පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුව යයි භූතරූප සතරෙකි. ඒවා ගැන සාමාන්‍ය ලෝකයා සලකන ආකාරය අනෙකකි. අභිධර්මයේ දැක්වෙන ක්‍රමය අනෙකකි. සූත්‍රපිටකයේ ධාතුවිභංග සූත්‍රාදියෙහි ඒවා සාමාන්‍ය ලෝකයා විසින් සලකන ඖදාරික ක්‍රමයෙන් දේශනය කර තිබේ. සෞත්‍රාන්තික ක්‍රමයේ සැටියට ඒවා ද්‍රව්‍යයෝ ය. අභිධර්ම ක්‍රමයේ සැටියට ඒවා ද්‍රව්‍යයන් නොව විදුලි ආකර්ශණ බල ආදිය වැනි ක්‍රියා ස්වභාවයෝ ය. සාමාන්‍ය ලෝකයා සලකන ක්‍රමයවූ සෞත්‍රාන්තික ක්‍රමයේ සැටියට තද බව ලක්ෂණ කොට ඇති පස් ගල් ඇට මස් ආදි ද්‍රව්‍යයෝ පඨවි ධාතූහුය. වැගිරෙන ස්වභාවය ඇලෙන ස්වභාවය ඇති වතුර තෙල් ලේ සෙම ආදිය ආපෝධාතූහුය. ගින්න තේජෝ ධාතුවය. සුළඟ වායෝ ධාතුවය. අභිධර්මයේ දී ඒ ධාතු වෙන් වෙන් වශයෙන් පවත්නා දේ සැටියට නූගන්වන් ලැබේ. එහි උගන්වන්නේ පස් දිය ගිනි සුළං යන සියල්ලෙහි ම ධාතු සතර ම ඇති සැටියට ය. හිරු එළි සඳඑළි පහන්එළි ආදි සියුම් දේවල පවා ධාතු සතර ම ඇති සැටියට අභිධර්මයේ උගන්වනු ලැබේ. බුදුන් වහන්සේ එක් කරුණක් සඳහා දෙ තැනක දෙයාකාරයකට නො වදාරතියි සිතා අභිධර්මය හා සූත්‍ර ධර්ම එක් කරන්නට ගොස් කරුණු අවුල් නො කර ගත යුතුය. මෙතැන් පටන් අභිධර්ම ක්‍රමයෙන් ධාතූන් ගේ තත්ත්වය විස්තර කරනු ලැබේ.