නිෂ්කර්ෂය

මේ සාකච්ඡවෙහිදී මෙයට සිත් යොමු කළ මා හිතවත් පාඨකයනට මෙයින් මතුකොට ගතයුතු අගයැති අදහසක් දැන් පහදා ඉදිරිපත් කිරීමට සුදුසුයැයි මම සිතමි. එයටද ඔබේ අවධානය යොදවාලන්නට දැන් ම මතක් කරමි.

ඔබේ සිත තණ්හා පිපාසා රසයන් මැද්දේ නොයෙක්වර නැළවී නැළවී ගිය සැටි ඔබට මතක ඇත. නොයෙක් විදියේ සුන්දර වස්තූන් සමග ආසාවෙන් වෙළි වෙළී, බැලීමෙන්, ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රස ඉරීමෙන්, පහස විදීමෙන් කල්ගෙවූ සැටි, උසස් දිවිය, අගනා කාලය, ගෙවූ සැටි ඔබට මතක ඇත. දැන් මදක් සිත නවතා සලකා බලන්න. විමසුම් නුවණ යොමු කරන්න.

එහි අගට ලැබුනේ කිමෙක්ද? තුච්ඡභාවය (හිස් බව) නොවේද? අර නලියන සිත මදවේලාවකට හෝ නැවතුනා නොවේද? එය තමා නියම ඇත්ත. එය තමා දහමෙන් ලැබෙන සොඳුරු පණිවිඩය, එය තමා සැනසිල්ලේ මං පෙතට කරන අත්සන. එහෙත් ඒ සමඟම ඔබේ හොඳ සිතට යාබදවැ අවිද්‍යා නමැති ඝනවලාකුළින් වසාගත් ලෝභ, දිට්ඨි, මානාදී කෙලෙස් බලමුළුවෙන් ඔබේ ඒ නියම සැනසිලි මග වැසී යන සැටි ඔබට තේරුම් ගත නොහැකිය. එහෙත් මඳක් නැවතී විමසුම් නුවණ-යෝනිසෝමනසිකාරය යොදවා තේරුම් ගැනීමට උත්සාහ ගත මැනවි.

මේ සාකච්ඡාවේ දී ඔබට සඞ්ඛත-අසඞ්ඛත යන වචන විමසීමට ලැබෙනු ඇත. එයට සම්බන්ධ කරගෙන ජාත-අජාත, කත[1]-අකත[2] යනු ද, ලැබෙනු ඇත. ඒ අනුව සංඛාර-විසංඛාර වචනද, විමසීමට ලැබෙනවා ඇත.

හේතු ඵල වශයෙන් ලැබෙන ධර්ම සමූහය අතරෙහි, යම්කිසි හේතුවලින් උපත ලැබූ දේට ජාතයයිද, කත යයිද, සංඛත යයිද ව්‍යවහාරය සිදුවේ. එසේ හේතුවකින් උපතක් නොලද ධර්ම ස්වභාවයට අජාත යයිද, අකත යයිද අසංඛත යයිද ව්‍යවහාරය සිදුවේ.

සංඛාර-විසංඛාර යන දෙතැනෙන් සංඛාර යනු කර්ම වේගයන් රැස් කිරීම හෝ රැස් කරන්නා යන තේරුම ලැබේ. එසේම විසංඛාර යනු කර්ම වේගයන් රැස් නොකිරීම හෝ ඒ කර්ම වේගයන් රැස් නොකරන්නා යන තේරුම් වශයෙන් ලැබේ. මේ දෙක වෙනුවට ආචය-අපචය දෙකද තේරුම් වශයෙන් ලැබෙන සැටි සැලකිය යුතුය.

මෙසේ:-

ජාත, භූත, කත, සංඛත යනු සංසාරයයි. වට්ටයයි.

අජාත, අභූත, අකත, අසංඛත යනු නිවනයි. විවට්ටයයි.

ජාතාදිය දුකය, අජාතාදිය සැපය වේ. මේ ජාතාදිය අජාතාදී ස්වභාවයට පත්වීම නියමිත ප්‍රතිපදාවෙකින් සැලසෙයි. එහි මුල් පදනම, සබ්බාසව සූත්‍රයෙහි නියමිත පරිදි ලැබෙන බව සැලකිය යුතුය. එහි “දස්සනෙන පහාතබ්බා ආසවා” යන විස්තරයෙහි:-

සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසිකරොති,

අයං දුක්ඛ සමුදයොති යොනිසො මනසිකරොති,

අයං දුක්ඛ නිරොධොති යොනිසො මනසිකරොති,

අයං දුක්ඛ නිරොධ ගාමිනි පටිපදාති යොනිසො මනසිකරොති.

යනුවෙන් සඳහන් විය.

මෙහි තේරුම මෙසේ ය:-

මිථ්‍යාදෘෂ්ටි ආදී ආසවයන් සිත තුළ නොඋපදිනා අන්දමට මනසිකාරය පවත්වන යෝගාවචරයා මේ පඤ්චස්කන්ධය සිය නුවණින් පවත්වයි. එයින් පෙන්වා වදාළේ දුක්ඛ නැමැති ආර්‍ය්‍ය සත්‍යය අනුබෝධයට[3] ගන්නා අකාරයයි. මේ පඤ්චස්කන්ධය එකක් සේ ගෙන ඉදිරිපත් කළත්, ඉතා උසස් ප්‍රඥා දියුණුවක් ඇති කෙනෙකුන් හට මුත් සෙස්සන් හට එකට පිඬුවූ එය, නුවණට අසුකොට ගැනීම දුෂ්කරය. එයින් රූප උපාදාන ස්කන්ධය වෙන් කොට සිතින් සලකා ගත යුතුය. එයින් රූප ස්කන්ධය නම් රූප රාශියෙකි. රූප සමූහයෙකි. එහෙයින් රූප ස්කන්ධය අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් වටහා ගැනීමට ඒ රූප සමූහය වෙන් කොට සලකා බැලීම කළයුතුය. පඨවි ධාතුව, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන අනුව දැනීම සිත තුළ පැළපදියම් වන තුරු සලකා බැලීම කළ යුතුය. පඨවි ධාතුවද කොටස් රැසකින් යුක්ත වෙයි. ඒවාද එකක් පාසා එකට තේරුම් ගැනීම පහසු නැති, පුරුදු කළ උසස් භාවනා සිත් ඇතියකුට නම් එය අපහසු නැත. සෙසු අය විසින් එකක් පාසා වෙන් වෙන් කොට සලකා බැලීම කළ යුතුය. සෙසු ධාතු කොටස් පිළිබඳව ද පිළිපැදීම මෙසේ විය යුතුය. තමා තුළ වූ මේ රූප ධාතු කොටස් සියල්ල දෙසාලිසෙකි. (42) ඒවා එහි සමුට්ඨානයන් සහිතව තේරුම් බේරුම් කරගත යුතුවෙයි.

ඒ මෙසේයි:-

පඨවි කොටස්- කේසා දී 20 යි. එයින් උදරිය, කරීස කොටස් හැර ඉතුරු කොටස් 18, කම්ම, චිත්ත, උතු, ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම පහළ වෙති. එහෙයින් ඒවා චතු සමුට්ඨානිකය[4]. මේ කොටස් 20 හි සම්භාර පඨවි ධාතු[5] අධික හෙයින් මේවා පඨවිධාතු කොටස් වශයෙන් වහර කරති. මේවා තුළ සෙසු ධාතුද ඇත. ඒ අනුව එකම කෙටසෙහි සමට යටව ඇති ප්‍රදේශයෙහි කර්මයෙන් හටගත් පඨවි ආදී 4 යි. වණ්ණ, ගන්ධ, රස, ඕජා, යන සතර යයි. මේ 8 සුද්ධට්ඨකයයි. එයට ජීවිතින්‍ද්‍රිය හා කායප්‍රසාද රූපය[6]ද එකතුවීමෙන් කාය දසකය ලැබේ. එසේම කම්මජ සුද්ධට්ඨකයට ජීවිතින්‍ද්‍රිය රූපයත් භාවරූපයත්[7] එකතු වීමෙන් භාවදසකය[8] ලැබේ. මෙසේ කෙස් කොටසෙහි කර්මජ[9] වශයෙන් රූප කොටස් 20 කි. චිත්තයෙන් හා උතු-ආහාර යන ප්‍රත්‍යය තුනෙන් සමුට්ඨානය වන්නේ සුද්ධට්ඨක තුන් වර්ගයෙකි. එහෙයින් එහි රූපයෝ සූවිස්සෙකි. (24) එකල ඒ එක කේස කොටසෙහි පඨවි කොටස් සූසාළිසෙකි (44). සෙසු කොටස් 18 හිද මෙසේමය. මෙසේ කොටස් ප්‍රඥාව වැඩි දියුණු පුද්ගලයනට ලෙහෙසියෙන් වටහාගත හැකි වෙතත් සෙස්සන් විසින් ක්‍රමයෙන් සල්ලක්ඛණය පවත්වා නුවණට සම්බන්ධ කරගතයුතු වෙයි. මෙසේ ආපෝ ධාතු කොටස් ද සිතින් ගෙන සැලකීම කළයුතුය.

ඒ මෙසේයි:

පිත්තාදි දොළසින්-

තේජො ධාතු කොටස් සතරෙකි.

  1. සන්තාපක තේජ - චතුර්ජය.
  2. ජීරක තේජ - චතුර්ජය.
  3. පරිදාහක තේජ - චතුර්ජය.
  4. පාචක තේජ - කර්මජය.

මේ ආකාරයෙන් තේජොධාතු කොටස්වලට ලැබෙන තේජො රූපයන් ද නුවණින් සලැකිය යුතු ය.

මේ වායෝ ධාතු රූප හය කොටසට සිත යොදමු.

  1. උද්ධඞ්ගම වායෝධාතු රූපයෝ.
  2. අධොගම වායෝ ධාතු රූපයෝ.
  3. කුච්ඡිසය වායෝ ධාතු රූපයෝ.
  4. කොට්ඨශය වායෝධාතු රූපයෝ.
  5. අඞ්ගමඞ්ගානුසාරී වායෝධාතු රූපයෝ.
  6. අස්සාස පස්සාස වායෝධාතු රූපයෝ.

යන මොවුන් අතරින් අස්සාස පස්සාස වායො ධාතූහු චිත්තජ වෙති. සෙසු කොටස් 5 චතුසමුට්ඨානය.

මේ රූප කොටස්වලට සිත මනසිකාරය පැවැත්වීමේදී තමන්ගේ සිතට ප්‍රකට ව දැනෙන කොටසකට පළමුවෙන් සිත භාවනාරම්භය කළ යුතුය. සමාධිය දියුණුවට පත්වීමෙන් අප්‍රකට කොටස්ද ප්‍රකට වනු ඇත.

මේ කොටස් ප්‍රකටව දැනීම සඳහා කරන මනසිකාර ක්‍රමය, රූප කර්මස්ථාන භාවනා ක්‍රමයයි. මෙය හොඳට ප්‍රගුණවූ පසු වේදනා ස්කන්ධාදියද සිතින් ගෙන මනසිකාරය පැවැත්විය යුතුය. චක්ඛු සම්ඵස්සජා වේදනාදී වශයෙන් දැක්වෙන සයාකාර වේදනාවන් සුඛ, දුක්ඛ, උපෙක්ඛා වශයෙන්ද, සාමිස, නිරාමිස වශයෙන්ද සලකා හේතු ප්‍රත්‍යයන් සමඟ නුවණින් මෙනෙහි කළ යුතුය. මීළඟට රූප සඤ්ඤා, සද්ද සඤ්ඤාදි වශයෙන් ලැබෙන සංඥාස්කන්ධයද, චක්ඛු

සම්ඵස්සාදී වශයෙන් ලැබෙන ඵස්සයද, රූප විතක්ක, රූප විචාර, රූප සචේතනාදී වශයෙන් ලැබෙන සංස්කාර ස්කන්ධය හා සරාගාදී වශයෙන් ලැබෙන විඤ්ඤාණ අනුව විඤ්ඤාණ ස්කන්ධයද හේතු සහිතව සැලකිය යුතුය.

මේ ආකාරයට පඤ්චස්කන්ධයට ඇතුළත් කොටස් වෙන වෙනම නුවණින් සලකා බැලීමේදී එක් එක් කොටසක් මුල්කර ගෙන සිතේ තැන්පත්කම සිදුවෙයි. එය සමාධියයි. ඒ සමාධිය තරවීමේදී නීවරණයෝ තදඞ්ග වශයෙන් ප්‍රහීණ වෙති. එය චිත්ත විසුද්ධියයි. එයට උපකාරව සිටි චතුපාරිශුද්ධි ශීලය, ශීල විසුද්ධියයි. දොළොස් ආකාර ආයතන වශයෙන්ද, චක්ඛුධාතු ආදී අටළොස් ධාතු වශයෙන්ද, මුලින් සඳහන් කළ පඤ්ච කොටස්ම අතීත අනාගතාදි එකොළොස් ආකාරයට බහා සැළකීමෙන්ද, විදර්ශනා සමාධිය වැඩීමෙන් චිත්ත විශුද්ධිය සැලසෙයි.

මෙයින් පසු මේ කොටස් පිළිබඳව නුවණින් මෙනෙහි කිරීමේදී සප්පච්චය නාම-රූප වවත්ථානය සිදුවීමෙන් දිට්ඨි විසුද්ධි කඞ්ඛා විතරණ විසුද්ධි ලැබෙයි. මේ සංස්කාර කොටස් පිළිබඳ උදය වය දෙක දැනීමෙන් එයින් පෙළෙන සැටි නුවණට වටහා ගන්නා විට “ඉදං දුක්ඛං” යන යොනිසෝමනසිකාරය සම්පූර්ණ වෙයි. සමුදය සත්‍යාදිය ද මෙසේ සම්පූර්ණ වෙයි. මෙයින් සද්ධින්ද්‍රියාදී ඉන්‍ද්‍රිය ධර්ම සමව වැඩෙති. බොජ්ඣඞ්ගයෝ ක්‍රියාවත් වෙති. සම්මා දිට්ඨි ආදී මාර්ගාංගයෝ පහළ වෙති. නිරෝධ දර්ශනයෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන තුන ප්‍රහීණ වෙති. මේ සබ්බාසව සූත්‍රයෙහි සඳහන් පිළිවෙලින් සොතාපත්ති මග්ග ඥානය ලැබෙන සැටියි.

උපරි මාර්ගයන් ලබා ගන්නා සැටි “භාවනාය පහාතබ්බා ආසවා” යන පදවලින් දැක්වෙති. ඒ හැටියට මුලින් උපදවා ගත් යථොක්ත වූ ඉන්ද්‍රීය-මාර්ගාංග ධර්මයන් දියුණුවට පත්කර ගැනීමේ දී මතු තුන් අවස්ථාවකදී හෝ සය අවස්ථාවක දී මේ නිවන ප්‍රත්‍යක්ෂව අවබෝධය කරගනු ලැබෙනවා ඇත. මේ පිළිබඳ පාරායණ අජිත ප්‍රශ්න නිර්දේශය මෙසේය:-

  1. සොතාපත්ති මග්ගඤාණෙන අභිසඞ්ඛාර විඤ්ඤාණස්ස නිරොධෙන සත්ත භවෙ ඨපෙත්‍වා අනමතග්ගෙ සංසාරෙ යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්‍ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්‍ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති.
  2. සකදාගාමි මග්ගඤාණෙන අභිසඞ්ඛාර විඤ්ඤාණස්ස නිරොධෙන දෙව භවෙ ඨපෙත්‍වා පඤ්චසු භවෙසු යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්‍ථෙතෙ නිරුජ්ඣන්ති. -පෙ- පටිප්පස්සම්භන්ති.
  3. අනාගාමි මග්ගඤාණෙන අභිසඞ්ඛාර විඤ්ඤාණස්ස නිරොධෙන එකං භවං ඨපෙත්‍වා රූපධාතුයාවා අරූපධාතුයාවා යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්‍ථෙතෙ නිරුජ්ඣන්ති -පෙ- පටිප්පස්සම්හන්ති.
  4. අරහත්ත මග්ගඤාණෙන අභිසඞ්ඛාර විඤ්ඤාණස්ස නිරොධෙන යෙ උප්පජ්ජෙය්‍යුං නාමඤ්ච රූපඤ්ච, එත්‍ථෙතෙ නිරුජ්ඣන්ති -පෙ- පටිප්පස්සමහන්ති.
  5. අරහතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තස්ස චරිම විඤ්ඤාණ නිරොධෙන පඤ්ඤාච, සතිච, නාමඤ්ච, රූපඤ්ච එත්‍ථෙතෙ නිරුජ්ඣන්ති. වූපසම්මන්ති අත්‍ථං ගච්ඡන්ති. පටිප්පස්සම්භන්ති.

මෙහි අදහස:

  1. සෝවන් මාර්ග නැමති පළමුවන ලෝකෝත්තර කුසල සිත පහළවීමේදී මර්ගාඞ්ගයන් පිරී නිවන දැක්මේ දී සඤ්ඤොජන[10] තුනෙක් ප්‍රහීණ වෙයි. (තීණි සංයොජනානි පහීයන්ති) ඒ සංයෝජන සමග පවත්නා ක්ලේශයෝද, ඒ සමග ප්‍රහීණ වෙති. සතර අපාය උපතදෙන පාපකර්මයෝද ප්‍රහීණ වෙති. ඔවුහු තමා සමාදන්වගත්, ශික්ෂාවන්හි පරිපූරකාරී[11] වෙති. මේ මාර්ග චිත්තයේ බලයෙන් භව සතක් ඉතුරු කොට සෙසු භවයන්හි උපත දෙන කර්ම විඤ්ඤාණ නිරෝධය වෙයි. එයින් කෙළවරක් නැති සසර ඉපදීමට සුදුසුව තිබූ නාමරූප සියල්ලද නිරුද්ධ වෙති. සංසිඳෙති. කොනකට යති.
  2. සකදාගාමී මාර්ග නම් ලෝකෝත්තර සිතින් මේ නිවන දැකීමේදී භව දෙකක් හැර සෙසු බව පසක උපත දෙන නාම රූප සංස්කාරයෝ සංසිඳෙත්, ඕළාරික කාමරාග පටිඝ දෙක ප්‍රහීණවෙත්.
  3. අනාගාමි මග්ග නම් තුන්වන ලෝකෝත්තර සිතින් මේ නිවන දැකීමේදී අභිසංස්කාර විඥානයේ[12] නිරෝධයෙන් කාමරාග පටිඝ ප්‍රහීණවීමෙන් එක් භවයක් හැර රූපධාතුවෙහිද, අරූප ධාතුවෙහිද, උපදින්නට සුදුසුව තුබූ නාම රූප සංස්කාරයෝ සංසිඳෙත්.
  4. අරහත්ත මග්ග නැමැති සිව්වන ලෝකෝත්තර සිතින් මේ නිවන දැකීමෙන් සියලු කෙලෙස් ප්‍රහීණවීමෙන් සියලු සංස්කාර විඥාන නිරුද්ධ වෙති.
  5. අනුපාදිසෙස නිබ්බාන ධාතුවෙන් පරිනිවන් පානා රහතන් වහන්සේගේ අන්තිම චුති චිත්තයේ නිරෝධයෙන් දියුණුවට පැමිණි පඤ්ඤා සති ආදිය ද නිරුද්ධ වෙති. සංසිඳෙති.

මෙසේ ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ මේ නිවන සම්පූර්ණයෙන් දර්ශනය කරන්නාහ. එහෙයින් උන්වහන්සේගේ චිත්ත සන්තානයෙහි කර්ම වේගයන් ජනනය කරන සංඛාරයෝ පහළ නොවෙති. චිත්ත සන්තතිය ද භවයෙන් භවයට සම්බන්ධ කරන පවත්ත සන්තතාධිපතෙය්‍ය[13] නම් වූ ජීවිතින්‍ද්‍රිය වර්තමාන භවය පවත්වා ගැනීමට පමණක් පවතී. සඞ්ඛාර වේගය සංසිඳීමෙන් අන්තිම චුති චිත්තයේදී නාම රූප සංඛාරයෝ විසංඛාර බවට පත්වෙති, පූර්ව කෙළවර නොදක්නා සංසාරයෙහි කෙළවර පෙනිණ.

(තෙසායං පච්ඡිමා කොටි) සියලු සංඛාරයන් විසංඛාර බවට පත්වූ හෙයින් (ජාති මරණ සංසාරො නත්‍ථි තෙසං පුනබ්භවො) නැවත භවයක් නැත. මේ නිවනේ තත්ත්වයයි.

“නිබ්බානං පරමං වදන්ති බුද්ධා”

  1. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද

  2. ප්‍රත්‍යයන්ගෙන් නොකරන ලද

  3. ධර්මතාවට අනුව වටහා ගැනීම්

  4. කම්ම, චිත්ත, උතු, ආහාර යන සතරින් හටගත්

  5. කෙස්, ලොම් ආදි වශයෙන් ලැබෙන පඨවි ධාතු කොටස්

  6. කයෙහි පැහැදිලි ගතිය

  7. ස්ත්‍රීභාව පුරුෂභාව දෙක

  8. භාවරූපය දසවෙනි කොට ඇති කළාපය. රූප මිටිය

  9. කර්මයෙන් හටගත්

  10. බැමි

  11. සම්පූර්ණ කරන

  12. කර්‍ම විඤ්ඤාණය

  13. ජීවිතයක පැවැත්මේ සම්බන්ධයට අධිපතිකම