09 මෙකල පවතින වැරදි මතවාද කීපයක් හා එසේ ධර්මය වරදවා දැක්වීමෙන් වන අනතුර

මෙකල බොහෝ දෙනෙක් තම තමන්ට හිතු මනාපයේ දහම විස්තර කරනු දක්නට ලැබේ, අසන්නට ලැබේ. එසේ කරන බොහෝ දෙනෙක් හරිහැටි සීලයකවත් නොපිහිටි දහම පිළිබඳ හරි ශ්‍රද්ධාවකින් තොර වූ ආත්මය හුවා දැක්වීම පිණිස වෑයම් කරන ලාභ සත්කාර ලැබීමේ ආශාව ආදී පාපී අදහස් වලින් යුක්ත අය බව විමසීමේදී පැහැදිලි වේ. ඔවුහු ‘මෙතෙක් කාලයක් දහමේ නිවැරදි අර්ථය යටපත් වී තිබුණේය. එය මම සොයාගත්තෙමි.’ යනාදී ලෙස ආත්ම දෘෂ්ටියෙන් මත්වී, මාන්නයෙන් ඉදිමී ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දක්වති. එය පිළිගන්නා වූ දහම නොදන්නා ගිහි පිරිස ද ඒ අනුව යති. එයින් බොහෝ අකුසල් සිදු කරගෙන දෙපිරිසම අපාගාමී වෙති.

මෙහිදී ශ්‍රාවක පිරිසද බුද්ධිමත් විය යුතුය. ඔවුන් විසින් “මේ ස්වාමින් වහන්සේ කියන පරිදි අතීතයේ පටන් මෙතෙක් කල් දහමේ අර්ථ වැරදී තිබුණා නම් පෙර අතීතයේ මගඵල ලාභීන් බිහිවූයේ කෙසේද? දැනුත් එම පැරණි ක්‍රම අනුගමනය කරන අය අතර ප්‍රතිඵල ලාභීන් සිටින්නේ කෙසේද? එම පැරණි ක්‍රම අනුදැන වදාළ දහස් ගණන් ලක්‍ෂ ගණන් පැරණි උතුමන් වහන්සේලා මේ කරුණු වැරදි යැයි නොතේරී මුළා වූවාහුද? මෙසේ අළුත් අදහස් කියන දහම් දැනීමත් අඩු ප්‍රතිපදාවේත් හරිහැටි නොයෙදෙන එක් කෙනෙකුට හෝ කීපදෙනෙකුට පමණක් හරි දහම වැටහීමටත් ලක්‍ෂ ගණන් කෝටි ගණන් ධර්මධර විනයධර ප්‍රතිපත්තිකාමී උතුමන්ට වැරදීමටත් හේතු තිබේද? මෙය මොවුන්ගේම වැරදි දෘෂ්ටි විය නොහැකි ද?” යනුවෙන් මෙසේ සිතා බැලිය යුතුය. විමසිය යුතුය. මෙම පිරිසිදු දහම පෙළ හා අටුවා වශයෙන් ධරාගෙන පැමිණියේ එසේ මෙසේ පිරිසක් විසින් නොවේ. චතුපටිසම්භිදා ෂඩ්අභිඥාලාභී උතුමන් විසිනි. එම උතුමන් වහන්සේලා කෙබඳුදැයි පෙර (පිටු අංක 29) අපි දැක්වීමු. එබැවින් දැන් මේ අළුත් දහමක් දක්වන පැරණි දහම වැරදියැයි දක්වන අය ඒ පැරණි උතුමන්ගේ පා දුහුවිල්ලක් පමණවත් වටීදැයි නුවණැත්තෝ සිතා බලත්වා. මෙසේ දහම වරදවා කියන ඇතැමුන් තමන් මගඵල ලාභීන් යැයි ද හඳුන්වා ගනිති. එසේ කීවද එය එකවර පිළිගත යුතු නොවේ. තමාගේ උමතුබව ආදී විවිධ හේතු නිසා ඇතැම්හු අරිහත්වය ප්‍රකාශ කරති. ඒ බව බුදුරජානන් වහන්සේම මෙසේ වදාළ සේක;

‘‘පඤ්‌චිමානි, භික්‌ඛවෙ, අඤ්‌ඤාබ්‍යාකරණානි. කතමානි පඤ්‌ච? මන්‌දත්‌තා මොමූහත්‌තා අඤ්‌ඤං බ්‍යාකරොති; පාපිච්‌ඡො ඉච්‌ඡාපකතො අඤ්‌ඤං බ්‍යාකරොති; උම්‌මාදා චිත්‌තක්‌ඛෙපා අඤ්‌ඤං බ්‍යාකරොති; අධිමානෙන අඤ්‌ඤං බ්‍යාකරොති; සම්‌මදෙව අඤ්‌ඤං බ්‍යාකරොති. ඉමානි ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච අඤ්‌ඤාබ්‍යාකරණානි”

(මහණෙනි! අරිහත්වය ප්‍රකාශ කිරීම් පහකි. කවර පහක්ද යත්;

1. අඥාණභාවයෙන් ඉතා මෝඩ බැවින් අරිහත්වය ප්‍රකාශ කරයි.

2. එයින් ලාභ ලැබීමේ පහත් ආශාවෙන් යුතුව අරිහත්වය ප්‍රකාශ කරයි.

3. තමාගේ උමතුබව චිත්තවික්‍ෂේපය හේතුවෙන් අරිහත්වය ප්‍රකාශ කරයි.

4. අධිමානයෙන් තමා රහත් යැයි රැවටී අරිහත්වය ප්‍රකාශ කරයි.

5. සත්‍ය වශයෙන්ම අරිහත්වය සාක්‍ෂාත් කොට අරිහත්වය ප්‍රකාශ කරයි.

මහණෙනි! මේ ඒ අරිහත්වය ප්‍රකාශ කිරීම් පහයි.)

යනුවෙනි. මෙවැනි අවස්ථාවකදී සැබෑ ආර්යන් වහන්සේලා කෙබඳුදැයි විමසීමට නුවණ තිබිය යුතුය. ඒ සැබෑ ආර්ය උතුමන්ගේ ස්වභාවය ධර්මයේ සඳහන් වේ. අවම වශයෙන් සෝතාපන්න ආර්ය උතුමෙක් වුවත් කිසි විටෙක කිසිම හේතුවකින් දැන දැන ඇවතකට පත් නොවේ. ඒ බව “ද්‌වෙ පුග්‌ගලා අභබ්‌බා සඤ්‌චිච්‌ච ආපත්‌තිං ආපජ්‌ජිතුං – භික්‌ඛූ ච භික්‌ඛුනියො ච අරියපුග්‌ගලා. (ආර්ය පුද්ගල වූ භික්‍ෂූහුත් භික්‍ෂුණීහුත් යන පුද්ගලයින් දෙදෙනෙක් දැන දැන ඇවතට පත්වීමට අභව්‍ය වෙති. )”[1] යනුවෙන් විනයපිටක පෙළෙහි දැක්වේ.

මීට අමතරව ආර්ය උතුමෙකුට බලෙන් මද්‍ය (මත් වන දෑ) පෙවුවද සුරා උගුරට නොපිවිසෙයි, එබැවින් මත් නොවේ. ඒ බවද අටුවාදී ග්‍රන්ථයන්හි “භවන්‌තරෙපි හි අරියසාවකො ජීවිතහෙතුපි නෙව පාණං හනති න සුරං පිවති. සචෙපිස්‌ස සුරඤ්‌ච ඛීරඤ්‌ච මිස්‌සෙත්‌වා මුඛෙ පක්‌ඛිපන්‌ති, ඛීරමෙව පවිසති, න සුරා. යථා කිං? කොඤ්‌චසකුණානං ඛීරමිස්‌සකෙ උදකෙ ඛීරමෙව පවිසති? න උදකං. ඉදං යොනිසිද්‌ධන්‌ති චෙ, ඉදං ධම්‌මතාසිද්‌ධන්‌ති ච වෙදිතබ්‌බං.”

(භවාන්තරයෙහිදී එනම් මගඵල ලැබූ භවයෙන් අන්‍ය භවයකදීවත් ආර්ය ශ්‍රාවක උතුමෙක් ජීවිතය හේතුවෙන්වත් ප්‍රාණයක් නොනසන්නේමය, සුරා පානය නොකරන්නේමය. ඉඳින් සුරා හා කිරි මිශ්‍රකර ඒ ආර්යන් වහන්සේගේ මුඛයෙහි දමන්නේ නම් කිරි පමණක්ම උගුරට පිවිසෙයි, සුරා නොපිවිසෙයි. ඒ කෙසේද යත්, කොස්වා ලිහිණින්ගේ[2] මුඛයෙහි කිරි මිශ්‍ර ජලය දැමූ කල්හි කිරි පමණක් උගුරට පිවිසෙයි. ජලය නොපිවිසෙයි. මෙය (කොස්වා ලිහිණින්ගේ උගුරට කිරි පමණක් පිවිසීම) ජාතිය නිසා සිදු වූවකි. (ආර්යන්ගේ උගුරට සුරා නොපිවිසීම යන) මෙය ආර්ය මාර්ගඥානයේ ආනුභාවය නමැති ධර්මතාව අනුව සිදු වූවක් යැයි ද දත යුතුය.)[3] යනුවෙන් දක්වා ඇත.

රහතන් වහන්සේලා නම් කිසිම හේතුවකට බිය නොවන, තැති නොගන්නා, කේන්ති නොගන්නා උතුමෝ වෙති. තවද සියලු දත් පෙනෙන ලෙස සිනාසීම් ආදියක් රහත් උතුමෙකුගෙන් සිදු නොවේ. සිත (කිසිසේත්ම දත් නොපෙනෙන සේ සිනාසීම) හා හසිත (දන්තයන්ගේ අග පමණක් පෙනෙන සේ සිනාසීම) යන සිනා වර්ග දෙක පමණක් රහතන් වහන්සේට ඇති බව දැක්වේ. සිතහසිතද්‌වයං උත්‌තමෙ[4] යනාදී පාඨ වලින් ඒ බව දැක්වේ. එබැවින් යමෙක් කියූ පමණින්ම ඔහුගේ ආර්ය භාවය තීරණය නොකර මේ කරුණු අනුව විමසා බලා තීරණ ගතයුතුය.

නමුත් මෑතක සිට බොහෝ දෙනෙක් තමන් මගඵල ලාභීන් ලෙස දක්වමින් බොහෝ දහම් කරුණු ද විකෘති කරමින් හැසිරෙන බව දක්නට ලැබේ. ඇතැම්හු මෙසේ කරන්නේ තමන්ට ලාභ ලබා ගැනීමේ පවිටු අරමුණින් යුතුවය. මෙසේ කරනා තැනැත්තා මෙම බුද්ධ සාසනයේ සිටින මහම මහහොරා බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘‘පඤ්‌චිමෙ, භික්‌ඛවෙ, මහාචොරා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ පඤ්‌ච? ....... ‘‘සදෙවකෙ, භික්‌ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්‍රහ්‌මකෙ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය අයං අග්‌ගො මහාචොරො යො අසන්‌තං අභූතං උත්‌තරිමනුස්‌සධම්‌මං උල්‌ලපති. තං කිස්‌ස හෙතු? ථෙය්‍යාය වො, භික්‌ඛවෙ, රට්‌ඨපිණ්‌ඩො භුත්‌තො’’ති.[5]

ඉහත දේශනාව මදක් දීර්ඝ බැවින් එහි සම්පූර්ණ පරිවර්තනය මෙහි නොදක්වමු. සාසනයේද හොරු පස්දෙනෙක් සිටින බව මෙහිදී බුදුරජාණන් වහන්සේ දැක්වූ සේක. ඒ පස්දෙනා මෙසේය.

1. සිවුපසය ලැබීමේ හා පිරිස පිරිවරාගෙන හැසිරීමේ පහත් ආශාවෙන් යුතුව කටයුතු කරන භික්‍ෂුව මේ ලෝකයේ පළමු මහහොරායි.

2. බුද්ධදේශනාව ඉගෙන ගෙන එය තමාගේ හැකියාවෙන්ම දැනගත්තාක් මෙන් දක්වන පහත් අදහස් ඇති භික්‍ෂුව මේ ලෝකයේ දෙවන මහහොරායි.

3. පිරිසිදු සිල් ඇති භික්‍ෂුවකට බොරු පාරාජිකාවකින් චෝදනා කරන භික්‍ෂුව මේ ලෝකයේ තෙවන මහහොරායි.

4. සංඝයාට අයත් ඇඳපුටු ආදී ගරුභාණ්ඩ ගිහියන්ට ලබා දෙමින් ගිහිසංග්‍රහ කරන භික්‍ෂුව මේ ලෝකයේ හතරවන මහහොරායි.

5. තමාට නැති ධ්‍යාන-අභිඥා-මාර්ගඵල ආදී උතුරු මිනිස්දම් තමාට ඇතැයි ප්‍රකාශ කරන භික්‍ෂුව මේ ලෝකයේ අග්‍රම මහහොරායි, යනුවෙනි.

මෙසේ තමාට නැති ගුණ පෙන්වමින්, අවම වශයෙන් මූළික සීලයකවත් නොපිහිටා, මිළමුදල් භාවිතා කරමින්, විකාලභෝජනාදී සිකපද ගණනකටවත් නොගනිමින් ලෝකය රවටන අතර එයින් නොනැවතී පිරිසිදු ධර්මය ද විකෘති කරමින් කටයුතු කිරීම පමණ කළ නොහැකි පාපයකි. මෙම ක්‍රියාවේ ඇති අනතුර සුළුපටු නොවේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

‘‘යෙ තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ අධම්‌මං ධම්‌මොති දීපෙන්‌ති .......තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ බහුජනඅහිතාය පටිපන්‌නා බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති, තෙ චිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති”

(මහණෙනි! යම් භික්‍ෂූහු අධර්මය ධර්මය යැයි ප්‍රකාශ කරත් ද, ඔවුහු බොහෝ දෙනාට අහිත පිණිස, නො සුව පිණිස, අනර්ථය පිණිස, දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස කටයුතු කරන්නාහු වෙති. ඒ භික්‍ෂූහු බොහෝ පව් ද රැස්කර ගනිති. ඔවුහු මේ සද්ධර්මය අතුරුදන් කරති.)[6]

මෙසේ ධර්මය අධර්මය සේත්, අධර්මය ධර්මය සේත්, විනය අවිනය සේත්, අවිනය විනය සේත් දැක්වීම යනාදී ලෙස සංඝ භේදයට හේතුවන කරුණු 18 ක් පිළිබඳව දහමෙහි දැක්වේ. යමෙක් අභිධර්මය ආදී පිරිසිදු දහම් ප්‍රතික්‍ෂේප කරයි නම් හෙතෙම “ධර්මය අධර්මය ලෙස දැක්වීම” යන කරුණ යටතේ මහත් අකුසල් සිදුකර ගනී. එබන්දෙකුට වන අනතුර ගැන තවදුරටත් දහමෙහි මෙසේ දැක්වේ.

“අභිධම්‌මං පටිබාහෙන්‌තො ඉමස්‌මිං ජිනචක්‌කෙ පහාරං දෙති, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං පටිබාහති, සත්‌ථු වෙසාරජ්‌ජඤ්‌ඤාණං පටිනිවත්‌තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග්‌ගෙ ආවරණං බන්‌ධති, අට්‌ඨාරසසු භෙදකරවත්‌ථූසු එකස්‌මිං සන්‌දිස්‌සති උක්‌ඛෙපනීයකම්‌ම-තජ්‌ජනීයකම්‌මාරහො හොති. තං තං කම්‌මං කත්‌වා උය්‍යොජෙතබ්‌බො ‘ගච්‌ඡ විඝාසාදො හුත්‌වා ජීවිස්‌සසී’ති.”

(අභිධර්මය ප්‍රතිබාහනය කරන අවලංගු කරන තැනැත්තා මේ ජිනචක්‍රය නම් වූ බුදුදහමට පහර ගසන්නේ වෙයි, සර්වඥතාඥාණය අවලංගු කරන්නේ වෙයි, ශාස්තෲන් වහන්සේගේ විශාරද ඥානය නවත්වන්නේය, දහම් අසනු කැමති පිරිස රවටන්නේය, ආර්ය මාර්ගය හරහා වැටක් බඳින්නේය, දහඅට වැදෑරුම් භේදකර වස්තු අතුරින් එකක පෙනී සිටින්නේය, උක්ක්‍ෂේපනීය - තජ්ජනීය ආදී දඬුවම් විනයකර්මයන් ලබන්නට සුදුස්සෙක් වන්නේය, ඒ ඒ විනය කර්ම සිදු කොට “සිඟන්නෙක් වී ජීවත් වෙවයි” සසුනෙන් බැහැර කළ යුත්තෙක් වන්නේය.)[7]

විනයෙ පන දුප්‌පටිපන්‌නො ...... තතො දුස්‌සීලභාවං පාපුණාති. සුත්‌තෙ දුප්‌පටිපන්‌නො ..... තතො මිච්‌ඡාදිට්‌ඨිතං පාපුණාති. අභිධම්‌මෙ දුප්‌පටිපන්‌නො ධම්‌මචින්‌තං අතිධාවන්‌තො අචින්‌තෙය්‍යානිපි චින්‌තෙති, තතො චිත්‌තක්‌ඛෙපං පාපුණාති.

(විනයෙහි වැරදියට පිළිපන් තැනැත්තා ...එයින් දුසිල් බවට පැමිණෙයි. සූත්‍ර පිටකයෙහි වැරදියට පිළිපන් තැනැත්තා ...එයින් මිසදිටු බවට පැමිණෙයි. අභිධර්ම පිටකයෙහි වැරදියට පිළිපන් තැනැත්තා ධර්මචින්තාව අතිධාවනය කරමින් නොසිතිය යුතු දේද සිතයි, එයින් චිත්ත වික්‍ෂේපයට පැමිණෙයි.)[8]

කරුණු මෙසේ හෙයින් තමාගේ ගුරුවරයා වුවත් කියන දේ ධර්මවිනයට නොගැලපේ නම් එය නොපිළිගත යුතුය. එබඳු අවස්ථාවක දී නුවණැති ශිෂ්‍යයෙකු සිතනා ආකාරය පිළිබඳ බ්‍රහ්මජාල සූත්‍ර නිදානයෙහි දැක්වේ. ඒ මෙසේය: සුප්පිය පරිබ්‍රාජක තෙමේ ද ඔහුගේ අතවැසි (ශිෂ්‍ය) බ්‍රහ්මදත්ත මාණවක තුමා ද මාර්ගයට පිළිපන්හ. එහිදී සුප්පිය පරිබ්‍රාජකයා නොයෙක් අයුරින් තෙරුවනගේ නුගුණ කියයි. බ්‍රහ්මදත්ත මාණවක තුමා එය නොපිළිගෙන තෙරුවනගේ ගුණ කියයි. මේ අවස්ථාවේදී බ්‍රහ්මදත්ත මාණවක තුමා සිතූ ආකාරය අටුවාවේ මෙසේ දැක්වේ.

‘‘අම්‌හාකං ආචරියො අපරාමසිතබ්‌බං පරාමසති, අනක්‌කමිතබ්‌බං අක්‌කමති, ස්‌වායං අග්‌ගිං ගිලන්‌තො විය, හත්‌ථෙන අසිධාරං පරාමසන්‌තො විය, මුට්‌ඨිනා සිනෙරුං පදාලෙතුකාමො විය, කකචදන්‌තපන්‌තියං කීළමානො විය, පභින්‌නමදං චණ්‌ඩහත්‌ථිං හත්‌ථෙන ගණ්‌හන්‌තො විය ච වණ්‌ණාරහස්‌සෙව රතනත්‌තයස්‌ස අවණ්‌ණං භාසමානො අනයබ්‍යසනං පාපුණිස්‌සති. ආචරියෙ ඛො පන ගූථං වා අග්‌ගිං වා කණ්‌ටකං වා කණ්‌හසප්‌පං වා අක්‌කමන්‌තෙ, සූලං වා අභිරූහන්‌තෙ, හලාහලං වා විසං ඛාදන්‌තෙ, ඛාරොදකං වා පක්‌ඛලන්‌තෙ, නරකපපාතං වා පපතන්‌තෙ, න අන්‌තෙවාසිනා තං සබ්‌බමනුකාතබ්‌බං හොති. කම්‌මස්‌සකා හි සත්‌තා අත්‌තනො කම්‌මානුරූපමෙව ගතිං ගච්‌ඡන්‌ති. නෙව පිතා පුත්‌තස්‌ස කම්‌මෙන ගච්‌ඡති, න පුත්‌තො පිතු කම්‌මෙන, න මාතා පුත්‌තස්‌ස, න පුත්‌තො මාතුයා, න භාතා භගිනියා, න භගිනී භාතු, න ආචරියො අන්‌තෙවාසිනො, න අන්‌තෙවාසී ආචරියස්‌ස කම්‌මෙන ගච්‌ඡති. මය්‌හඤ්‌ච ආචරියො තිණ්‌ණං රතනානං අවණ්‌ණං භාසති, මහාසාවජ්‌ජො ඛො පනාරියූපවාදොති. එවං යොනිසො උම්‌මුජ්‌ජිත්‌වා ආචරියවාදං මද්‌දමානො සම්‌මාකාරණමෙව කාරණතො අපදිසන්‌තො අනෙකපරියායෙන තිණ්‌ණං රතනානං වණ්‌ණං භාසිතුමාරද්‌ධො,

(“අපේ ගුරුතුමා ස්ඵර්ෂ නොකළ යුත්තක් ස්ඵර්ෂ කරයි. පා නොතැබිය යුත්තකට පා තබයි. මෙතුමා ගින්නක් ගිලින්නාක් මෙන්, කඩුමුවහතක් අතින් පිරිමදින්නාක් මෙන්, අත්මිටින් මහමෙර පලනු කැමැත්තාක් මෙන්, කියත් දැති පේලියක ක්‍රීඩා කරන්නාක් මෙන්, මදකිපුණු සැඩ ඇතෙකු අතින් අල්ලන්නාක් මෙන් ගුණ කීමටම සුදුසු වූ තෙරුවනගේ නුගුණ කියමින් විපතට පැමිණෙන්නේය. ගුරුවරයා අසුචියක් හෝ ගින්නක් හෝ කටුවක් හෝ විෂ සර්පයෙක් ව පාගන කල්හි හෝ උලකට නගිද්දී හෝ එකෙණෙහි මැරෙන විෂක් අනුභව කරද්දී හෝ ඉතාසැර ලුණු දියක් කටට ගනිද්දී හෝ සොරුන් හෙලන ප්‍රපාතයකට පනිත්දී හෝ අතවැසියා විසින් ඔහු අනුව ඒ සියල්ල කළ යුතු නොවේ. කර්මය ස්වකීය කොට ඇති සත්වයෝ තමාගේ කර්මයට අනුරූප වූ ම ගතියකට යත්. පියා පුතුගේ කර්මයෙන් උපතකට නොයයි. ... අතවැසි ශිෂ්‍යයා ගුරුවරයාගේ කර්මයෙන් උපතකට නොයයි. මගේ ගුරුවරයා තෙරුවනගේ නුගුණ කියයි. ආර්යෝපවාදය මහාසාවද්‍ය වෙයි.” යනුවෙන් මෙසේ නුවණින් ආර්යෝපවාදයෙන් බේරී ගුරුවරයාගේ වාදය මඩිමින් නිවැරදි කරුණම කාරණය වශයෙන් දක්වමින් නොයෙක් ආකාරයෙන් තෙරුවනගේ ගුණ කීමට ඇරඹීය.)[9]

ඉහත කරුණු සිත තබාගෙන දහමට එකඟ නොවන මත කවුරුන් කීවත් එකවර පිළිනොගෙන වැරදි මත ඉවත දමමින් සීලාදී ප්‍රතිපත්ති පුරන්නට යෙදෙත්වා යනු අපගේ ආරාධනයයි.

  1. පරිවාරපාළි 2 කොටස 16 පිටුව

  2. ඇතැම් ග්‍රන්ථයන්හි හංසයන්ගේ යැයි දක්වා ඇත. එකම සත්වයා නම් දෙකකින්

    හැඳින්වූවා විය හැකිය.

  3. දීඝනිකාය කූටදන්ත සූත්‍ර අටුවාව

  4. සුබෝධාලංකාරටීකා

  5. පාරාජිකාපාළි 196-198 පිටු

  6. අංගුත්තරනිකාය 1, 38-39 පිටු

  7. අත්ථසාලිනී අටුවාව (හේවාවිතාරණ මුද්‍රණ 1940) 24 පිටුව

  8. විනය අටුවා (හේ.මු.) 14 පිටුව

  9. දීඝනිකාය අටුවාව (හේවාවිතාරණ මුද්‍රණ 1918) 28-29 පිටු