මෑත කාලයේ මෙසේ ධර්මය විකෘති කළ අයට ලැබුණු විපාක

මෙම සිදුවීම් කිහිපය අපි දක්වන්නේ ඒ අයට වූ එම විපත අසා සතුටු වීමට හෝ එය අනුමෝදන් වීමට නොව ධර්මය විකෘති කිරීමේ ආදීනව දැනගෙන එවැනි අකුසල් වලින් වැලකීම පිණිසය. එබැවින්ම එම වැරදි කළ අයගේ නම් නොදක්වන අතර ඒ අය සිදුකළ වරද පමණක් දක්වා එයින් ලද විපාකය කෙටියෙන් දක්වමු.

1. අන්තරාභව වාදය මෙරට ව්‍යාප්ත කිරීමට උත්සුක වූ උගත් මහතෙර නමක්

මෙම මහතෙරුන් වහන්සේ මහායාන දහමත් හදාරා ඇතැම් පොත් සිංහලටද පරිවර්තනය කලේය. අන්තරාභවයක් නැතැයි කථාවත්ථුප්පකරණ ආදී පෙළ පොත්වල පැහැදිළිව දක්වා තිබියදීත් එය නොතකා අන්තරාභවයක් ඇතැයි යන තම මතය ප්‍රචලිත කිරීමට පොත්පත් රචනා කරමින් හා දේශනා පවත්වමින් කටයුතු කලේය.

ගුවන්විදුලියේ ප්‍රචාරය සඳහා එවැනි වැරදි අදහස් සහිත දේශනාවක් පටිගත කළ අතර එදිනම කථා කිරීමට නොහැකි තත්වයට (ගොළු බවට) පත් වූ බවත් ටික දිනකින්ම අපවත් වූ බවත් දැනගන්නට ලැබුණා. උන් වහන්සේ අපවත් වූ බවට කිසිම සලකුණක් දැන නොසිටි තවත් සිල්වත් ගුණවත් මහතෙරුන් වහන්සේ නමකට එම රාත්‍රියේ සිහිනයක් පෙනී තිබුණා. යමපල්ලන් පිරිසක් පැමිණ කිහිප දෙනෙක්ව අපායට ගෙනයන බවත් ඒ අය අතර පෙර සඳහන් කළ මහතෙරුන් වහන්සේත් සිටින බවත් සිහිනයෙන් පෙනී තිබුණා. පසුදා අවදි වූ පසු එම මහතෙරුන් වහන්සේ පෙරදින රාත්‍රියේ අපවත් වූ බව දැනගන්නට ලැබී තිබුනා. කරුණු මෙසේ හෙයින් ධර්ම ගරුත්වයෙන් කටයුතු කරත්වා යැයි සැමටම කරුණාවෙන් දන්වමු.

2. ඉහත සඳහන් කළ තෙරුන්ගේ ශිෂ්‍ය හිමිනම

පෙර දැක්වූ මහතෙරුන් වහන්සේගේ අපවත් වීමෙන් පසු උන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක් එම වැරදි මතම ප්‍රචාරය කරමින් ග්‍රන්ථ රචනා කරන්නට පටන්ගත් අතර ටික කලෙකින් උන් වහන්සේ උමතුබවට පත් වූ බව දැනගන්නට ලැබුණා.

3. අටුවාවන්ට හා අභිධර්ම පිටකයට ගරු නොකළ කමටහන් ගුරුවරයෙකු යැයි ප්‍රසිද්ධ වූ හිමිනමක්.

භාවනා ගුරුවරයෙකු යැයි ප්‍රසිද්ධව සිටි තවත් භික්‍ෂූන් වහන්සේ නමක් අභිධර්ම පිටකය හා අට්ඨකථාවන්ට ගරු නොකරමින් ඒවාට අපහාස වන අයුරින් කරුණු දක්වමින් බොහෝ ග්‍රන්ථ ආදියත් රචනා කරන්නට යෙදුනා. පසු කලෙකදී උන්වහන්සේ වැඩසිටි සේනාසනයත් අහිමි වී හරිහැටි උපස්ථාන කිරීමට කෙනෙකුත් නොමැතිව, ශරීරයත් ඉතා දුර්වල බවට පත් වී, උමතු රෝගයට ප්‍රතිකාරත් ලබා අපවත් වීමට සිදු වූ බව දැනගන්නට ලැබුණා.

4. අටුවාවන්ට දොස් නැගූ අභිධර්ම පිටකය පසුකාලීන යැයි පැවසූ උගත් මහනාහිමි නමක්

මහාචාර්ය තනතුරක් පවා ලබාසිටි භාෂා ගණනාවක් දැනසිටි මෙම උගත් නායක ස්වාමින් වහන්සේ “අභිධර්ම පිටකය පසුකලෙක රචනා කරන ලද්දකි”, “අටුවා ග්‍රන්ථයන්ගේ වැරදි ඇත” යනාදී වැරදි ප්‍රකාශ කරමින් තවත් බොහෝ වැරදි කරුණු ඇතුලත් කරමින් ග්‍රන්ථ රචනා කලේය. උන් වහන්සේගේ එම ග්‍රන්ථ නිසා නොමග ගිය පිරිසද බොහෝ දෙනෙකි. උන් වහන්සේගේ එම අදහස් වැරදි බව දක්වා තවත් බොහෝ මාහිමිවරු කරුණු දැක්වුවද ඒවා ගණනකට නොගෙන තමාගේ වැරදි දෘෂ්ටියේම සිටියේය. උන් වහන්සේගේ අවසන් කාලයේදී “ගිහියන්ට නම් පන්සිල් හරි තියෙනවා, මට පන්සිල්වත් නෑ” යැයි කියමින් සිට අපවත් වූ බව අසන්නට ලැබේ.

5. දහම් පදයන්ට අළුතින් නිරුක්ති හැදූ භික්‍ෂුවක්

එක් භික්‍ෂුවක් මෑතකදී දහමේ සඳහන් වචනයන්ගේ දැනට තිබෙන නිරුක්තිය හා අර්ථය වැරදි බවත් තමන් නිවැරදි නිරුක්ති හා අර්ථ සොයාගත් බවත් පවසමින් එම දහම් කරුණු විකෘති කරමින් පොත් ලිවීමට හා දේශනා පැවැත්වීමට පටන්ගත්තේය. ටික කලෙකින් උන් වහන්සේ අපවත් වූ අතර අපවත් වීමට ආසන්න කාලයේදී උමතු බවට පත්ව වීනාවක් වාදනය කරනවාක් දක්වමින් නටමින් සිට සිහිවිකල්ව මරණයට පත්වූ බව දැනගන්නට ලැබුණා.

6. දහමට හා සංඝරත්නයට ගැරහූ ගිහි ධර්මකථිකයෝ

දහම විනය වැරදි ලෙස ගෙන වාදවිවාද කරමින් කටයුතු කරන එක්තරා ප්‍රසිද්ධ කණ්ඩායමක් ඇත. මැල්සිරිපුර නගරයට ආසන්න ගමක ද මෙම වැරදි මත පිළිගත් පිරිසක් වෙති. ඒ අතරින් එක් අයෙක් එම වැරදි බණ අන්‍යයන්ට කීමට තේරී පත්විය. ඒ පිරිස “බුද්ධපූජා තැබීමේ තේරුමක් නැත. මැටි පිළිම වලට වැන්දාට තේරුමක් නැත. මේ කාලයේ උපසම්පදා භික්‍ෂූන් නැත.” යනාදී බොහෝ වැරදි මත දැරූහ. ටික කලෙකින් එම වැරදි බණ කියූ තැනැත්තාට මුඛ පිළිකාවක් ඇති වී එයින් මරණයට පත් විය.

එයින් පසු තවත් අයෙක් ඒ සඳහා පත් වූ අතර ඔහු ද පෙර සේම මුඛ පිළිකාවක් වැළඳී මිය ගිය බව දැනගන්නට ලැබුණා.

මෙම කරුණු දැක්වූයේ “ධම්‌මකාමො භවං හොති, ධම්‌මදෙස්‌සී පරාභවො” යන බුද්ධ දේශනාව සනාථ කිරීමටය. එබැවින් මේ පිරිසිදු දහමින් ප්‍රයෝජන ගෙන තමාගේ විමුක්තිය සලසා ගැනීමට සැම දෙනාටම අවස්ථාව සැලසේවා යැයි ද සැමට සම්මා දිට්ඨිය පහළ වේවා යැයි ද අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.