එසේ මෑතකාලයේ පැනනැගුණු වැරදි මතවාද කීපයක් හා ඊට පිළිතුරු

star_outline

දහමට පටහැනි මත ඉදිරිපත් වූයේ අද ඊයේ පටන් නොව බුද්ධකාලයේ පටන්ය. අරිට්ඨ, සාති, සුනක්ඛත්ත ආදී භික්‍ෂූන්ගේ කතා ප්‍රවෘත්ති ඊට නිදසුන් වෙති. දැනුදු එවැනි වැරදි මත ඉතා විශාල ප්‍රමාණයක් සමාජගතවෙමින් පවතී. ඒ සියල්ල නිවැරදි කිරීමට හැකි වෙතැයි අපි නොසිතමු. නුවණැත්තන්ගේ දැනගැනීම පිණිස එවැනි වැරදි මත කීපයක් මෙසේ නිවැරදි කොට දක්වමු. එම වැරදි මත උදෘත ලෙස කළු අකුරින් දක්වමු.

1. වැරදි මතය : ඇතැම් දේශකයෝ “දැනට පවතින පෙළ පොත්වල මෙන්ම අටුවා වලත් බමුණු මත මිශ්‍රව ඇති බවත්, වැරදි ඇති බවත්, තමන් නිවැරදි දහම සොයාගත් බවත්” පවසති.

පිළිතුර : ඇතැම්හු මෙසේ පවසන්නේ ඒ අයගේ උමතුබව ආදී හේතු නිසාවෙනි. ඇතැම්හු අළුත් යමක් පවසා සමාජයේ කැපී පෙනෙන විශේෂ කෙනෙක් වීමේ පහත් අදහස නිසා ද මෙසේ පවසති.

මෙවැනි අවස්ථාවකදී ශ්‍රාවක පිරිස බුද්ධිමත්ව කරුණු විමසා බැලිය යුතුය. “එසේ දහම වෙනස් කලේ නම් ඒ කවුද? කවදාද? කුමන හේතුවකින් ද? එසේ කිරීමට ඉඩදී එකල සිටි උතුමන් වහන්සේලා නිහඬව සිටි සේක් ද? එම පැරණි දහම වැරදි නම් මෙතෙක් කල් මගඵල ලාභීන් බිහි වූයේ කෙසේද? මෙතෙක් කාලයක් පහළ වූ ලක්‍ෂ ගණන් කෝටි ගණන් සිල්වත් ගුණවත් බහුශෘත ධර්මධර විනයධර දේශීය මෙන්ම විදේශීය කිසිම කෙනෙකුට මේ වැරදි නොපෙනී එබඳු ගුණවලින් අඩු මේ කෙනාට පමණක් එය වැටහීමට හේතු තිබේද? මෙය නම් මොහුගේම වරදවා ගැනීමක් විය යුතුය.” යනාදී ලෙස කරුණු සොයා බැලිය යුතුය. එසේ බැලීමේදී හා දහම සමග සසඳා බැලීමේදී මෙය මොවුන්ගේම වැරදි වැටහීමක් හෝ ලාභ ලැබීම සඳහා හිතාමතාම කරන පහත් ක්‍රියාවක් බව මනාව වැටහී යනු ඇත.

2. වැරදි මතය : ඇතැම්හු “දැනට පවතින පටිච්ච සමුප්පාදය විස්තර කරන ක්‍රමය වැරදි බවත්, කාල තුනකටත් ආකාර විස්සකටත් ආදී ලෙස බෙදීමක් පෙළ පොත් වල නැති බවත් ඒවා පසුව එකතු වූ කරුණු බවත් එබැවින් විශුද්ධිමාර්ග ආදී පොත්වල දැක්වෙන ක්‍රමය වැරදි බවත්” පවසති.

පිළිතුර : මෙම මතයද හරිහැටි ගුරු උතුමන් හමුවේ ධර්මය ඉගෙන නොගත් ඇතැම් නූතන දේශකයින් කීපදෙනෙකුගේ වැරදි මතයකි. හරිහැටි දහම දැන නොසිටීම මෙවැනි වැරදි මත ඇතිවීමේ ප්‍රධාන හේතුවකි. ඔවුන්ගේ දිට්ඨි - මාන ආදී කෙලෙස් තවත් ප්‍රධාන හේතුවකි.

ඉහත දැක්වූ පරිදි පටිච්ච සමුප්පාදය කාල තුනකටත් සංක්‍ෂේප හතරකට, අර්ධ තුනකට, සන්ධි තුනකට හා ආකාර විස්සකට බෙදීම පසුකාලීන මතයක් නොව සැරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක් වන පටිසම්භිදාමාර්ග පෙළ පොතෙහි පවා දැක්වෙන අදහසකි. එබැවින් විශුද්ධිමාර්ග ආදී ග්‍රන්ථයන්හි දැක්වෙන්නේ ද එම පෙළ පොත්වල දැක්වූ දේශනාවම නිවැරදි බුද්ධමතය අනුව විස්තර කිරීමක් මිසක අමුතු දේශනාවක් නොවේ. පැරණි උතුමෝ එසේ අළුත් ධර්ම න්‍යායන් මැවීමක් සිහිනෙකින්වත් සිදු නොකරන සේක. පටිසම්භිදාමාර්ග ආදියේ එන එවැනි ගැඹුරු දේශනා හරිහැටි කියවා නොමැතිකම නිසා හෝ එය නිවැරදිව තේරුම් නොගැනීම නිසා මෙවැනි වැරදි මත බිහිවේ. පටිසම්භිදාමාර්ගයේ එන එම දේශනාව හා එහි තේරුම මෙසේය.

පුරිමකම්‌මභවස්‌මිං මොහො අවිජ්‌ජා, ආයූහනා සඞ්‌ඛාරා, නිකන්‌ති තණ්‌හා, උපගමනං උපාදානං, චෙතනා භවො. ඉමෙ පඤ්‌ච ධම්‌මා පුරිමකම්‌මභවස්‌මිං ඉධ පටිසන්‌ධියා පච්‌චයා.

ඉධ පටිසන්‌ධි විඤ්‌ඤාණං, ඔක්‌කන්‌ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්‌ඨො ඵස්‌සො, වෙදයිතං වෙදනා. ඉමෙ පඤ්‌ච ධම්‌මා ඉධුපපත්‌තිභවස්‌මිං පුරෙකතස්‌ස කම්‌මස්‌ස පච්‌චයා.

ඉධ පරිපක්‌කත්‌තා ආයතනානං මොහො අවිජ්‌ජා, ආයූහනා සඞ්‌ඛාරා, නිකන්‌ති තණ්‌හා උපගමනං උපාදානං, චෙතනා භවො. ඉමෙ පඤ්‌ච ධම්‌මා ඉධ කම්‌මභවස්‌මිං ආයතිං පටිසන්‌ධියා පච්‌චයා.

ආයතිං පටිසන්‌ධි විඤ්‌ඤාණං, ඔක්‌කන්‌ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්‌ඨො ඵස්‌සො, වෙදයිතං වෙදනා. ඉමෙ පඤ්‌ච ධම්‌මා ආයතිං උපපත්‌තිභවස්‌මිං ඉධ කතස්‌ස කම්‌මස්‌ස පච්‌චයා. ඉතිමෙ චතුසඞ්‌ඛෙපෙ තයො අද්‌ධෙ තිසන්‌ධිං වීසතියා ආකාරෙහි පටිච්‌චසමුප්‌පාදං ජානාති පස්‌සති අඤ්‌ඤාති පටිවිජ්‌ඣති. තං ඤාතට්‌ඨෙන ඤාණං, පජානනට්‌ඨෙන පඤ්‌ඤා. තෙන වුච්‌චති – ‘‘පච්‌චයපරිග්‌ගහෙ පඤ්‌ඤා ධම්‌මට්‌ඨිතිඤාණං’’.

පූර්ව කර්මභවය කරන කල්හි පැවති මෝහය අවිද්‍යාව නම් වේ. ආයූහන චේතනාවෝ සංස්කාරයෝය.[1] භවනිකාන්තිය (භවයට ඇති ඇල්ම) තෘෂ්ණාව නම් වේ. ඒ ඒ කාමයන්, භවයන් ආදිය දැඩිව ගැනීම උපාදානයයි. චේතනාව භවයයි. මේ ධර්ම පස පෙර කර්මභවය කරන කල්හි පැවතුනාහු වර්තමාන ප්‍රතිසන්ධියට ප්‍රත්‍යය වූවාහුය.

වර්තමාන භවයෙහි ප්‍රතිසන්ධිය විඤ්ඤාණය නම් වේ. රූපාරූප ධර්මයන්ගේ අවක්‍රාන්තිය එනම් බැසගැනීම නාමරූප නම් වේ. ප්‍රසාදය ආයතන නම් වේ. අරමුණු ස්පර්ශ කරමින් උපන්නේ ස්පර්ශය නම් වේ. විපාක වේදයිතය වේදනා නම් වෙ. මේ ධර්ම පස පෙර කළ කර්මයාගේ ප්‍රත්‍යයෙන් වර්තමාන විපාක භවයෙහි පවත්නාහුයි.

වර්තමාන භවයෙහි ආයතනයන් මුහුකුරා ගිය බැවින් මෝහය අවිද්‍යාව නම් වේ. ආයූහන චේතනාවෝ සංස්කාරයෝය. භවනිකාන්තිය (භවයට ඇති ඇල්ම) තෘෂ්ණාව නම් වේ. ඒ ඒ කාමයන්, භවයන් ආදිය දැඩිව ගැනීම උපාදානයයි. චේතනාව භවයයි. මේ ධර්ම පස වර්තමාන කර්මභවයෙහි පැවතුනාහු අනාගත ප්‍රතිසන්ධියට ප්‍රත්‍යය වෙත්.

අනාගත භවයෙහි ප්‍රතිසන්ධිය විඤ්ඤාණය නම් වේ. රූපාරූප ධර්මයන්ගේ අවක්‍රාන්තිය එනම් බැසගැනීම නාමරූප නම් වේ. ප්‍රසාදය ආයතන නම් වේ. අරමුණු ස්පර්ශ කරමින් උපන්නේ ස්පර්ශය නම් වේ. විපාක වේදයිතය වේදනා නම් වෙ. මේ ධර්ම පස වර්තමාන භවයෙහි කළ කර්මයාගේ ප්‍රත්‍යයෙන් මතු භවයෙහි පවතිත්.

මෙසේ මේ සංක්‍ෂේප හතරක් ද කාල තුනක් ද සන්ධි තුනක් ද ඇති පටිච්චසමුප්පාදය විසි ආකාරයකින් ශ්‍රැතානුසාරයෙන් දනී නම් නුවණින් දකී නම් නුවණින් දැනගනී නම් එනම් ප්‍රතිවේධ කෙරේ නම් ඒ දැනීම ඥාතාර්ථයෙන් (දැනගත් යන අර්ථයෙන්) ඤාණ නම් වේ. ප්‍රජානනාර්ථයෙන් (ප්‍රතිවේධකිරීම්, මනාව දැනීම් යන අර්ථයෙන්) ප්‍රඥාව නම් වේ. එබැවින් “පච්‌චයපරිග්‌ගහෙ පඤ්‌ඤා ධම්‌මට්‌ඨිතිඤාණං” යැයි කියනු ලැබේ. (පටිසම්භිදාමග්ග 1 පොත 98-101 පිටු)

කරුණු මෙසේ හෙයින් වැරදී ඇත්තේ පැරණි ග්‍රන්ථයන්ට හෝ ඒවා රචනා කළ පුරාණ උතුමන්ට නොව තණ්හා, මාන, දිට්ඨි යනාදී කෙලෙස් වලට හසු වී ක්‍රියා කරන හරිහැටි ගුරු ඇසුරක් නොලැබූ දහම වරදවා කියන නූතනයින්ට බව හොඳින් තේරුම් ගත යුතුය.

3. වැරදි මතය : ඇතැම් දේශකයෝ “දැනට පටිච්ච සමුප්පාදය උගන්වන ක්‍රමයට අවිජ්ජා - සංඛාර යන අංග දෙක අතීතයට දානවා. එවිට පෙර භවයට ගොස් බැලුවාම ඒ අංග දෙක ඊටත් එහාට යනවා. මේ විදියට ඒ අංග දෙක අතීතයට දැම්මාම බුද්ධ දේශනාවේ එන සත්සැත්තෑ ඤාණ හැදෙන්නේ කෙසේදැයි පුළුවන්නම් පෙන්වන්න.” යනාදී ලෙස කියමින් අසන්නන් නොමග යවති.

පිළිතුර : මෙය ද පටිච්ච සමුප්පාද න්‍යාය හරිහැටි තේරුම් නොගැනීම නිසා ගත් වැරදි මතයකි. අවිජ්ජා - සංඛාර යන අංග දෙක අතීත අර්ධය යැයි දැක්වූ පමණින් වර්තමාන භවයේ මෙම අංග දෙක නොයෙදෙන්නේ යැයි කිසිසේත්ම කියා නැත. ඒ වෙනුවට “තණ්‌හුපාදානභවග්‌ගහණෙන අවිජ්‌ජාසඞ්‌ඛාරා ගහිතාව හොන්‌තීති ඉමෙ පඤ්‌ච ධම්‌මා එතරහි කම්‌මවට්‌ටං, (තණ්හා - උපාදාන - භව යන අංග තුන ගැනීමෙන් අවිජ්ජා - සංඛාර යන අංග දෙක ගන්නා ලද්දාහුම වෙත්නුයි මේ ධර්ම පස වර්තමාන භවයෙහි කර්මවට්ටය නම් වේ.)” යනුවෙන් ඉතා පැහැදිලිව දැක්වූ සේක.

තවද කුසලයක් කරන විට ඉහත අංග පහ අතුරින් අවිජ්ජා - තණ්හා - උපාදාන යන අංග අනුශය වශයෙන් යෙදෙන බවත්, ලෝභ සහගත සිතක ඉහත පහම සම්ප්‍රයුක්තව යෙදෙන අයුරුත්, ද්වේෂ සහගත සිතක තණ්හා - උපාදාන අංග දෙක අනුශය වශයෙනුත් ඉතිරි අංග තුන සම්ප්‍රයුක්තවත් යෙදෙන අයුරු ඉතා පැහැදිලිව දක්වා ඇත. වර්තමානයේ මෙම අංග පහ යෙදෙන බව පටිසම්භිදාමග්ග ආදී පෙළ පොත්වලම දක්වා ඇත. ඒ අනුව සත් සැත්තෑ ඤාණ පහසුවෙන් සකසාගත හැකිය. එහි කිසිම විරෝධයක් නැත. එබැවින් කරුණු වරදවාගෙන ඇත්තේ පුරාණ මහරහත් උතුමන් කෙරෙහිවත් ශ්‍රද්ධාවක් නැති නූතනයින්ට බව තේරුම්ගත යුතුය.

4. වැරදි මතය : ඇතැම් දේශකයෝ “රූපකලාප කඩල කඩලා බැලුවොත් නිවනට ලං වෙනවා නෙවෙයි, නිවනින් තව දුරට යනව කියල දැනගන්න. ඒකයි ඒක උච්ඡේදවාදයට පැනෙව්වේ.” යනුවෙන් ද “රූපකලාප වේගයෙන් බිඳිබිඳී බිඳිබිඳී යනව නම් අවිද්‍යා - කර්ම - තණ්හා - ආහාරයෙන් හටගත්ත සතරමහාධාතු රූපයක් අවබෝධ කරගන්නේ කොහොමද? තව යමක් හදන්න එපා. රූපකලාප බිඳිබිඳී යන්නා වූ රූපයක් දකින්න හදන්න එපා. වූ දෙය වූ විදියට පෙන්නන්න. සම්මාදිට්ඨිය කියන්නේ වූ දෙය වූ විදියට බලනවා මිසක හදල බලනවා කියන එකක් නෙවෙයි. මේකෙ රූපකලාප බිඳිබිඳී යනව නම් පෙනෙන්නෙ නැහැ. පිංවතුන් හදලයි බලන්නේ. කඩල කඩල බිඳල නම් බලන්නෙ පෙනෙන දේ බලනව නෙවෙයි, පිංවතුන් කඩල කඩල බිඳල බිඳල බලන දෙයක් හදලයි බලන්නේ.” යනුවෙන් ද කියා “උදාහරණ වශයෙන් මේ පුටුව බිඳිබිඳී යනව නම් පේන්නේ නෑ” යනාදී අසන්නන් නොමග යවන උදාහරණද දක්වති.

පිළිතුර : I මේ සියල්ලම ධර්ම අවබෝධය නැතිකම නිසා ඇති වූ වැරදි අදහස්ය. එම වැරදි මත එකිනෙක මෙසේ විමසා බලමු. රූපකලාප ආදී වශයෙන් බෙද බෙදා බැලීම උච්ඡේදවාදයක් යැයි ඇතැම්හු කියති. එය උච්ඡේදවාදයත් විභජ්ජවාදයත් ගැන නොදැනීම නිසා කී වැරදි කියමනකි. යමක් බෙදා දැක්වීම විභජ්ජවාදයක් මිස උච්ඡේදවාදයක් නොවේ. මෙසේ බෙදා බැලීම ඉගැන්වූයේ බුදුරජාණන් වහන්සේය. චිත්තසන්තානයේ ඇති චෛතසික ධර්ම ආදිය බුදුරජුන් විසින් බෙදා නොදැක්වූවා නම් ඒවා කෙසේ තේරුම් ගන්නේදැයි සිතා බලන්න. නාමරූප සියල්ල එක්ව ගෙන සත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි ගැනීම වැරදි බවත් ත්‍රිලක්‍ෂණයට යටත් නාමරූප පරම්පරාවක පැවැත්මක් ඇති බවත් ඒ නාමරූප දෙක ස්කන්ධ පහකටත් ආයතන දොළහකටත් ධාතු දහඅටකටත් බෙදා විපස්සනා කරන අයුරුත් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ බව දත යුතුය.

මිත්‍යාදෘෂ්ටියක් යැයි දහමේ දැක්වූ උච්ඡේදවාදය යනු අනෙකකි. එය “ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො සමණො වා බ්‍රාහ්‌මණො වා එවංවාදී හොති එවංදිට්‌ඨි – ‘යතො ඛො, භො, අයං අත්‌තා රූපී චාතුමහාභූතිකො මාතාපෙත්‌තිකසම්‌භවො කායස්‌ස භෙදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති, න හොති පරං මරණා, එත්‌තාවතා ඛො, භො, අයං අත්‌තා සම්‌මා සමුච්‌ඡින්‌නො හොතී’ති. ඉත්‌ථෙකෙ සතො සත්‌තස්‌ස උච්‌ඡෙදං විනාසං විභවං පඤ්‌ඤපෙන්‌ති. (මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. කෙසේද යත්, ‘පින්වත, යම් හෙයකින් මේ ආත්මභාවය රූපවත්ද, සතර මහාභූතයන්ගෙන් හටගත්තේ වේද...., කය බිඳී මරණින් පසු සිඳේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නොවේ ද, පින්වත, මෙපමණකින්ම මේ ආත්මභාවය මුළුමණින්ම සිඳී ගියේ වේ.’ යනුයි. මෙසේ සමහරු විද්‍යමාන සත්වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.)”[2] යැයි දැක්වූ සේක. එයින් අදහස් කරන්නේ මරණින් මතු නාමරූප සන්තතියේ පැවැත්ම අවසන් වන බවයි. නමුත් සත්‍යය නම් මරණින් පසුවත් අරිහත්වය නොලැබුවොත් නාමසන්තතිය නොසිඳෙන බවයි.[3] මේ දහම් කරුණ පටලවාගෙන ඉහත වැරදි මතය දක්වා ඇත.

II ඊලඟට දැක්වූ “සම්මාදිට්ඨිය කියන්නේ වූ දෙය වූ විදියට බලනවා මිසක හදල බලනවා කියන එකක් නෙවෙයි. මේකෙ රූපකලාප බිඳිබිඳී යනව නම් පෙනෙන්නෙ නැහැ. පිංවතුන් හදලයි බලන්නේ.” යන්නද ඉතා වැරදි කීමකි. එසේ රූපකලාප බිඳී යනබව ප්‍රකෘති ඇසට නම් පෙනෙන්නේ නැති බව සත්‍යයකි. ධර්මයේදී දක්වන්නේ එය ප්‍රකෘති ඇසින් බලන්නට නොවේ. විදර්ශනා නුවණින් දකින්නටය. ප්‍රකෘති ඇසට නාම ධර්ම පෙනෙන්නේ ද නැත. ඒවායේද ත්‍රිලක්‍ෂණය දකින්නට බුදුරජුන් වදාළ සේක.

‘‘සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.”

‘සියලු සංස්කාර අනිත්‍ය යැයි යම් කලෙක විදර්ශනා නුවණින් දකියි නම් එකල දුකෙහි කලකිරෙයි, මෙය නිවනට මගයි’[4] යනාදී දේශනා අනුවත්

ඉධාවුසො, ඛීණාසවස්‌ස භික්‌ඛුනො අනිච්‌චතො සබ්‌බෙ සඞ්‌ඛාරා යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨා හොන්‌ති.

(ඇවැත්නි, මේ සාසනයෙහි ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සියලු සංස්කාර තත් වූ පරිදි විදර්ශනා ඥානයෙන් මනාව දක්නා ලද්දාහු වෙත්.)[5]

යනාදී දේශනා අනුවත් සියලු සංස්කාර දකින්නේ කෙසේදැයි සිතා බලන්න. එබැවින්ම ධම්මපද අටුවාදියේදී “අනිච්‌චාති යදා විපස්‌සනාපඤ්‌ඤාය පස්‌සති” යැයි ද, “සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨා හොන්‌තීති හෙතුනා නයෙන විපස්‌සනාඤාණෙන සුදිට්‌ඨා හොන්‌ති.” යැයි ද විදසුන් නුවණින් දැකිය යුතු බව දැක්වූ සේක. පටිසම්භිදාමාර්ග උදයබ්බයානුපස්සනා ඤාණකථා ආදී තැන්හි ඒ පිළිබඳ වැඩිදුර කරුණු අඩංගු වේ. එබැවින් රූපකලාප බිඳිබිඳී යන බව ප්‍රකෘති ඇසට නොපෙනුනාට විදර්ශනා නුවණින් දැකගත හැකි බවත් එසේ දකින අය බොහෝ දෙනෙක් දැනටත් ලෝකයේ සිටින බවත් දතයුතුය. අන්වීක්‍ෂීය සත්වයන් දැකීමට අන්වීක්‍ෂයක් වුවමනා වනවා මෙන්ම රූපාදියේ අනිත්‍යාදී ඉතා සියුම් කරුණු තේරුම් ගැනීමට ඉතාමත් තියුණු විදසුන් නුවණක් අවශ්‍යය. එය නොලබා ධර්මය විවේචනයට බැසීම මහත් අනර්ථකර බව ඒ දේශකයින්ට දන්වනු කැමැත්තෙමු. තමාට නොපෙනෙන නොදැනෙන නොවැටහෙන සියල්ල බොරු නොවන බවත් හොඳින් සීලාදී ප්‍රතිපත්ති පුරමින් ඊට සමර්ථ ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන උත්සාහ කරන්නේ නම් අන් අයටද මේ කරුණු ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි බවත් ඊට උත්සාහවත් වන ලෙසටත් එම දේශකයින්ට කරුණාවෙන් දන්වා සිටිමු.

III මීලඟට දැක්වූ පුටුවේ උදාහරණය ද වැරදිය. පුටුව යනු සම්මුතියක් මිස පරමාර්ථයක් නොවේ. අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණ ඇත්තේ පරමාර්ථයන්හිය. විදර්ශනාවට ගන්නේත් පරමාර්ථ මිස සම්මුති නොවේ. එබැවින්ම බුදුරජාණන් වහන්සේත් සත්වයා අනිත්‍යයි යනාදී ලෙස නොදක්වා රූපාදී පරමාර්ථ විදර්ශනා කරන්නට දැක්වූ සේක. එබැවින් දැකිය යුත්තේ පුටුව සෑදී ඇති පරමාර්ථයන්ගේ වෙනස්වීමාදියයි. සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය විදසුන් නුවණින් දකින්න යැයි බුදුරජුන් දැක්වූ බැවින් බාහිර රූපාදියෙහිත් පරමාර්ථයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විදසුන් නුවණින් බැලිය යුතුය. එය සිදුකරන ආකාරයත් ධර්මයෙහි පැහැදිලිව දක්වා ඇත. ඒවා ප්‍රත්‍යක්‍ෂ කිරීමට සැමටම හැකියාව ලැබේවා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනයයි.

5. වැරදි මතය : ඇතැම් දේශකයෝ “ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින් සීලය දේශනා කරලා නෑ. සම්මා දිට්ඨිය කියන ප්‍රඥාවයි මුලින් දේශනා කලේ. ඒ නිසා මුලින් ප්‍රඥාවයි තියෙන්න ඕන. සීලය නෙවෙයි. ඒ නිසා සීලය මුලට ගෙන කීම වැරදියි.” යනාදී ලෙස කරුණු වරදවා කියා අසන්නන් නොමග යවති.

පිළිතුර : ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී දැක්වූයේ නිවන් මගෙහි පියවර නොවේ. මාර්ග සිතේ එකවර යෙදෙන චෛතසික අටකි. ඒවා එකවර පහළ වුනත් ලිවීමේදී කුමක් හෝ මුලින් ලිවිය යුතුය. එහිදී ප්‍රඥාවෙන් විශේෂ කෘත්‍යයක් කෙරෙන බැවින් එය මුලට ගෙන ඇත. නිවන් මාර්ගයේ අනුපිළිවෙල දැක්වූ දේශනාවන්හි ඉතා පැහැදිළිව සීල - සමාධි - ප්‍රඥා යන අනුපිළිවෙල දක්වා ඇත. ඒ බව

i. එවමෙව ඛො, ආවුසො, සීලවිසුද්‌ධි යාවදෙව චිත්‌තවිසුද්‌ධත්‌ථා, චිත්‌තවිසුද්‌ධි යාවදෙව දිට්‌ඨිවිසුද්‌ධත්‌ථා,..... ඤාණදස්‌සනවිසුද්‌ධි යාවදෙව අනුපාදාපරිනිබ්‌බානත්‌ථා....

(ඇවැත්නි, මෙපරිද්දෙන්ම සීලවිසුද්ධිය චිත්තවිසුද්ධිය දක්වාම වෙයි, චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වාම වෙයි,........ ඤාණදස්සනවිසුද්ධිය අනුපාදිසේස නිර්වාණධාතුව දක්වාම වෙයි,)[6]

ii.

‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං;

ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං.

(සීලයෙහි පිහිටි නුවණැති භික්‍ෂුව සමාධියත් විදර්ශනා නුවණත් වඩන්නේය...... ) [7]

යනාදී ලෙස ඉතා පැහැදිලිව දක්වා ඇත. එබැවින් එම වැරදි මත නොසලකා ත්‍රිශික්‍ෂා පිරීමෙහි උත්සුක වෙත්වා යැයි සැමට ආරාධනා කරමු.

6. වැරදි මතය : ඇතැම් දේශකයෝ ඔය භංගඤාණ භයඤාණ ආදී ඤාණපිළිවෙලක් කිසිම බුද්ධ දේශනාවක හමුවී නැත. ඕවා පසුකාලෙක එකතු වූ දේවල්.” යනාදී ලෙස විදර්ශනා ඤාණ ප්‍රතික්‍ෂේප කරති.

පිළිතුර : මෙයද ධර්ම දැනීම අඩුකම නිසා ඇති වූ තවත් වැරදි මතයකි. පටිසම්භිදාමග්ග පෙළ පොතේම “ආරම්‌මණං පටිසඞ්‌ඛා භඞ්‌ගානුපස්‌සනෙ පඤ්‌ඤා විපස්‌සනෙ ඤාණං. භයතුපට්‌ඨානෙ පඤ්‌ඤා ආදීනවෙ ඤාණං. (රූපාදී ආරම්මණ ප්‍රත්‍යවේක්‍ෂා කොට භංගවශයෙන් එනම් බිඳීම් වශයෙන් දැකීමෙහි ප්‍රඥාව විදර්ශනා ඤාණයකි. සංස්කාරයන්ගේ ඉපදීම් ආදිය භය වශයෙන් වැටහීමෙහි ප්‍රඥාව ආදීනව ඥානය නම් වේ.)”[8] යනාදී ලෙස ඉතා පැහැදිලිව දක්වා ඇත. මෙය අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවකි. එතුමන් වහන්සේ දෙසූ සච්චවිභංග සූත්‍ර ආදිය බුද්ධ අනුමැතියෙන් පසු බුද්ධදේශනා ලෙස හැඳින්වූවා සේම මෙම පටිසම්භිදාමග්ගය ද බුද්ධ අනුමැතියෙන් පසු බුද්ධදේශනා ලෙසම හැඳින්වේ. මෙය නොදැන හෝ තමාගේ මතයට නොගැලපෙන නිසා ඇතැම්හු මෙය ප්‍රතික්‍ෂේප කරති. සැදැහැහැවත්හු සැබෑ කරුණ තේරුම්ගනු ඇත.

7. වැරදි මතය : ඇතැම් දේශකයෝ “ඇතැම් අය කියනවා සත්වයෙක් පුද්ගලයෙක් නැත, ඇත්තේ බිඳිබිඳී යන නාමරූප පරම්පරාවක් පමණයි කියලා. ඒක අනවබෝධයෙන් කියන කතාවක්” යැයි ද “ඔය සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන වැරදි මතය ආවෙ බුද්ධදේශනාවෙ නැති, පසුකාලෙක හදාගත්ත අතීත ප්‍රත්‍යවේක්‍ෂාවක් නිසයි. සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා. නැත්තේ ආත්මයක් විතරයි. මේ (භාර) සූත්‍රයේදී ස්කන්ධ බර අරගෙන යන පුද්ගලයෙක් ගැන දේශනාකරලා තියෙනවා ” යැයි ද කරුණු වරදවා කියති.

පිළිතුර : මෙය ද සූත්‍රපිටකය පමණවත් හරිහැටි කියවා නැතිකම නිසා ඇති වූ ඉතා වැරදි දෘෂ්ටියකි. සත්වයෙක් පුද්ගලයෙක් නැති බවත්, ඇත්තේ බිඳිබිඳී යන නාමරූප පරම්පරාවක් පමණක් බවත් ඉතා පැහැදිලිව දහමෙහි දක්වා ඇත. සම්මුති හා පරමාර්ථ ධර්ම ගැන හරිහැටි වැටහීමක් නැතිකම නිසා මෙවැනි වැරදි මත ඇති වේ. පරමාර්ථ වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත. මෙම වැරදි මතයට පිළිතුරු සංයුක්ත නිකායේ වජිරා සූත්‍රයේ දක්වා ඇත. මාරයා විසිනි “මේ සත්වයාව නිර්මාණය කලේ කවුද? ඔහු සිටින්නේ කොහිද? ...” යනාදී වශයෙන් ඇසූ ප්‍රශ්ණ වලට වජිරා භික්‍ෂුණීන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

‘‘කිං නු සත්‌තොති පච්‌චෙසි, මාර දිට්‌ඨිගතං නු තෙ;

සුද්‌ධසඞ්‌ඛාරපුඤ්‌ජොයං, නයිධ සත්‌තුපලබ්‌භති.

.

‘‘යථා හි අඞ්‌ගසම්‌භාරා, හොති සද්‌දො රථො ඉති;

එවං ඛන්‌ධෙසු සන්‌තෙසු, හොති සත්‌තොති සම්‌මුති

(මාරය, කිම සත්වයෙක්යැයි අදහන්නෙහිද? එය නුඹගේ මාරදෘෂ්ටියක් නොවේද? මේ හුදු (තනිකර) සංස්කාර පිණ්ඩයකි. මෙහි සත්වයෙක් නොලැබේ.

රෝද, වියගහ ආදී අවයව සමූහය හේතුකොට ගෙන යම්සේ රථය යන ශබ්දයක් වේද? එසේම ස්කන්ධ පහ ඇති කල්හි සත්වයා යන සම්මුතිය (ලෝක ව්‍යවහාරය) වේ.)[9]

ඉහත සූත්‍ර පාඨයම ගෙන මිලින්ද ප්‍රශ්ණයේදීද සම්මුති - පරමාර්ථ ප්‍රශ්ණය විසඳා ඇත. මෙම උදාහරණයෙන්ම ඉහත වැරදි මතයට පිළිතුරු ලැබෙන බැවින් ඒ ගැන වැඩිදුර කීමට අවශ්‍ය නැත. එබැවින් නවීනයන් කියනා අලුත් මත පිළිගැනීමට ප්‍රථම හොඳින් සිතාබැලිය යුතු බව ඉහත කරුණු අනුව තේරුම් ගත යුතුය.

8. වැරදි මතය : ඇතැම්හු “බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේටත් නොතේරුණු පටිච්ච සමුප්පාදය අපි තේරුම් ගන්නේ කොහොමද කියලා හිතන්න එපා” යනාදී ප්‍රකාශ කරමින් “බුදුගොස් මාහිමිපාණන් වහන්සේට පටිච්ච සමුප්පාදය හරිහැටි තේරී නැත” යැයි අඟවති.

පිළිතුර : මෙය ද කරුණු හරිහැටි තේරුම් නොගැනීම නිසා පවසන වැරදි මතයකි. එතුමන් වහන්සේට පටිච්ච සමුප්පාදය නොතේරුණේ යැයි කිසිම තැනක පවසා නැත. ධර්මයේ ඇති ගම්භීරත්වය දැක්වීම පිණිසත් තමන්ගේ නිහතමානිත්වය හා පූර්වාචාර්යන් වහන්සේලාගේ අතිශය සමර්ථ භාවයත් ප්‍රකට කිරීම පිණිස දැක් වූ ගාථා පාඨයක් වරදවා තේරුම් ගෙන මෙසේ පවසති. ඒ පාඨය හා එහි තේරුම මෙසේය.

වත්‌තුකාමො අහං අජ්‌ජ, පච්‌චයාකාරවණ්‌ණනං;

පතිට්‌ඨං නාධිගච්‌ඡාමි, අජ්‌ඣොගාළ්‌හොව සාගරං.

.

සාසනං පනිදං නානා-දෙසනානයමණ්‌ඩිතං;

පුබ්‌බාචරියමග්‌ගො ච, අබ්‌බොච්‌ඡින්‌නො පවත්‌තති.

.

යස්‌මා තස්‌මා තදුභයං, සන්‌නිස්‌සායත්‌ථවණ්‌ණනං;

ආරභිස්‌සාමි එතස්‌ස, තං සුණාථ සමාහිතා.

මේ අවස්ථාවෙහි පටිච්ච සමුප්පාදයේ අර්ථ වර්ණනාව කරනු කැමැත්තා වූ බුද්ධඝෝෂ නම් වූ මම, මහමුහුදට බැසගත් පුරුෂයෙක් පිහිටක් නොලබන්නාක් මෙන් තමාගේම හැකියාවෙන් වර්ණනාව කරන්නට පිහිටක් නොලබමි.

තමාගේම නුවණ බලයෙන් පිහිටක් ලබන්නට නොහැකි වන නමුත් අනුලෝම ප්‍රතිලෝම ආදී වූ නොයෙක් දේශනා න්‍යායන්ගෙන් සැරසූ මේ පෙළ ධර්මය ද පූර්වාචාර්යන් වහන්සේලාගේ අර්ථකථා මාර්ගය ද නොසිඳ ගෙන යම් හෙයකින් පවතී ද, එබැවින් ඒ පෙළ අටුවා යන උපකාර දෙක මනාව ඇසුරු කොට මේ පටිච්ච සමුප්පාදයේ අර්ථ වර්ණනාව අරඹමි. එකඟ සිත් ඇති ඔබ වහන්සේලා එය අසන සේක්වා.[10]

මෙහි ඇති “පතිට්‌ඨං නාධිගච්‌ඡාමි, අජ්‌ඣොගාළ්‌හොව සාගරං.” යන පාඨය එසේ අරුත් වරදවාගත් පාඨයයි. මෙයින් එතුමන් වහන්සේට එය නොතේරුණේ යැයි කිසිසේත්ම නොපැවසේ. තමාගේම නුවණින් එය තේරුම් නොගත් බවත් පෙළ අටුවාවන්හි ආ න්‍යායන් නිසා තේරුම් ගෙන වර්ණනාව කරන බවත් දක්වන සේක. එබැවින්ම ඊට අදාල ටීකාවේ ද “පතිට්‌ඨං නාධිගච්‌ඡාමීති යත්‌ථ ඨිතස්‌ස වණ්‌ණනා සුකරා හොති, තං නයං අත්‌තනොයෙව ඤාණබලෙන නාධිගච්‌ඡාමීති අත්‌ථො. (පතිට්‌ඨං නාධිගච්‌ඡාමි යනු යම් න්‍යායක පිහිටියහුට පටිච්ච සමුප්පාද වර්ණනාව පහසු වේද, ඒ න්‍යාය තමාගේම ඥාන බලයෙන් නොලැබුවෙමි යන අර්ථයි.)” යැයි දැක්වූහ.

මෙසේ ධර්ම ගරුත්වය පිණිසත් තමාගේ නිහතමානිත්වය පිණිසත් තමා එතරම් නොදන්නා බව දැක්වීම බුදුගොස් ඇදුරුතුමන්ගේ පමණක් නොව බුදුරජුන්ගේ සම්මුඛ ශ්‍රාවක උතුමන්ගේ ද සිරිතකි. ඒ බව පහත උදෘත වලින් ප්‍රකට වනු ඇත.

I. ‘‘සෙය්‍යථාපි, ආවුසො, පුරිසො සාරත්‌ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්‌ඛස්‌ස තිට්‌ඨතො සාරවතො අතික්‌කම්‌මෙව මූලං අතික්‌කම්‌ම ඛන්‌ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්‌බං මඤ්‌ඤෙය්‍ය; එවං සම්‌පදමිදං ආයස්‌මන්‌තානං සත්‌ථරි සම්‌මුඛීභූතෙ තං භගවන්‌තං අතිසිත්‌වා අම්‌හෙ එතමත්‌ථං පටිපුච්‌ඡිතබ්‌බං මඤ්‌ඤථ. සො හාවුසො, භගවා ජානං ජානාති, පස්‌සං පස්‌සති, චක්‌ඛුභූතො ඤාණභූතො ධම්‌මභූතො බ්‍රහ්‌මභූතො වත්‌තා පවත්‌තා අත්‌ථස්‌ස නින්‌නෙතා අමතස්‌ස දාතා ධම්‌මස්‌සාමී තථාගතො. සො චෙව පනෙතස්‌ස කාලො අහොසි යං භගවන්‌තංයෙව එතමත්‌ථං පටිපුච්‌ඡෙය්‍යාථ, යථා වො භගවා බ්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථා’’ති.

(ඇවැත්නි, යම් සේ අරටුවෙන් ප්‍රයෝජන ඇති අරටු සොයන අරටු සොයා ඇවිදින පුරුෂයෙක් අරටු ඇති නොවැටී පිහිටි මහගසක මුල ඉක්මවා කඳ ඉක්මවා අතු කොළ වල අරටුව සෙවිය යුතුයැයි සිතන්නේ ද, ඔබ වහන්සේලාත් බුදුරජුන් හමු වූ කල්හි ඒ බුදුරජුන් ඉක්මවා අප අතින් මේ අර්ථය ඇසිය යුතු යැයි සිතන්නාහු නම් මේ කාරණයත් එබඳුය......)

යනාදී ලෙස මහාශ්‍රාවක කච්චායන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ වැනි පටිසම්භිදාලාභී උතුමන් විසින් ද මධුපිණ්ඩික සූත්‍රය, අංගුත්තර නිකායේ දසක නිපාතයේ දුතිය හා තතිය අධම්ම සූත්‍ර ආදියේ දක්වා ඇත.

II. ථෙරො චින්‌තෙසි – ‘‘ඉමෙ පරිබ්‌බාජකා නාම සාසනස්‌ස පටිපක්‌ඛභූතා, ඉමස්‌ස සාසනස්‌ස ගම්‌භීරතං දස්‌සෙස්‌සාමී’’ති. අත්‌තනො නවකභාවං දස්‌සෙන්‌තො ආහ – ‘‘අහං ඛො, ආවුසො, නවො අචිරපබ්‌බජිතො, අධුනාගතො ඉමං ධම්‌මවිනයං, න තාවාහං සක්‌ඛිස්‌සාමි විත්‌ථාරෙන ධම්‌මං දෙසෙතු’’න්‌ති.

(අස්සජී මහරහතන් වහන්සේ “මේ පරිබ්‍රාජකයෝ නම් සසුනට ප්‍රතිපක්‍ෂ වූවාහුය. මොහුට සසුනේ ගැඹුරු බව දක්වන්නෙමි” යැයි සිතූ සේක. තමන් වහන්සේගේ නවක බව දක්වමින් “ඇවැත්නි, මම නවකය, පැවිදිව වැඩි කලක් නැත. මේ සසුනට අළුතින් පැමිණි කෙනෙක්මි. තාම විස්තර වශයෙන් දහම් දෙසීමට නොහැක්කෙමි” යැයි වදාළ සේක.)[11]

මෙසේ පවසන්නේ ද පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමකි. එබැවින් බුදුගොස් ඇදුරුපාණන් වහන්සේ ද එම සිරිත අනුගමනය කරමින් ධර්ම ගරුත්වය හා තමාගේ නිහතමානිත්වය දැක්වීමට ඉහත ප්‍රකාශය කළ බව දත යුතුය. එසේ තිබියදී අතිශ්‍රේෂ්ඨ වූ රහතන් වහන්සේලා වැඩසිටි යුගයේ මහාසංඝරත්නයේ ගරුත්වයට ලක් වූ උතුමන් වහන්සේ නමක් වන බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේට පටිච්ච සමුප්පාද දහම නොතේරුනේ යැයි හැඟවීමට උත්සාහ කිරීම මහත් පාපයකි. කරුණු වරදවා දැක්වීමකි. එවැනි රහත් උතුමන් සිටි යුගයේ “පරමවිසුද්‌ධසද්‌ධාබුද්‌ධිවීරියපටිමණ්‌ඩිතෙන (අතිශයින් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් යුක්ත වූ මේ බුද්ධඝෝෂ මහතෙරුන් විසින්)” යනාදී ලෙස සංඝරත්නයේ ගරුත්වයට පත් වූ උතුමෙකුට නොතේරුණා නම් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 කටත් වඩා ඉක්ම ගොස් බුද්ධිය පිරිහීගිය යුගයක් වන මෙකල සිටින අයට ඊට වඩා කරුණු තේරෙන්නේ කෙසේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.

9. වැරදි මතය : ඇතැම් දේශකයෝ “ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී උතුමෝ යනු ආර්ය මාර්ගයට පත් නොවූ නමුත් පෘථග්ජන තත්වය ඉක්ම වූ ආර්ය මාර්ගයට පත්වීමට නියත පිරිසකි.” යනාදී ධර්ම විරෝධී අදහස් පවසති.

පිළිතුර : මීට පිළිතුරු පෙර “සිංහල පරිවර්තන වල අපට හමුවූ වැරදි කීපයක්” යන මාතෘකාව යටතේ දක්වා ඇති බැවින් මෙතැනදී කරුණු නොදක්වමු.

10. වැරදි මතය : ඇතැම් දේශකයෝ “අනිච්ච යන පදය වැරදියි. එය අනිච්ඡ ලෙස විය යුතුයි.” යනාදී ලෙස දහමේ ඇති පද වරදවා දක්වති.

පිළිතුර : ඇතැමෙක් මෙසේ කරන්නේ ඔවුන්ගේ උමතුබව ආදී කරුණු නිසා බව පෙර දැක්වීමු. එබැවින් ඒ සියලු වැරදි මත දක්වා නිවැරදි කිරීම කළ නොහැකිය. එම වචනයන්ගේ නිවැරදි අර්ථ අටුවාදී ග්‍රන්ථයන්හි “න නිච්‌චන්‌ති අනිච්‌චං. (නිත්‍ය නොවන බැවින් අනිත්‍ය නම් වේ.)[12] යනාදී ලෙස ඉතා පැහැදිලිව දක්වා ඇත. නිවැරදි දහම් කරුණු දැනගන්නා විදිය පෙර අපි දැක්වීමු. එබැවින් ඒ අයුරින් නිවැරදි දහම දැන වැරැද්ද බැහැර කොට පිළිවෙත්හි යෙදී නිවන් පසක් කිරීමට සැමට භාග්‍ය සැලසේවා යැයි ආශිර්වාද කරමු.

11. වැරදි මතය : ඇතැම්හු “දැන් බුද්ධකාලයේ වගේ සිල්පද රකින්න බැහැ. මේ කාලයේ හැටියට මුදල් එහෙම පාවිච්චි නොකර, රෑට ආහාර නොගෙන ජීවත් වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේම පරිනිර්වාණ සූත්‍රයේදී කුඩා අනුකුඩා සිල්පද වෙනස් කරගත්තාට කමක් නැහැ කියලා දේශනා කළානේ. ” යනාදිය පවසමින් අන්‍යයන්ව මුළා කරති.

පිළිතුර : මේ කරුණද හරිහැටි ධර්මවිනය නොදැනීම නිසාත් තමාට නිවන් මාර්ගයේ ගමන් කිරීමේ වුවමනාව අඩුකම නිසාත් ආදී කරුණු නිසා කියන වැරදි කථාවකි. මුලින්ම දැනගත යුත්තේ බුදුරජාණන් වහන්සේ සර්වඥ බැවින් මේ කාලයේ වෙන දේවල් ද දුටු බවයි. මෙකල එම සිකපද රකින්නට බැරි නම් ඒවා නොපණවනු ඇත. තවද මේ කාලයේත් එම සියලු සිකපද ඉතා ගරුත්වයෙන් ආරක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේලා මෙරට පමණක් නොව වෙනත් බෞද්ධ රටවලත් සිටින බව දතයුතුය. එබැවින් මේ කාලයේ ඒවා රකින්නට බැහැ යැයි කීම වැරදිය.

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී “කුඩා අනුකුඩා සිල්පද වෙනස් කරගන්න” යැයි නොවදාළ සේක. වදාළේ “ආකඞ්‌ඛමානො, ආනන්‌ද, සඞ්‌ඝො මමච්‌චයෙන ඛුද්‌දානුඛුද්‌දකානි සික්‌ඛාපදානි සමූහනතු. (ආනන්දයෙනි, මහාසංඝරත්නය කැමතිවන්නේ නම් මගේ ඇවෑමෙන් කුඩා අනුකුඩා සිකපද සමූහනනය එනම් අවලංගු කිරීම කරගනීවා)” යනුවෙනි. එතනදී පැහැදිලිවම මහාසංඝරත්නය කැමති නම් යැයි දැකවූ සේක. සංගීතිකාරක මහරහතන් වහන්සේලා එම සිකපද අවලංගු නොකරන බව දැක බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහාසංඝරත්නයේ ඇති ගරුත්වය ලොවට ප්‍රකට කිරීමට මෙම ප්‍රකාශය කළ බවත් එම අටුවාවේ පැහැදිලි කර ඇත.

තවද පළමු සංගායනාවේදී මහාසංඝරත්නය මෙම කරුණ සාකච්ඡා කොට කිසිඳු සිකපදයක් අවලංගු නොකරන බවට ඤත්ති දුතිය විනයකර්මයකින් සම්මත කළ සේක. එහිදී “සඞ්‌ඝො අප්‌පඤ්‌ඤත්‌තං නප්‌පඤ්‌ඤපෙති, පඤ්‌ඤත්‌තං න සමුච්‌ඡින්‌දති, යථාපඤ්‌ඤත්‌තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්‌තති. ඛමති සඞ්‌ඝස්‌ස, තස්‌මා තුණ්‌හී, එවමෙතං ධාරයාමි. (මහාසංඝරත්නය නොපැණවූ සිකපදයක් නොපණවන්නේය. පැණවූ සිකපද අවලංගු නොකරන්නේය. පැනවූ පරිදි සිකපදයන්හි සමාදන්ව පවතින්නේය. මේ කරුණ සංඝයාට රුචිය. නිහඬ එබැවිනි. මේ කරුණ මෙසේ ධරාගනිමි.)” යැයි මහාකාෂ්‍යප මහරහතන් වහන්සේ සංඝයාට දන්වා සම්මත කළ සේක. ඒ ගැන වැඩි තොරතුරු විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පංචසතිකක්ඛන්ධකයෙන්[13] බලාගත හැකිය.

තවද බුදුරජාණන් වහන්සේ වදාළ “යාවකීවඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛූ අපඤ්‌ඤත්‌තං න පඤ්‌ඤාපෙස්‌සන්‌ති, පඤ්‌ඤත්‌තං න සමුච්‌ඡින්‌දිස්‌සන්‌ති, යථාපඤ්‌ඤත්‌තෙසු සික්‌ඛාපදෙසු සමාදාය වත්‌තිස්‌සන්‌ති; වුද්‌ධියෙව, භික්‌ඛවෙ, භික්‌ඛූනං පාටිකඞ්‌ඛා, නො පරිහානි. (මහණෙනි, යම්තාක් භික්‍ෂූහු නොපැණවූ සිකපදයක් නොපණවත් ද, පැණවූ සිකපදයක් අවලංගු නොකරත් ද, පැනවූ පරිදි සිකපදයන්හි සමාදන්ව පවතිත් ද, මහණෙනි, භික්‍ෂූන්ට දියුණුවක්ම මිස පිරිහීමක් නොකැමැති විය යුතුය.)”[14]

යන අවවාදය ද සිහිකරමින්, කිසිසේත්ම සිකපද ඉහිල් කරගැනීමට ඉඩක් නොමැති බවත් එසේ පැවසීම තමාටත් අනුන්ටත් සාසනයටත් මුළු මහත් ලෝකයටමත් අනර්ථයක් බවත්, සිලාදී ප්‍රතිපත්ති හරියට රකින එක් භික්‍ෂුවකගෙන් වුවත් ලෝකයට මහත් සෙතක් සැලසෙන බවත් සලකා ඉතා ගරුත්වයෙන් සීලාදී ප්‍රතිපත්ති පිරීමට උත්සුක වෙත්වා යනු අපගේ කාරුණික ආරාධනයයි.

  1. මෙහිදී එක් න්‍යායකින් පූර්ව චේතනාවෝ ද තවත් න්‍යායකින් චේතනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද ආයූහනසංස්කාර නම් වේ. වැඩි විස්තර කියවා දතයුතුයි.

  2. දීඝනිකාය 1 පොත 60 – 61පිටු (බ්‍රහ්මජාලසූත්‍රය)

  3. අසඤ්ඤසත්තයේදී තාවකාලිකව නාම සන්තතිය නොමැතිව රූප පමණක් පවතී. නිරෝධසමාපත්තියේදීද තාවකාලිකව නාමසන්තතිය නිරුද්ධ වේ.

  4. ධම්මපදපාළි

  5. දීඝනිකාය දසුත්තර සූත්‍රය 502 – 503 පිටු

  6. මජ්ඣිමනිකාය 1 පොත 370 පිටුව (රථවිනීත සූත්‍රය)

  7. සංයුත්තනිකාය 1 පොත 26 පිටුව (ජටාසූත්‍රය)

  8. පටිසම්භිදාමග්ග 1 පොත 2 - 3 පිටු

  9. සංයුක්තනිකාය 1 පොත 246 පිටුව (වජිරා සූත්‍රය)

  10. විභඞ්ග අටුවා

  11. ධම්මපද අටුවා යමක වග්ගය, සාරිපුත්තත්ථේරවත්ථු

  12. අත්ථසාලිනී නම් ධම්මසංගනී අටුවාව

  13. චුල්ලවග්ගපාළි 2 පොත 552-555 පිටු

  14. අංගුත්තරනිකාය 4 පොත 312 – 313 පිටු (භික්ඛු අපරිහානීය සූත්‍රය)