ජාතයෙන් අජාතය ඔප්පු කිරීම

ජාත සඞ්ඛතයන්ගේ මේ පීඩාකාරී ස්වභාවයට ලෝකය කැමැති නැත. එහෙයින් එයට විරුද්ධව නොයෙක් විදියේ ප්‍රතික්‍රියාවන් කරන්නාහ. ඔවුන් කරන ප්‍රතික්‍රියාවන් නුවණින් යොනිසෝ මනසිකාරයෙන් තොරවීම නිසා නරක අතට හැරී දුක් ගිනි ජාලාව වැඩි වැඩී යන සැටි පෙනෙයි.

සසර හැම භූමියකම අඩුවැඩි පීඩාකාරී වූ විපරිණාම ස්වභාවයෙන් පෙනෙන මේ ප්‍රතිඵල රාශිය පිළිබඳ අවසානය සත්ත්වයන්ගේ පැතුම් අනුව ලැබිය යුතුය. එය නම් සුදුසු අනුරූප ක්‍රියා මාර්ගයක් අනුගමනයෙන් අත්පත්වන අජාත තත්ත්වයයි. අජාත තත්ත්වය වනාහි ජාතත්ත්වයේ අවසානයයි. මේ අජාත තත්ත්වය නම් නිවන යයි බුදුරජාණන් වහන්සේ වදාළහ. අජාත තත්ත්වයක් නැත්නම් ජාතතත්ත්වයේ ලැබෙන දුක්ගිනි මැලයෙන් පිටවීමක් සිදුවිය නොහැකිය. එසේ වන විට ලෝක පුරුෂයා විසින් කරනු ලබන වීර්‍ය්‍යය, ප්‍රතිපත්ති රාශිය නිෂ්ඵල වන්නේය. ශීලාදී ප්‍රතිපත්ති මාර්ගය, වනාහි ඒකාන්ත ඵෙහලෞකික[1] වශයෙනුත් සැපය ගෙන දෙන්නේය. එහෙයින් ජාතියෙන් නිස්සරණය වූ නිවන ලැබිය යුතුය. විද්‍යමාන විය යුතුය.

බුදුරජාණන් වහන්සේ නිවන සසවිසාණ[2] මෙන් අවිද්‍යාමාන තත්තවයක් නොව, අභාව පදාර්ථයක් ද නොව, විද්‍යමාන භාව පදාර්ථයක් බව ඔප්පුකිරීමට මේ සූත්‍රයේ දී න්‍යාය ක්‍රම දෙකක් අනුගමනය කළහ. එනම්: අන්වය ක්‍රමය හා ව්‍යාතිරෙක ක්‍රමය ද වේ.

  1. අන්වය[3] (අනුපගමා) - තත් සත්තායං තත් සත්තා,
  2. ව්‍යතිරේක[4] - තද සත්තායාං තද සත්තා,

යනු ඒ දෙක හඳුන්වන සූත්‍රයි.

1. කාරණය විද්‍යාමාන[5] කල්හි කාර්‍ය්‍යයාගේ විද්‍යාමාන භාවය පෙන්වීමෙන් ප්‍රස්තුතය[6] පැහැදිලි කරලීම අන්වය ක්‍රමයයි. එය යථොක්ත සූත්‍රයේ “යස්මා ඛො භික්ඛවෙ අත්‍ථි, අජාතං අභූතං අකතං අසඞ්ඛතං තස්මා-ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති.”

(මහණෙනි, යම් හෙයකින් අජාත, අභූත, අකත, අසඞ්ඛතය විද්‍යමාන ද එහෙයින් ජාත, භූත, කත සඞ්ඛතයාගේ නිසසරණය පැනේ.) යන කොටසින් දැක්වෙයි.

2. කාරණය අවිද්‍යාමාන කල්හි, කාර්‍ය්‍යයාගේ ද අභාවය දැක්වීමෙන් ප්‍රස්තුතය පැහැදිලි කරලීමේ ක්‍රමය ව්‍යතිරේක යයි. එය යථොක්ත සූත්‍රයේ සඳහන් “නොචෙතං භික්ඛවෙ, අභවිස්සා, අජාතං අභූතං, අකතං, අසඞ්කතං නයිධ ජාතස්ස, භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ”. (මහණෙනි, මේ අජාත, අභූත, අකත, අසඞ්ඛතය නොවේනම් මෙහි ජාත භූත, කත, සඞඛතයාගේ නිස්සරණය නො ලැබිය හැක්කේය.) යන කොටසින් පැහැදිලි කොට දැක්වූහ.

මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂකොට දැනගත් (නිබ්බානං පරමං සුඛං) පරම සැපය වූ, දෙවියන් අතරෙහි, බඹුන් අතරෙහි, මිනිසුන් අතරෙහි සියලු සතුන් අතරෙහි ඇති සියලු සැප අතරෙන් උතුම් සැපය වූ (නිබ්බාන සුවය) නිවන් සුවය සත්ත්වයන් හට පහදා දීමට බොහෝ දේශනාවන් පැවැත්වූහ. ඔවුන්ගේ දෘෂ්ටිජාලයන් ලිහාලීමට නිබ්බාන පටිසංයුත්ත දේශනා පැවැත්වූහ. ඔවුන් ඉදිරිපත් කළ පැන විසඳීම සඳහා එම දේශනාවන් පැවැත්වූහ. නොමගට වැටුනවුන් සුමගට යොමු කිරීම සඳහා එම දේශනාවන් පැවැත්වූහ. බුදු සසුනකින් ගතමනා උසස්ම ප්‍රයෝජනය හා සාසනයේ නෛර්යානික භාවය[7] ද දැක්වීමට මේ දේශනාවන් පැවැත්වූහ.

උන්වහන්සේ මේ දේශනාවන්හිදී ශ්‍රාවකයන්ගේ අධ්‍යාශයනට[8] ගැළපෙන්නට විවිධ ක්‍රමයන් අනුගමනය කළහ. ඇතැම් අවස්ථාවකදී රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානය බව කෙටියෙන් පෙන්වූහ. රාග, දෝස, මෝහ, ගෙවී යාම නිවනේ ප්‍රධාන ලක්ෂණයයි.

චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවේ දී “යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො ඉදං වුච්චති භික්ඛවෙ දුක්ඛ නිරොධං අරියසච්චං”[9]

යන්නෙන් තණ්හාව මුල්කරගෙන තණ්හාව නිසා ලැබෙන සියලුම ඇලීම් සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීමෙන් නිරෝධ සත්‍යය වූ නිවන ලැබෙන සැටි වදාළහ. අනුශය සහිත තණ්හාව මුලසුන් කිරීම තණ්හාවේ සමුච්ඡෙද ප්‍රහාණයයි. එහිදී සියලු කෙලෙසුන්ගේ සියලු උපධී[10]න්ගේ දුරලීම වෙයි. අර්හත් මාර්ගඥාන ඵල ඥානයට අරමුණුවන මේ තත්ත්වය නිවන පිළිබඳ ඉහළම අවබෝධයයි වදාළහ.

“එතං සන්තං, එතං පණීතං, යදිදං සබ්බ සඞ්ඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං.”[11]

  1. මේ නිවන කෙලෙසුන්ගෙන් සිදුවන කැළඹිලි නැති හෙයින් සංසිදීමෙන් යුතුවේ. නිවීම ඇත. කැළඹිලි නැත. දැවිලි, තැවිලි (දරථ-පරිළාභ) නැත.
  2. මේ නිවන නිරාමිස සුවයෙන් යුතු හෙයින් ප්‍රණීතය. මිහිරිය. සැපය.
  3. සියලු සංස්කාර වේග සංසිඳී ඇත. එහෙයින් වෙනස්වීම් නැත. විපාක කරදර නැත.
  4. සියලු උපධීන් නොඑන පරිද්දෙන් දුරුවී ඇත.
  5. ආශා සියල්ලම, ඇලීම් සියල්ලම, බැඳීම් සියල්ලම ගෙවී ගිය ස්වභාවයයි.
  6. ඇල්මක් නැත.
  7. සියලු ප්‍රවෘත්ති දුක් නිරුද්ධවීමේ ස්වභාවයයි.[12]

නිවන පිළිබඳ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වැඩියෙන් ව්‍යවහාරයේ යෙදූ “නිබ්බානං” යන්නට පැරණියන් කළ විස්තරය මෙහි බහාලමු.

“නිබ්බායන්ති සබ්බෙ වට්ට දුක්ඛ සන්තාපා එතස්මින්ති නිබ්බානං” සියලු වට්ටදුක්ඛ සන්තාපයෝ මෙහිදී නිවෙත්නුයි නිවන නම්වේ. මෙහි නිවීම යනු යම් ක්ලේශයෝ හෝ සංස්කාරයෝ හෝ මාර්ගය නො වැඩු තැනැත්තා හට ඉපදීමට සුදුසුව සිටියාහුද, ඔවුහු මාර්ගය වැඩූ තැනැත්තාහට ඉපදීමට නුසුදුසු තැනට පැමිණීමය යන අර්ථයි. උත්පාදාදි ත්‍රිවිධක්ෂණයට පත්ව නිරුද්ධ වූ අතීත ධර්මයෝ නිවුනාහු නොවෙති. වර්තමාන වූද, අනාගතයෙහි අවශ්‍යයෙන් උපදනාවූද ධර්මයන් පිළිබඳව කිය යුත්තෙක්ම නැති. තවද මෙහි වට්ට දුක්ඛ සන්තාප යනු කිලෙස වට්ට, කම්ම වට්ට, විපාක වට්ට සන්තාපයෝය. මේ ත්‍රිවිධවූ වට්ට දුක්ඛ සන්තාපයන් නැති වෘක්ෂාදීන්ගේ අනුත්පාද නිරෝධය නිවන නම් නොවෙයි. “එතස්මිං” (මෙහිදී) යනු විෂයාර්ථයෙහි සත්තමී විභක්තියි... “ආකාසෙ සකුණා පක්ඛන්‍දන්ති” (අහසේ පක්ෂීහු පියාඹත්) යනු මෙනි. යමෙකින් ඔවුහු නිවෙද්ද ඔවුනට එයින් තොරවූ අනෙක් කිසියම් නිවෙන තැනෙක් නැත. “නිබ්බායන්ති වා අරියජනා එතස්මින්ති - නිබ්බානං” ආර්‍ය්‍ය ජනයෝ මේ නිවනින් නිවෙන්නුයි නිවන නමි. (නිබ්බන්ති ධීරා යථායං පදීපො) එහි නිවෙත් යනු ඒ ඒ ක්ලේශ ස්කන්ධයන් නැවත හට නොගන්නා බවට පැමිණීම යන අර්ථයි. මෙහිදු, “එතස්මිං” යනු විෂයාර්ථයෙහි සත්තමි විභක්තියි. “මෙය ලැබ ගත් කල්හි” යනුද අර්ථ කියත්. “භවාභවං වින්නතො සංසිබ්බනතො වානාං වුච්චති තණ්හා තතො නික්ඛන්තන්ති නිබ්බානං”.

(කුදු මහත් භවයන් එකට ගලපන හෙයින් තණ්හාවට වානයයි කියනු ලැබේ. ඒ වාන සංඛ්‍යාත තණ්හාවෙන් නික්මුණේ නිවනයි.) යනු ද විග්‍රහයෙකි. “නිබ්බාති එතෙන රාගග්ගි ආදිකොති-නිබ්බානං යනු විභාවිනී ටීකාවෙහි සඳහන් එක් විග්‍රහයෙකි. මාර්ගයෙහි මෙන් නිර්වාණයෙහි කරණ සාධනයක් නොදක්නා හෙයින් එය නුසුදුසුය. නිර්වාණය නිබ්බුති ක්‍රියා සාධනයෙහි[13] කර්තෘ හට සහකාර ප්‍රත්‍ය නොමැවෙයි. එහෙයින් ද එය නුසුදුසුය.[14]

නිබ්බානම්පන- 1. ලොකුත්තර සංඛාතං 2. චතුමග්ග ඤාණෙන සච්ඡිකාතබ්බං. 3. මග්ගඵලානමාලම්බනභූතං. 4. වානසංඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානන්ති පවුච්චති.[15]

1. නිවන භාග්‍යවතුන් වහන්සේ විසින් ලොකුත්තරයයි වදාරණ ලදී. ඒ මෙසේයි:

“කතමෙ ධම්මා ලොකුත්තරා, චත්තාරොච අරිය මග්ගා, චත්තාරිච සාමඤ්ඤඵලානි, අසංඛතාච ධාතු ඉමෙ ධම්මා ලොකුත්තරා”[16] යි. ලෝකෝත්තර ධර්මයෝ කවරහුද? සතර මාර්ගයෝය, සතර ඵලයෝ ය, අසංඛත ධාතුව ය, යන මොවුහු ලෝකෝත්තරයයි කියනු ලැබෙති. මෙහි අසංඛතධාතු නම් නිවනයි. මේ කථායෙන් නිවන ප්‍රඥප්ති මාත්‍රයෙන් වළකයි. ලෝක ව්‍යවහාරයෙහි සිදු වූ ප්‍රඥප්තියක් ලෝකෝත්තර විය නොහැකි හෙයිනි.

2. නිවන සිවු මග නැණින් පසක් කළයුතු වූයේය. ඇස් ඇත්තහු විසින් ඇසින් සඳමඬල දක්නා සේ, මාර්ගඥානලාභී ආර්‍ය්‍ය ජනයා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත යුතු වූයේය යනු අදහසයි. මේ ප්‍රතිවේධ ඥානයට ගොදුරු බව දැක්වූ සැටියි. මේ නිවන සතර මාර්ග ඥානයෙන් දතයුතු හෙයින් එබඳු ප්‍රතිපත්ති මාර්ගයට පිටුපා සිටි අන්ධ පෘථග්ජනයාට එය විෂය නොවේ. ජාත්‍යන්ධයාට සඳමඬල මෙනි. ඇස් නැතියනට නොපෙනුණ පමණින් සඳමඬල නැතැයි නොකිය යුතුවේ. එසේම බාල පුහුදුන්[17] හට නොවැටහෙන පමණින් නිවන නැතැයි නොකිය යුතුය. “සච්ඡිකාතබ්බං” යන මෙයින් පරමාර්ථ හෙයින් විද්‍යමාන නොවේ නම් එය ස්වරූප වශයෙන් කෙසේ ප්‍රත්‍යක්ෂ වේද? මේ දෙකරුණෙන්ම ඒ නිවන නුවණැති කල්‍යාණ පෘථග්ජනයනට අනුමාන සිද්ධ බවද දක්වයි. අනුමානයෙනුදු තමාගේ නුවණට නොවැටහෙන ප්‍රකාශ නොවූ දෙයක් සාක්ෂාත් කිරීමට උත්සාහයෙන් නොමැ ලැබේ. සාක්ෂාත් සිද්ධිය ලැබෙනුයේ උත්සාහයෙනි.

3. “මග්ගඵලානමාලම්බන භූතං” මාර්ග-ඵල චිත්තයනට අරමුණු වූ යන මෙයින් මාර්ග-ඵලයනට නිවන හැර අන්‍ය කෘත්‍ය සිද්ධියක් නැති බව දක්වයි. එයින්ම නිවන පිළිබඳ මහොජෂ්කභාවය[18]ද, මහා තෙජෂ්ක භාවය[19]ද, දක්වන ලද්දේය.

4. “වානසඞ්ඛාතාය තණ්හාය නික්ඛන්තත්තා-නිබ්බානං”. තණ්හාව වනාහි අධ්‍යාත්ම බහිද්ධාදී ස්කන්ධයන් සම්බන්ධ කරමින් පවත්නේය. එහෙයින් වදාළහ. “අන්තො ජටා බහිජටා ජටාය ජටිතා පජා”යි ඒ තණ්හාව හුණ ලැහැබෙක අතුපතර මෙන් එකට සම්බන්ධ කරන අර්ථයෙන් වාන යන සංඥාව ලබයි. ඒ වානයෙන් නික්මුණු හෙයින් නිවන යයි කියනු ලැබේ. “නික්මීම” නම් ඒ තෘෂ්ණාවගේ විෂය භාවය ඉක්මගෙන සිටීමයි.

මෙසේ හෙයින් විස්තෘත[20] මේ නිවන ස්වකීය ශාන්ති ලක්ෂණයෙන් එකවිධය. ශාන්ත ලක්ෂණය නම් අධ්‍යාත්මසම්භූත[21] වූ ත්‍රිවිධ වට්ට සන්තාපයන් නිවාලීමය. ඔවුන් සියලු ආකාරයෙන් අභාවයට පමුණුවාලීමය. ස්වභාව ලක්ෂණයෙන් ඒකවිධ වූ සිත ජාති ධර්ම හෙයින් ජාති-භූමි සම්ප්‍රයෝග[22] භේදයෙන්ද, දිසා දේශ, පුද්ගල, භේදයෙන්ද, භින්නව පවත්නා සේ මේ නිවන භින්න නොවෙයි. ස්වභාව වශයෙන් ද වස්තු වශයෙන් ද අභින්නවම පවතී.[23]

තවද, අනවරාග්‍ර සංසාරයෙහි අතීත අනාගත වර්තමාන අවධීන්හි නිවන්පත් බුදු, පසේබුදු, මහරහත් උතුමන්ගේ නිවනෙහි කාල පුද්ගල භේද විසින් කිසිදු වෙනසක් නොදැක්විය හැකිය. “විඤ්ඤාණං අනිදස්සනං-අනන්තං සබ්බතො පහං” යනු වදාරණ ලද්දේ එහෙයිනි. එහි “විඤ්ඤාණං” යනු සංඛත ධර්මයන් පිළිබඳ ඛය නිරොධ භාවයෙන් සිද්ධ හෙයින් එය ඒ ස්වභාවයෙන් ම දතයුතු වූයේය, යන තේරුමය. “අනිදස්සනං” යනු අනිමිත්ත ධර්මයක් හෙයින් බාල පෘථග්ජනයන්ගේ දර්ශනයට විෂය වූ කිසියම් නිමිත්තකින් දැක්වීමට හෝ හීන ප්‍රණීතාදී භේදයෙන් බෙදා පෙන්වීමට හෝ නුසුදුසු වූයේ ය යන තේරුමය. “අනන්තං” යනු පූර්වාන්ත අපරාන්තයෙන් තොර වූයේය. නිවනේ මුල හෝ අග හෝ අන්ත වශයෙන් කිය නොහැකිය. “සබ්බතො පභං” යනු වට්ටදුක්ඛයනට ප්‍රතිපක්ෂවැ සිද්ධවූ අනන්ත ගුණාවභාෂයෙන්[24] සර්වප්‍රකාරයෙන් ප්‍රභාවත්ය යන තේරුමය.

ඒ ආකාරයෙන් නොදැක්විය යුතු ධර්මයක් වන හෙයින් අනවරාග්‍ර සංසාරයෙහි සියලු දිසාවන්හිද, අසවල් කාලයෙහි අසවල් දිසාවෙහි නැතැයි නොකිය යුතු වූයේය. කවර හෙයින්ද? ආර්‍ය්‍ය මාර්ගය වඩන්නා විසින් යම්කිසි කලෙක යම්කිසි තැනෙකදී අවශ්‍යයෙන් ප්‍රතිවේධ කළහැකි බැවින් සියලු කල්හි, සියලු තන්හි ලැබෙන හෙයිනි. මෙය වදාරණ ලද්දේමැයි. “සෙය්‍යථාපි භික්ඛවෙ, යා කාචි ලොකෙ සවන්තියො මහා සමුද්දං අප්පෙන්ති, යාච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහා සමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ බහුචෙපි භික්‍ෂු අනුපාදිසෙසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායන්ති න තෙන නිබ්බාන ධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති[25]” යි අර්ථකථාවන්හිද, “න තෙන නිබ්බාන ධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති” යන තැන අසංඛෙය්‍ය මහා කල්පයක්හිදු බුදුවරුන් පහළ නොවූ කල්හි එක සත්ත්වයෙකුටවත් පිරිනිවනක් නොහැකි වෙයි. ඒ කල්හි ද නිර්වාණධාතුව හිස්සැයි නොකිය හැකිය. බුද්ධ කාලයෙහි වනාහි එක් එක් ධර්ම සමාගමෙක්හි අසංඛෙය්‍ය ගණන් සත්ත්වයෝ නිවන් ලබති. එකල්හිද නිර්වාණ ධාතුව පිරුණේයයි කිය නොහැකි බව දක්වන ලද්දේය. බ්‍රහ්ම නිමන්තන සූත්‍රයෙහිද “නිබ්බානං අනිදස්සනං අනන්තං සබ්බතො පභං” යනු සියලු දිසාවෙන් ප්‍රභා සම්පන්නය. අන්කිසි ධර්මයක් නිර්වාණයට වඩා අතිශයින් පාරිශුද්ධ හෝ අතිශයින් පාණ්ඩර[26] නො හොත් හැම පැත්තෙන්ම ලැබෙන්නේය. කිසිතැනක නැතැයි නොකිය හැකිය. පූර්වදිශාදීන් අතුරෙහි අසවල් දිශාවේ නිවන නැතැයි නොකිය යුතු බව කියන ලදී.

මෙසේ වතුදු මේ නිවන නිරුද්ධ වූ ත්‍රෛකාලික ධර්මයන් ඇසුරෙන් ප්‍රත්‍යක්‍ෂ භාවයට පත්වන ධර්‍මයක් වන හෙයින් නිරුද්ධ වූ ධර්මයන්ගේ භේදයෙන් ප්‍රහින්නව (ආකාර දෙකකින්) දැක්ක හැකිය. එහෙයින් සඋපාදිසේස නිබ්බාන ධාතුය, අනුපාදිසේස නිබ්බාන ධාතුයයි ස්කන්ධයන් පිළිබඳ-භාවනාව ලේශයෙන් දෙවැදෑරුම් කොට දක්වා තිබේ.

සඋපාදිසෙස නිබ්බාන ධාතුව: “උපාදියති තණ්හා දිට්ඨිහි භුසං ගය්හතීති-උපාදි” තණ්හා දිට්ඨි දෙකින් ගනු ලබන්නේ උපාදි නමි, උපාදින්න ඛන්‍ධ පඤ්චකයයි. “සො එව එක දෙසෙනවා අනවසෙසෙන වා පහීනෙහි කම්ම කිලෙසෙහි සෙසොති උපාදිසෙසො” ඒ උපාදි සංඛ්‍යාත උපාදින්න ඛන්ධ පඤචකයම ඒක දේශයකින්[27] හෝ නිරවශේෂ වශයෙන්[28] හෝ ප්‍රහීණ වූ කර්ම ක්ලේශයන්ගෙන් ශේෂ වූයේ උපාදිසේස නමි. “සංවිජ්ජති තස්මිං සන්තානෙ උපාදිසෙසො යස්සා අධිගත කාලෙහි සඋපාදිසෙසො” (සොපාදිසෙසො) යමක්හුගේ අධිගත කාලයෙහි[29] උපාදිසේසය වේ නම් ඒ සෝපාදිසේසයි.[30]

නිබ්බානධාතු යනු නිබ්බුති ස්වභාවයයි. නිවීමේ ලක්ෂණයයි. “ස උපාදිසෙසාච සා නිබ්බාන ධාතුචාති-සඋපාදිසෙස නිබ්බාන ධාතු” යනු මෙහි සමාසයයි. “නත්‍ථි තස්මිං සන්තානෙ උපාදිසෙසො යස්සා අධිගතකාලෙති අනුපාදිසෙසා. අනුපාදිසෙසාච සා නිබ්බාන ධාතු චෙති, අනුපාදිසෙස නිබ්බාන ධාතු” යනු විග්‍රහ වාක්‍යයයි. ඉතිවුත්තකයෙහි මෙය වදාරණ ලදී. “ද්වෙමා භික්ඛවෙ නිබ්බාන ධාතුයො, කතමා ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බාන ධාතු අනුපාදිසෙසා ච නිබ්බාන ධාතු” යනාදියි. එහි ප්‍රථම ක්ලේශ පරිනිර්වාණයයි. ද්විතීය ස්කන්ධ පරිනිර්වාණයයි. පශ්චිමය සම්පරායික නිර්වාණයයි. එහෙයින් වදාළහ.

“එකා හි ධාතු ඉධ දිට්ඨ ධම්මිකා

සඋපාදිසෙසා භවනෙත්ති සඞ්ඛයා

අනුපාදිසෙසා පන සමපරායිකා” යි

අංගුත්තර නිකායේ සත්තක නිපාතයෙහි උභතෝභාග විමුත්ත[31] පඤ්ඤා විමුත්ත[32] ක්ෂීණාශ්‍රව[33]යන් දෙදෙනාගේ ඛන්ධොපාදිසේස වශයෙන්ද, කාය සක්බි[34] දිට්ඨිප්පත්ත[35] සද්ධා විමුත්ත[36] ධම්මානුසාරී[37] සඞ්ඛ්‍යාත සතර ශෛක්ෂයන්ගේ[38] ආරද්ධ විපස්සක[39] යෝගී කල්‍යාණ පෘථග්ජනයාගේ ද, ක්ලේශොපාදි[40] වශයෙන් ද, පැහැදිලි කොට ඇත්තේය. එහිම නවක නිපාතයෙහි අන්තරා පරිනිබ්බායි-උපහච්ච පරිනිබ්බායි-අසඞ්ඛාර පරිනිබ්බායි-සසඞ්ඛාර පරිනිබ්බායි උද්ධංසොත අකනිට්ඨගාමී යන අනාගාමී පුද්ගලයන් පස්දෙනාගේද, සකදාගාමීහුගේ ද, සොතාපන්නයන් තුන්දෙනාගේද යන සෙඛ[41] පුද්ගල නවදෙනාගේ කිලෙසොපාදිසෙස භාවය පැහැදිලි කොට වදාරණ ලදී. නෙත්තියෙහි වනාහි අර්හත් ඵලයද සඋපාදිසෙසයයි. චුතියට අනතුරුව ස්කන්ධයන්ගේ අනුත්පාදය අනුපාදිසෙසයයි. යම් හෙයකින් ප්‍රතිසන්ධි ස්කන්ධයෝ කෙලෙසුන්

ඇති කල්හි ම පහළවෙද්ද, නැති කල්හි පහළ නොවෙද්ද. එහෙයින් ඔවුහුද කෙලෙසුන්ගේ ක්ෂය හා සමගම ගෙවීයන්නාහ. චුතිය තෙක් පවත්නා වර්තමාන ස්කන්ධ සන්තානය වනාහි ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ පූර්ව භවයෙහි පැවැති කර්ම ක්ලේශ ඵලයයි. ච්‍යුති ක්ෂණයෙහි එය නිරුද්ධවීමද ධර්මතා වශයෙන්ම සිදුවේ. ඊට අනතුරුව පුනරුත්පත්තියක් නැතිවීමද ක්ලේශය සමගම ධර්මතා සිද්ධයි.

යම් හෙයකින් සංඛත ධර්මයෝ නම් පලිබෝධ සහිත ස්වභාවයක් දරන හෙයින් නොයෙක් පලිබෝධයෙන් ජනයා නිතර පෙලද්ද, ශාන්ත සුඛාස්වාදයට අවහිර කෙරෙද්ද, සනිමිත්ත ස්වභාව[42] හෙයින් කෙලෙසුන්ගේද, ජරාමණාදී සියලු අනර්ථයන්ගේද, පිහිටින තැන් වේද? පැතුම් සහිත ස්වභාව හෙයින් සියලුම දුකට මුල්වූ ආසා දුක අවුත් නිතරම පෙළත් ද, ඒ සංඛත භාවයෙන් තොරවූ ධාතුව එයට ප්‍රතිපක්ෂ ගුණභේදයෙන් සුඤ්ඤත, අනිමිත්ත අප්පණිහිත කියා ත්‍රිවිධ කොට දක්වා තිබේ.

1. ඒ සියලු පළිබෝධයෙන් ශුන්‍ය වූයේ-වෙන් වූයේ සුඤ්ඤත නමි. සක්කාය දිට්ඨිය ඇති කල්හි බාලයනට කම්ම පළිබෝධත්, අපාය දුක්ඛ පළිබොධත් යම් පමණ වේද, පණ්ඩිතයනට එපමණට එයින් ආරක්‍ෂාවීමේ (රැකීමේ) කාර්‍ය්‍ය පලිබෝධය වේමය. ඒ සියලු සක්කාය දිට්ඨිමූලක පලිබෝධයන් නිරුද්ධ කිරීමට සක්කාය දිට්ඨි නිරෝධයම සමත් වෙයි. එ පරිද්දෙන්ම රාගාදී කෙලෙසුන් මුල්කොට හටගන්නා පලිබෝධයන් නිරුද්ධ වන්නේ රාග, දෝස, මෝහ ප්‍රහාණයෙනි. මෙසේ නිවන සියලු පලිබෝධයන්ගෙන් ශුන්‍ය හෙයින් සුඤ්ඤත නම් වෙයි.

2. “අනිමිත්ත විමොක්ඛ” යන තැන නිමිත්ත නම් උත්පාදයත් මුල්කොට ඇති ඕලාරික ආකාරයයි. සංඛත ධර්මයෝ මේ ආකාරයෙන් යුක්ත වී කෙලෙසනුට භූමිවූහ. ජරා මරණයට භූමි වූහ. සියලු අනර්ථයනට වස්තු වූහ. මෙසේ හෙයින්ම ඒ සඞ්ඛතයෝ කාල දිසා දේස සන්තානාදී භේදයෙන් හෝ හීන ප්‍රණීතාදී භේදයෙන් බෙදී පවත්නාහ. නිවන වනාහි සියලු නිමිත්ත ධර්මයන්ගේ නිරෝධ භාවයෙන් සිද්ධ හෙයින් එහි නිමිත්ත නැත්නුයි අනිමිත්ත නම් වේ.

එය වනාහි සියලු ක්ලේශාදී අනර්ථයන්ට භූමිවූ (වස්තුවූ) නිමිත්ත ධර්මයන් විද්ධවසංනය කොට[43] ඒ අනර්ථයන්ගේ අභාවය සිදුකෙරෙමින් නිති පිහිටා තිබේ. එය කාල භේදයෙන් නොබෙදෙයි. මේ නිවන අසවල් කාලයෙහි පිරිනිවි බුදුවරයන්ගේය යනාදී පංති කිරීමෙක් නැත.

3. “අප්පණීහිත” යන තැන පණිහිත යනු ප්‍රණිධානයයි. ප්‍රාර්ථනාවයි. පණිධි, පණිධාන ආසා, ජිඝච්ඡා, පිපාසා යනු සමානාර්ථ ශබ්දයෝය. සංඛත ධර්මයන්ගේ ස්වභාවය, කොතරම් ලැබෙතත් බිදෙන නැතිවන ගතිය හෙයින් නැවත නැවතත් ලැබගැන්මට ආසා දුක දියුණු කිරීමය. ආසා දුකේ පරතෙරක් නැත. සියලු දුකට මුල ආසා දුකය. නිවන වනාහි පිපාස විනයන[44] ස්වභාවය හෙයින් ආසා සංඛ්‍යාත වූ සියලු තෘෂ්ණා ප්‍රණිධි ද විනයන කරමින් විද්ධවංශනය කෙරෙමින් පවත්නා හෙයින් එහි පණිහිත ය. (ප්‍රණිධිය) නැත්නුයි අප්පණිහිත නම්වී. මෙහිදී සැප දෙවර්ගය දතයුතු වේ. වෙදයිත අවෙදයිත (ශාන්ත) කියා සැපය දෙපරිදිය. දෙව්, බඹ, මිනිස් ආදී වශයෙන් උපතින් ලබන සම්පත් සියල්ල වෙදයිත සුඛ ස්වරූප වෙයි. ඒ වනාහි ඇසිල්ලක් පාසා වෙනස් වන සුළු වෙයි. ඒ සියලු සැප ඉමක් නැති ආසා දුක නැවත නැවත වඩන්නේමය. එහෙයින් වේදයිතය. ඒකාන්තයෙන් දුක්මය.... “යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මිං”[45] යි වදාළේ එහෙයිනි. යම් හෙයකින් නිවනෙහි විඳීමක් නොමැති නම් එහි කවර සැපයක් දැයි විචාල තැනැත්තාට දම්සෙනෙවි සැරියුත් හිමියන් වදාළේ, “එතදෙවෙත්‍ථ ආවුසො සුඛං, යදෙත්‍ථ නත්‍ථි වෙදයිතං”[46] යි ඇවැත්නි, නිවන සැප වනුයේ විඳීමක් නැතිකම නිසාමය යනුවෙනි.

“අවෙදයිත (ශාන්ති) සුඛය” නම් තමා තුළ උපන්නාවූ කෙලෙසුන් නුවණින් විමසා බලා ඊට සුදුසු ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කොට එය වළකාලීමත්, එසේම ඉපදීමට ඉදිරිපත් කෙලෙසුන් දැනගෙන එයට ඉඩ නොතබා කල්‍යාණ ධර්මයන් සිත තුළ දියුණු කර ගැන්මත්, පැමිණෙන්නට තිබෙන අපාය දුක සලකා එයින් මිදීමට ප්‍රතිපන්න වීමත්, යන මේ ආකාරයෙන් යථොක්ත විරුද්ධ කරුණුවලින් මිදීමේ සැපයයි. සියලු වෙදයිතයන් වෙළාගත් ආසා දුක යළිත් නොඋපදනා සේ සංසිඳුවා ගැනීම ශාන්ති සැපයේ ආශය වේ. එය ගැප්කොට ඇති මේ “අප්පණිහිත” යනපදය නිවන පිළිබඳ ඉතා උසස් ගුණ පදයකි.

සුඤ්ඤත, අනිමිත්ත, අප්පණිහිත” යන ත්‍රි භේදයෙන් දැක්වෙන මේ නිවන “ඛය ධාතුය” “නිරොධ ධාතුය” යි ද ව්‍යවහාරයට පැමිණියේය. ඒ වනාහි ආනාදිමත් සංසාරයෙහි අධ්‍යාත්ම අධිශයිත ක්ලේශජාතය මාර්ගක්ෂණයෙහි ගෙවා දැමීමෙන්, නිරුද්ධ කිරීමෙන් සිදුවූයේය. එය එක් පරමාර්ථ ධර්මයකි. නිර්වාණ පරමාර්ථයයි. ක්ෂය කිරීමේ අර්ථයෙන්ද, නිරුද්ධ කිරීමේ අර්ථයෙන්ද, ස්වභාවයෙන් විද්‍යාමාන හෙයිනි. එය ප්‍රඥප්ති රූපයෙක් නොවේ. කාය-ඥාන දෙක්හි ස්වරූප වශයෙන් උපලබ්ධ[47] හෙයිනි.

නිවන කාය-ඥාන දෙක්හි ස්වරූප හෙයින් උපලබ්ධවනුයේ කෙසේද? “ඡන්‍ද ජාතො උස්සහති. උස්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති. පහිතත්තො සමානො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච නං පටිවිච්ඡ්ඣ පස්සති”[48] යන දේශනාවෙන් සුදර්ශිතවූයේ[49] තදර්ථයයි[50]. එහි කයින් ප්‍රත්‍යක්ෂ කිරීම නම් අගක් මුලක් නැති සංසාරයෙහි අධ්‍යාත්මය තවමින්, දවමින්, පෙළමින් ආ කෙලෙසුන් මාර්ග ක්ෂණයෙහි අධ්‍යාත්මයෙහිම නිරුද්ධ කිරිමයි. නිවා දැමීමයි. මෙසේ කයින් ප්‍රත්‍යක්ෂකොට නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් අධ්‍යාත්මයෙහි සිදුවූ ඒ නිරුද්ධවීම නුවණින් දැකගනී. මෙය ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමයි.

“පදමච්චුත මච්චන්ත - මසංඛත මනුත්තරං,

නිබ්බානමිති භාසන්ති - වාන මුත්තා මහෙසයො”[51]

“චුතියක් නැති, පූර්වාන්ත, අපරාන්තයන් ඉක්ම සිටි, සංස්කරණ කෘත්‍ය රහිත වූ, අනුත්තර වූ, පරමාරථ ධර්ම කොට්ඨාශය නිර්වාණය” යි තෘෂ්ණා මුක්ත[52] මහර්ෂිවරයෝ කියත්.

මෙසේ දක්වන ලද මේ ලෝකෝත්තර වූ නිර්වාණ ධාතුව ලබාගැනීම ක්‍රමානුකූල ප්‍රතිපත්ති මාර්ගයකිනි විය යුත්තේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය ඒ පිළිබඳ ප්‍රතිපත්ති මාර්ගයයි. මේ ආර්‍ය්‍ය මාර්ගය ක්‍රමයෙන් වඩා ගත යුතු වැඩ පිළිවෙළකි. මේ කියන ලද ප්‍රතිපත්ති මාර්ගය මතු සඳහන් මජ්ඣිම නිකායේ එන චඞ්කී සූත්‍රානුවාදයෙන් පැහැදිලි වනු ඇත.

හටගත් සැදැහැ ඇතියේ එළඹෙයි. එළඹෙනුයේ පර්ය්‍යුපාසනය[53] කෙරෙයි. පර්ය්‍යුපාසනය කරනුයේ කන් නතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ දහම් අසයි. දහම් අසා ධරයි. ධැරූ දහම්හි ඇරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්මයෝ වැටහෙති. දහම් වැටහීම් (ධම්ම නිජ්ඣානක්ඛන්ති) ඇති කල්හි කර්තුකම්‍යතා ඡන්‍දය උපදී, හටගත් ඡන්‍ද ඇතියේ උත්සාහ කෙරෙයි. උත්සාහ (වෑයම්) කොට (අනිත්‍යාදී විසින් තීරණය) කෙරෙයි. තුලනය කොට ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නිවනට මෙහෙයූ සිත් ඇත්තේ (නාම) කයිනුදු සත්‍යය (නිවන) ප්‍රත්‍යක්ෂ කෙරෙයි. ප්‍රඥායෙනුදු කෙලෙස් විනිවිද දකී. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ........ සත්‍යානුබෝධය වෙයි. මෙතෙකින් සත්‍ය අනුබෝධ කෙරෙයි. මෙතෙකින් වැලිත් අපි සත්‍යානුබෝධය පනවම්හ. එපමණෙකින් සත්‍යානුප්‍රාප්ති නොවේමැයි.

“භවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යානුබෝධය වෙයි. මෙ පමණෙකින් සත්‍යානුබෝධය කෙරෙයි. මෙ පමණෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය දක්වම්හ. භවත් ගෞතමයෙනි. කී පමණෙකින් වැළිත් සත්‍යානුප්‍රාප්තිය[54] වේද? කීපමණෙකින් වැළිත් සත්‍යයට පැමිණේද? අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි. එමැ ධර්මයන්ගේ ආසේවනයෙන්, භාවනයෙන්[55], බහුලීකරණයෙන්[56], සත්‍යානුප්‍රාප්තිය වෙයි. භාරද්වාජය, මෙ පමණෙකින් සත්‍යයයට පැමිණෙයි. මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය පණවම්හ” යි.

“භවත් ගෞතමයෙනි, මෙපමණෙකින් සත්‍යානුප්‍රාප්තිය වෙයි. මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය දකුම්හ. භවත් ගෞතමයෙනි, වැළිත් සත්‍යානුප්‍රාප්තියට (ඵල ප්‍රත්‍යක්‍ෂයට) කවර ධර්මයෙක් බහුකාර වේද? බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හයි.

“භාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය[57] (මාර්ගපධානය) බහුකාර[58] වෙයි. ඉදින් තෙල මාර්ග ප්‍රධානය නොකෙරේ නම් මේ සත්‍යයට නොපැමිණෙන්නේය. යම් හෙයකින් මාර්ග ප්‍රධානය කෙරෙයිද එහෙයින් සත්‍යයට පැමිණෙයි. (සත්‍යය ලබයි) එහෙයින් සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය බහුකාර වේ යයි.

“භවත් ගෞතමයෙනි, වැළිත් මාර්ග ප්‍රධානයට කවර දහමෙක් බහුකාර වේද? මාර්ග ප්‍රධානයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ප්‍රධානයට තුලනාව[59] බහුපකාර වෙයි. ඉදින් තුලනා නොකෙරේ නම්, මේ ප්‍රධාන් වීර්‍ය්‍ය නොකරන්නේය, යම් හෙයකින් වැළිත්[60] තුළනා කෙරේද, එහෙයින් මාර්ග ප්‍රධානය කෙරෙයි. එහෙයින් ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි.

“භවත් ගෞතමයෙනි, තුලනාවට වැළිත් කවර ධර්මයෙක් බහුකාර වේද? තුලනාවට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, තුලනාව ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නොකෙරේ නම් මේ තුලනාව නොකරන්නේය. යම් හෙයකින් වැළිත් ව්‍යායාම කෙරේද? එහෙයින් තුලනය කෙරෙයි. එහෙයින් තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි.

භවත් ගෞතමයෙනි, ව්‍යයාමයට කවර ධර්මයෙක් බහුකාර වේද? ව්‍යායාමයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ.

භාරද්වාජයෙනි, ව්‍යායාමයට (කර්තු කම්‍යතා) ඡන්‍දය බහුකාර වෙයි. ඉදින් ඡන්‍දය නූපදින්නේ නම් මේ ව්‍යායාම නොකරන්නේයැ. යම් හෙයකින් වැළිත් ඡන්‍දය උපදීද, එහෙයින් ව්‍යායාම කෙරෙයි. එහෙයින් ව්‍යායාමයට ඡන්‍දය බහුකාර වෙයි.

“භවත් ගෞතමයෙනි, ඡන්‍දයට කවර දහමෙක් බහුකාර වේද? ඡන්‍දයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ඡන්‍දයට ධම්මනිජ්ඣානක්ඛන්තිය[61] (දහම වැටහීම) බහුකාර වෙයි. ඉදින් ධර්මයො බැලීම නොසහත් (නොවටහත්) නම් මේ ඡන්ද නූපදනේයැ. යම් හෙයකින් වැළිත් ධර්මයෝ වටහත් ද, එහෙයින්, ඡන්‍දය උපදී. එහෙයින් ඡන්‍දයට ධම්මනිජ්ඣානක්ඛන්තිය බහුකාර වේයි.

“භවත් ගෞතමයෙනි, ධර්ම නිධ්‍යානක්‍ෂාන්තියට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම නිධ්‍යානක්‍ෂාන්තියට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ.

“භාරද්වාජයෙනි, ධර්ම නිධ්‍යානක්‍ෂාන්තියට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නොවිමසා නම් මේ ධර්මයෝ නොවටහත්. යම්හෙයකින් වැළිත් අරුත් විමසා ද, එහෙයින් ධර්මයෝ වටහති. එහෙත් දහම් වැටහීමට අරුත් විමසීම් බහුකාර වෙයි.

“භවත් ගෞතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, අරුත් පීරික්සීමට වැළිත් දහම්දැරීම බහුකාර වෙයි. ඉදින් දහම් නොදරා නම් මේ අරුත් නොපිරික්සන්නේයැ. යම්හෙයකින් වැළිත් දහම් ධාරණ කෙරේ ද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්ම ධාරණය බහුකාර වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, වැළිත් ධර්මධාරණයට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම ධාරණයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

“භාරද්වාජයෙනි, ධර්ම ධාරණයට ධර්ම ශ්‍රවණය බහුකාර වෙයි. ඉදින් දහම් නොඅසා නම්, මේ දහම් නොධරන්නේය. යම් හෙයකින් වැළිත් දහම් අසාද, එහෙයින් දහම් ධරයි. එයින් ධර්මධාරණයට ධර්මය ශ්‍රවණය බහුකාර වෙයි.

“භවත් ගෞතමයෙනි, ධර්ම ශ්‍රවණයට කවර දහමෙක් බහුකාර වේද? ධර්ම ශ්‍රවණයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හයි.

“භාරද්වාජයෙනි, ධර්ම ග්‍රවණයට ශ්‍රොතාවධානය (කන් නතුකිරීම) බහුකාර වේ. ඉදින් කන් නතු නොකෙරේ නම් මේ දහම නොඇසන්නේයැ. යම් හෙයකින් වැළිත් කන් නමාද, එහෙයින් දහම් අසයි. එයින් ධර්ම ශ්‍රවණයට ශ්‍රෝතාවධානය බහුකාර වෙයි.

“භවත් ගෞතමයෙනි, ශ්‍රොතාවධානයට කවර දහමෙක් බහුකාර වේද? ශ්‍රොතාවධානයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හයි.

“භාරද්වාජයෙනි, ශ්‍රොතාවධානයට පර්ය්‍යුපාසනය (ඇසුරු කිරීම) බහුකාර වෙයි. ඉදින් පර්ය්‍යුපාසනය නොකෙරේ නම් මේ ශ්‍රොතාවධානය නොකෙරෙන්නේයැ. යම් හෙයකින් වැළිත් පර්ය්‍යුපාසනය කෙරේද, එහෙයින් ශ්‍රොතාවධාන කෙරෙයි. එයින් ශ්‍රොතාවධානයට පර්ය්‍යුපාසනය බහුකාර වෙයි.

භවත් ගෞතමයෙනි, පර්ය්‍යුපාසනයට කවර දහමෙක් බහුකාර වේද? පර්ය්‍යුපාසනයට බහුකාර ධර්මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හයි.

භාරද්වාජයෙනි, පර්ය්‍යුපාසනයට එළඹීම බහුකාර වෙයි. ඉදින් නො එළඹේ නම් පර්ය්‍යුපාසනා නොකරන්නේයැ. යම් හෙයකින් වැලිත් එළඹේද, එහෙයින් පර්ය්‍යපාසනා කෙරෙයි. එයින් පර්ය්‍යුපාසනයට උපසංක්‍රමණය[62] බහුකාර වෙයි.

භවත් ගෞතමයෙනි, උපසංක්‍රමණයට කවර දහමෙක් බහුකාර වේද? උපසංක්‍රමණයට බහුකාර කරුණ අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හයි.

භාරද්වාජයෙනි, උපසංක්‍රමණයට ශ්‍රද්ධාව බහුකාර වෙයි. ඉදින් ශ්‍රද්ධාව නූපදී නම් උපසංක්‍රමණය නොකරන්නේයැ. යම් හෙයකින් වැලිත් ශ්‍රද්ධා උපදනේද, එහෙයින් උපසංක්‍රමණය කෙරෙයි. එකරුණින් උපසංක්‍රමණයට ශ්‍රද්ධා බහුකාර වෙයි.

අපි සත්‍යානුරක්ෂණය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගොයුම් උතුමෝ සත්‍යානුරක්ෂණය පැවසූහ. එද අපට රුස්නේත්[63] සහනේත්[64] වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් පිලිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ අපට සත්‍යානුප්‍රාප්තිය ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුප්‍රාප්තියට බහුකාර කරුණු භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තියට බහුකාර කරුණු ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වුම්හ. අපි වැළිත් යම් යම්මැ දෙයක් භවත් ගෞතමයන් අතින් විචාළමෝද, භවත් ගෞතමයෝ ඒ ඒ දැයම ප්‍රකාශ කළහ. එද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු සිත් ඇති වූම්හ.

භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනුම්හ. මුණ්ඩකයෝ ශ්‍රමණකයෝ, ගෘහපතීහු කෘෂ්ණයෝ බඹහුගේ පිටිපසින් උපන් දරුවෝ කවුරහුද? දහම් දන්නාහු කවරහු”දැයි භවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයක් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඉපද වූහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්තයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයි, භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම්මැ සරණ ගිය උපාසකයෙකු කොට ධරත්වා”[65] යි.

  1. මෙලොව පිළිබඳ

  2. සා අං

  3. හේතුව ඇති කල්හි ඵලය ඇති බව

  4. හේතුව නැති කල්හි ඵලය නැති බව

  5. දක්නා ලැබෙන

  6. ඉදිරිපත් කරන ලද්ද

  7. බලාපොරොත්තු අර්ථයන්ට පමුණුවන බව

  8. අදහස

  9. ධම්ම චක්ක සුත්ත

  10. මමත්වයට පදනම් වන දෑ

  11. අං. නි. නවක නිපාත ඣාන නිස්සය සුත්ත

  12. පාරායන-පුණ්ණක පඤ්හ, උදය පඤ්හ

  13. ක්‍රියා ඉෂ්කර ගැනීමෙහි

  14. ප.දී. 21 පිට

  15. අභී.

  16. ධ.සං.

  17. ආර්ය නොවන (පෘථග්ජන)

  18. මහ ඔදවත් බව

  19. මහ තෙදවත් බව

  20. පැතුරුණු

  21. ඇතුළතින් හටගත්

  22. යෙදීම

  23. දී. නි. කේවට්ටසු.

  24. ගුණ ආලෝකයෙන්

  25. අං. නි. අට්ඨක නි: පහාරාද සූත්‍රය.

  26. සුදු

  27. එක අංශයකින්

  28. ඉතිරි නොකිරීම් වශයෙන් (සම්පූර්ණයෙන්)

  29. ලබාගත් කල්හි

  30. සමථ විපස්සනා දෙකෙන්ම මිදුණු

  31. සුඤ්ඤත විමොක්ඛයෙන් මිදුණු අර්හත් ඵලය ලත් පුද්ගලයා

  32. රහතන් වහන්සේ

  33. ආර්ය පුද්ගලයන් අටදෙනා

  34. සෝවාන් ඵලයට පත් පුද්ගලයා

  35. සෝවාන් ඵලයේ සිට ඉහළට

  36. සෝවාන් මාර්ගයේ සිටින පුද්ගලයා

  37. රහතන් වහන්සේ හැර ඉතිරි ආර්ය පුද්ගලයන් 7 දෙනා

  38. විපස්සනාව ඇරඹූ

  39. ක්ලේශයන් ඉතිරිව ඇති

  40. ආර්ය මාර්ගයෙහි හික්මෙන 7 දෙනා

  41. නිමිත්ත සහිත ස්වභාවය

  42. විනාශ කොට

  43. තණ්හාව සංසිඳවන

  44. සං. නි. බු.ජ. 2-84 පිට

  45. අං. නි. බු.ජ. 5-676 පිට

  46. ලැබුණු

  47. ම. නි. චඞ්කි.

  48. මැනවින් පෙන්වා දෙන ලද්දේ

  49. ඒ අර්ථයයි

  50. අභි.

  51. තණ්හාවෙන් මිදුණු

  52. උපස්ථානය කිරීම

  53. සත්‍යය වෙත පැමිණීම

  54. වැඩීමෙන්

  55. බහුලව කිරීමෙන්

  56. වීර්‍ය්‍යය

  57. බෙහෙවින් උපකාර වන

  58. සමතත්වයෙහි ලා සැලකීම

  59. නැවතත්

  60. ධර්මය දෙස බැලීමේ හැකියාව

  61. ළඟට පැමිණීම

  62. රුචි ද

  63. සුදුසු ද

  64. සං. නි. චඞ්කීසු