- මව මැරීම ය
- පියා මැරීම ය
- රහතුන් මැරීම ය
- බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ය
- සංඝයා භේද කරවීම ය,
යන මේ පස ආනන්තර්‍ය්‍ය නම් වූ මහා පාපයෝ ය. මේවාට ආනන්තර්‍ය්‍ය කර්මය යි කියනුයේ මරණයට අනතුරු ව ම විපාක දානය නියත බැවිනි. නියත මිථ්‍යා දෘෂ්ටිය මහා පාපයක් වුව ද, මරණයට කලින් දෘෂ්ටිය හළ හොත් ඒ තැනැත්තාට සුගතියට යා හැකි ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට අපායෙන් මිදීමට උපක්‍රමයක් නැත්තේ ය. කොතරම් විශාල පිනක් කළත් ඔවුනට අපායෙන් නො මිදිය හැකිය. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණවුන්ගෙන් අග්‍ර වූයේ අජාසත් රජතුමා ය. එතුමා බොහෝ පින් කෙළේ ය. එහෙත් පීතෘඝාත කර්මය කළ බැවින් ඔහුට නරකයෙන් නො මිදිය හැකි විය. බොහෝ පින් කිරීමෙන් එතුමාට ඇති වූ මඳ සැනසිල්ල මහා නරකයට නො වැටී කුඩා තැනකට වැටීම ය. මාතෘඝාත පීතෘඝාත කර්ම දෙක පිළිබඳ වදත යුතු කරුණු ප්‍රාණාතිපාත කර්ම විස්තරයේ දී කිරයන ලදි. මනුෂ්‍ය ජාතික රහත් කෙනකු මැරීමෙන්න අරහන්තඝාත ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මනුෂ්‍ය නොවූ රහත් කෙනකු මැරීම මහාසාවද්‍ය කර්මයක් වේ. ආනන්තර්‍ය්‍ය නොවේ. බුදුවරුන්ගේ ජීවිතය කිසිවකුට නැසිය නොහෙන බැවින් බුද්ධඝාත කර්මයක් නැත. බුදුවරුන්ගේ ශරීරය සිදුරු කළ හැක්කේ ද නො වේ. තද පහරක් වැදුන හොත් බුද්ධ ශරීරයේ ලේ තැළී කැටි වේ. එසේ කිරීම ලෝහිතුප්පාදක කර්ම නම් වූ ආනන්තර්‍ය්‍ය කර්මය ය. චෛත්‍ය බිඳීම, බුදු පිළිම විනාශ කිරීම, බෝරුක් විනාශ කිරීම, විහාර විනාශ කිරීම යන මේවා ආනන්තර්‍ය්‍ය කර්මයට ළංවන තරමේ මහා සාවද්‍ය කර්මයෝ ය. බෝරුක ආරක්ෂා කරනු පිණිස දිරූ අතු අස් කිරීම පාපයක් නොවේ. ශාරීරික ධාතු සහිත චෛත්‍යයකට පිළිමයකට බෝ අතු බෝ මුල් වලින් අනතුරක් වත හොත් ඒවා ආරක්ෂා කරනු පිණිස බෝ අතු බෝ මුල් අස් කිරීම ද පාපයක් නොවේ. පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතු උතුම් හෙයිනි. බෝ කටු මලසුන් ආදිය ආරක්ෂා කරනු පිණිස, බෝ මුල් බෝ අතුවලට අනතුරු නො කළ යුතු ය. ආනන්තර්‍ය්‍ය කර්ම අතුරෙන් සඞ්ඝ භේද කර්මය සියල්ලට ම වඩා මහත් පාපය වේ. එය කළාහු කපක් මුළුල්ලෙහි නරකයෙහි පැසෙති. ඉතිරි කර්ම කළාහු ඊට අඩු කාලයකින් ද නරකයෙන් මිදෙති. සංඝභේද කර්මය පැවිද්දකු විසින් මිස ගිහියකු විසින් නො කළ හැකිය. ලෝහිතුප්පාදක කර්මය මහා සාවද්‍ය භාවයෙන් දෙවන තැන ගනී. අරහන්ත ඝාතනය තුන්වන තැන ගනී. මාපිය දෙදෙනාගෙන් වඩා ගුණ ඇත්තා මැරීම මහත් පාපය වේ.