මෙපමණ ආදීනව රාශියක් ඇත්තා වූ සුරාපානය ද කර්මපථයක් වශයෙන් ගෙන අකුශල කර්මපථ එකොළසක් බුදු සමයේ නො දැක්වීමට හේතුව කවරේ ද යනු සැලකිය යුතු කරුණකි. කුශලාකුශලයන් ගේ විපාකය ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් වේ. මරණින් මතු යම්කිසි තැනක උත්පත්තියක් සිදු කිරීම ප්‍රතිසන්ධි විපාකය ය. උපන් සත්ත්වයා හට සැපදුක් පැමිණවීම ප්‍රවෘත්ති විපාකය ය. කර්මපථය යි කියනු ලබන්නේ ප්‍රතිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මයන්ට ය. ප්‍රතිසන්ධිය ගෙන දීමේ ඒකාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්ම යන නාමය පමණක් කියනු ලැබේ. සුරාපාන කර්මය ද ප්‍රතිසන්ධි ගෙන දීම් වශයෙන් අනේකාන්තික කර්මයෙකි. සුරාපාන කර්මය ප්‍රතිසන්ධිදායක කර්මයක් වනුයේ ප්‍රාණඝාතාදි කර්මපථයන් හා සම්බන්ධ වූ කල්හිය. සුරාපානයෙන් මත්ව ප්‍රාණඝාතාදි ක්‍රියාවක් කළහොත් ඒ සුරාපාන කර්මය ප්‍රාණඝාත කර්මයාගේ පූර්ව චේතනා භාවයෙන් අපාය ප්‍රතිසන්ධි දානය කරන්නේ ය. ප්‍රාණඝාතාදි පාපයක් කොට තමාගේ වික්‍රමය ගැන සතුටු වී සුරාපානය කළහොත් එය ඒ කර්මපථයාගේ අපර චේතනා වශයෙන් ප්‍රතිසන්ධි විපාකයක් ඇති කිරීමට සමත් වන්නේ ය. යම්කිසි පාප ක්‍රියාවක් කිරීමට ධෛර්‍ය්‍ය ඇති කර ගනු පිණිස කරන සුරාපානය ද ඒ කර්මයාගේ පූර්ව චේතනා භාවයෙන් ප්‍රතිසන්ධි ගෙනදීමට සමත් වන්නේ ය. නිරෝගභවාදි අන් කරුණක් නිසා කරන්නා වූ සුරාපානය ද සුරාපානය කොට මත් ව යම්කිසි අපරාධයක් නො කරන්නා වූ තැනැත්තාගේ සුරා පානය ද පාපයක් වන නමුත් කර්මපථයක් නොවේ. මෙසේ සුරාපාන කර්මය ප්‍රතිසන්ධි දානයෙහි අනේකාන්තික බැවින් එය ද ඇතුළත් කොට අකුශල කර්මපථ එකොළොසක් නො ගන්නා ලැබේ.
වෙන් වූ කර්මපථයක් වශයෙන් එය නො ගන්නේ වී නමුත් “තස්ස සභාගත්තෙන මිච්ඡාචාරෙ උපකාරකත්තෙන දසසුපි කම්මපථෙසු අනුපවෙසො”යි එය සභාගත්වයෙන් කාමමිථ්‍යාචාර කර්මය ද, උපකාරත්වයෙන් දශාකුශල කර්මපථයට ම ඇතුළත් වන බව පූර්වාචාර්යවරයෝ දැක්වූහ. එසේ දශ අකුශලයට ඇතුළත් වන බැවින් එය වෙන්වූ කර්ම පථයක් වශයෙන් නො ගන්නා ලදැයි ද කිය හැකි ය.
සුරාපාන කර්මය ප්‍රතිසන්ධි විපාකදානයෙහි අනේකාන්තික කර්මයක් නම් එහි විපාක වදාරන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළේ කුමට ද? යන ප්‍රශ්නය ද මෙහි දී ඇති වේ. සුරාපානය මදයට හේතු වේ. මදය අකුශලයට හේතු වේ. අකුශලය අපායෝත්පත්තියට හේතු වේ. සුරාපානය නො කළේ නම් මදය නිසා සිදුවන අකුශල් සිදු වී අපායගාමී නොවන බැවින් සුරාපානය ද අපායෝත්පත්තියට දුරින් සිටින බලවත් හේතුවක් වේ. එබැවින් එහි ඵල දක්වන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළ සේක. අපායෝත්පත්තිය සිදු වන්නේ සුරාපාන මාත්‍රයෙන් නොව මත්ව කරන අකුශලයෙන් බව -
“යං වෙ පීත්වා දුච්චරිතං චරන්ති
කායෙන වාචාය ච චෙතසා ච
නිරයං වජන්ති දුච්චරිතං චරිත්වා
තස්ස පුණ්ණං කුම්භමිමං කිණාථ”
යන ජාතක ගාථාවෙන් ද පැහැදිලි වේ.
“යමක් පානය කොට කයින් ද වචනයෙන් ද සිතින් ද දුසිරිත්හි හැසිරෙත් ද දුසිරිත්හි හැසිර හෙවත් පව් කොට නරකයට යෙත් ද එයින් පිරුණා වූ මේ සැළිය ගනිව් ය” යනු එහි තේරුමයි. මෙයින් දැක්වෙන්නේ සුරා බී, එ පමණින් අපායට යෑමක් නොව එය නිසා පව් කොට අපායට යෑමෙකි. සුරාපානය කොට පවක් කෙළේ හෝ වේවා නො කළේ හෝ වේවා යමෙක් බෙහෙතක් වශයෙන් වුවත් බිඳක් වත් සුරාපානය කළේ නම් එයින් සුරාපාන සිකපදය බිඳේ. එබැවින් සුරාපානය කළත් අපි පව් නො කරමු යි කියා එය සැහැල්ලු කොට සිතා සුරාපානය කරන්නට නො යා යුතු ය. පන්සිල් රක්නා බෞද්ධයාට මඳක් වත් සුරා බෙහෙතක් පිණිසවත් පානය කිරීමට අවකාශයක් නැති බව තේරුම් ගෙන දෙලොව වැඩ කැමැත්තෝ සුරාව විෂයක් මෙන් සලකා එයින් වළකිත්වා!