවත්නා, කිසිම අරමුණක නොඑල්බෙන දහමෙකි. මෙයම දුකෙහි කෙළවරය.”[2]
“අත්‍ථි භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසංඛතං, නොචෙතං භික්ඛවෙ අභවිස්සා අජාතං අභූතං අකතං අසඞ්ඛතං නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ, යස්මාච ඛො භික්ඛවෙ, අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස නිස්සරණං පඤ්ඤායති.”[3]
“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්[4]) නොඋපන්, කාරණයෙන් තොරව තෙමේම පහළනොවූ කිසිවකින් නොකරනලද, ප්‍රත්‍යයෙන් අසංස්කෘතවූ[5] නිර්වාණ ධාතුව, පරමාර්ථ වශයෙන් ඇත. මහණෙනි. මේ හේතුප්‍රත්‍යයෙන් නොඋපන්, නොපහළවූ, නොකරන ලද, අසංස්කෘත, නිර්වාණ ධාතුව ඉදින් පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන නම්, මෙහි හේතු ප්‍රත්‍යයෙන් උපන් පහළවූ, කරන ලද, සකස්වූ ස්කන්ධ පඤ්චකයේ නිස්සරණයෙක් (සංසිඳීමෙක්) නොපැනෙන්නේය. (නොලැබිය හැකි වන්නේය.) මහණෙනි. යම් හෙයකින්ම නො උපන්, නොපහළවූ නොකරන ලද, නොසකස්වුණු ධාතුවෙක් පරමාර්ථ වශයෙන් ඇද්ද, එහෙයින් උපන්, පහළවූ, කරණ ලද, සකසක්වුණු ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙක් (සංසිඳීමෙක්) පැනේ.”[6]
මේ දේශනා දෙකෙන් මුල දේශනාවෙහිදී භූත, භෞතික ධර්ම කොටස් කිසිවකින් නිවනට සම්බන්ධයක් නැති බව දක්වන ලද්දේය. මෙහිදී නිර්වාණ ධාතුව භෞතික සම්බන්ධය ලැබෙන සකල රූපධාතූන්ගෙන් වෙන් වූ ධර්මයක් බවද නිශ්චිත විය. එය අරූප ධාතූන්ගෙන් වෙන්වූ ධර්මයක් බව ඊළඟට දැක්වූහ. සිවුවනුව දක්වන ලදදේ නිබ්බාන ධාතුවට කිසි ලෝක ධාතුවක් සම්බන්ධ නැති බවය. ඉර හඳ දෙකින් කෙරෙන්නේ භූත[7] භෞතික ධර්මයන් සම්බන්ධ කරගෙන යනු ලබන අඳුර දුරලීම් ආදියයි. එයින් නිවනට ප්‍රයෝජනයක් නැත. එහෙයින් ඒ දෙක නැත. පස්වෙනුවට යාම්, ඊම්, පිහිටීම්. ඉපදීම්, චුතවීම් නිවනෙහි නැති බව වදාළහ. ඒවා ලෝකයේ ලැබෙන සිදුවීම් හෙයිනි. මෙසේ මේ සූත්‍ර දේශනාවෙන් සමාන්‍ය මහජනයාගේ සිතට වැදෙන අන්දමින් නිවන පැහැදිලි කළ හැටි සළකාගත හැකිවෙයි.
දෙවන දේශනාවේ අදහස එයට වඩා ගැඹුරුය. යුක්ති අනුව නිවනේ විද්‍යාමාන භාවය ඔප්පු කරන ලදී. එහි.
- අජාත නම්, උපතක් නැති බවය, ජාතික්ඛය (උපත ගෙවාලීම) අදහසය.
- අභූත නම්, වීමක් නැති බවය.
- අකත නම්, කළ දෙයක් හෝ කිරීමක් නැති බවය.
- අසඞ්ඛත නම්, සංස්කරණයක් නැති බවය.
උපදවනුවට හෝ පවත්වනුවට ඕනෑකරන සංස්කාර දුක්ඛයේ අභාවය යන තේරුමය. තවද, ජාතික්ඛය යනු ද වෙන ම එක් ධර්ම ධාතුවකි. එහෙයින් ඒ වෙන්ව ලැබෙන ධර්ම ධාතුව සඳහා “නත්‍ථි ජාතං එතස්ස” (මෙයට උපත නැත) යන තේරුම ගෙන උපත ගෙවා දැමූ ධර්ම ස්වභාවය යන අදහස ලැබේ. පැහැදිලි කිරීම මෙසේ විය යුතුය.
සංඛත ධර්මයෝ නම් ප්‍රත්‍යය ඇති කල්හි උපදින්නාහුද, ප්‍රත්‍ය නැති කල්හි නො උපදින්නාහුද වෙති. මෙසේ ඒ සංඛත ධර්මයනට ජාතය[8] මෙන්මැ අජාතය[9] ද ඇති විය යුතු සේ සැලකෙයි.
නොයෙක් විධියේ ආශාවන් ජාතය පහළ කරනු පෙනෙයි. නොයෙක් විධියේ තරහ, ක්‍රෝධ, ද්වේෂයන්, ඊර්ෂ්‍යාවන්, මසුරුකම්, මෝඩකම්, විචිකිච්ඡාවන්, උද්ධච්චයන්, දෘෂ්ටීන් නිසා ජාතය පෙනෙයි. මෙහි ලැබෙන්නේ සැපක් නොවේ. තාවකාලිකව ලැබෙන ආශ්වාදයෙන් ඇතැම් විටෙක සැප හැඟීමෙක් ඇත ද එය චලය, පෙරළෙන සුලුය. විපරිණාම දුකින් මිරිකී යයි. මෙයින් වෙනස් ව අජාතය නම් සැපය, සැනසුම් සහිතය, සහනය සලසා ලන්නේය.