කර්කශ ස්වභාවය පෘථිවි ධාතුව ය. කැපෙන දෙයක් ලෙස ද, හැණෙන දෙයක් ලෙස ද, තද දෙයක් ලෙස ද, මොළොක් දෙයක් ලෙස ද, රළු දෙයක් ලෙස ද, මට්ටම් දෙයක් ලෙස ද දැනෙන්නේ කර්කශ ස්වභාවය වූ පෘථිවි ධාතුව ම ය. පිහියේ මුව ඇති කර්කශ බව වූ පෘථිවි ධාතුව කැපෙන දෙයක් ලෙස ද පිහියා උලෙහි ඇති පෘථිවි ධාතුව ඇණෙන දෙයක් ලෙස ද වැටහේ. ඒ කැපෙන දෙය ඇණෙන දෙය සැටියට වැටහෙන දෙය පිහියේ සැම තැන ම ඇත්තේ ය. පිහියේ අංසයන්හි තද වූවක් ලෙස හා මට්ටමක් ලෙස දැනෙන්නේ ද පිහියා මුවෙහි කැපෙන දෙය සැටියට හා පිහියා උලෙහි ඇණෙන දෙය සැටියට දැනෙන්නේ ද කර්කශ ස්වභාවය ම ය. පෘථිවි ධාතුව කර්කශ ලෙස තද ලෙස දැනෙන්නේ රූප කලාප ඝනව පිහිටි කල්හි ය. රූප කලාප ඝන නො වූ ද ආකාශ වායු අධික වූ ද තැන්වලදී ඒ කර්කශ බව මෘදු බවක් සේ දැනෙන්නේ ය. කළු ගලේ දී පෘථිවි ධාතුව තද වූ රළු වූ දෙයක් ලෙස ද, ළදරු සිරුරේ දී මොළොක් වූ සිනිඳු වූ දෙයක් ලෙස ද දැනෙන්නේ ය. එබැවින් තද බව මොළොක් බව යන දෙක ම පෘථිවි ධාතුවය යි කියනු ලැබේ. රූප කලාප ඝනව ඇති ලේහයේ හා ගලෙහි එය බරක් ලෙස දැනෙන්නේ ය. ආකාශ බහුල වූ පුළුන් පිඩෙහි දී එය ලැහැල්ලු බවක් සේ දැනෙන්නේ ය. එබැවින් බර හා ලැහැල්ලු බව ද පෘථිවි ධාතුව ම බව දත යුතුය.
ධාතූන්ගේ ලක්ෂණ දැක්වීමෙහි දී “කක්ඛලත්ත ලක්ඛණා පඨවි ධාතු” යයි පෘථිවි ධාතුව කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේය යි කියනු ලැබේ. එසේ කියා තිබෙන බැවින් කර්කශත්වය පෘථිවි ධාතුව ගේ ලක්ෂණය ය. පෘථිවි ධාතුව ඒ ලක්ෂණය ඇති ද්‍රව්‍යයෙකැ යි ද කර්කශත්වය හා පෘථිවි ධාතුව දෙකකැ යි ද නො ගත යුතුය. කර්කශත්වය ම පෘථිවි ධාතුව ය. එහි ලක්ෂණය අන් අයුරකින් නො කිය හැකි බැවින් කර්කශ ලක්ෂණය ඇත්තේ පෘථිවි ධාතුව යයි කියනු ලැබේ. මෙය අවුල් විය හැකි කරුණකි. අවුල් නො කර ගත යුතු ය. අන්‍ය ධාතූන්ගේ ලක්ෂණ කියා තිබෙන්නේ ද ඒ ක්‍රමයෙන් ම බැවින් ඒ තැන්වල දී ද කියන ලද්දට අනුව සිතා කාරණය තේරුම් කර ගත යුතුය.