පිම්බෙන පුම්බන රුකුල් දෙන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය. කර්කශ ස්වභාවය වූ පෘථිවි ධාතුව හා බැඳී සිට එයට විසිරී යන්නට නොදී එය ඇද ගෙන බැඳ ගෙන සිටින ස්වභාවය ආපෝ ධාතුව ය. ආපෝ ධාතුව හා බැඳී සිට එහි ගැලී සිට පෘථිවි ධාතුවට සර්වාකාරයෙන් හැකිළෙන්නට නොදී එය වායෝ ධාතුවෙන් පුම්බනු ලැබේ. වායෝ ධාතුවෙන් පුම්බනු නො ලැබුවහෝත පඨවි ධාතුවට නො සිටිය හැකි ය. වායෝ ධාතුව ගේ ස්වභාවය කොට්ටයක් තුළ ඇති පුළුනේ ස්වභාවය මෙන් දත යුතු ය. පුළුන් නිතර ම පිම්බී තිබෙන ද්‍රව්‍යයකි. කොට්ට උරය හැකිළෙන ස්වභාවය ඇතියකි. හැකිළෙන ස්වභාවය ඇති කොට්ට උරය පිම්බෙන ස්වභාවය ඇති පුළුන් නිසා පිම්බී සිටී. පුළුන් පිම්බී සිටින බැවින් පිම්බෙන දෙයකැයි ද කිය හැකි ය. කොට්ට උරය අපේක්‍ෂා කොට කියත හොත් කොට්ට උරය පුම්බන බැවින් එය පුම්බවන ස්වභාවය ඇතියකැයි ද කිය හැකිය. එමෙන් වායෝ ධාතුව තෙමේ පිම්බෙන බැවින් පිම්බෙන ස්වභාවයකැයි ද, වායෝ ධාතුවේ පිම්බීමෙන් එය හා බැඳී තිබෙන පඨවි ධාතුව පිම්බෙන බැවින් පුම්බවන ස්වභාවයකැයි ද කියන ලදී. ආපෝ ධාතුව ගේ ආකර්ෂණ වේගය ඇති දෙසට පඨවි ධාතුව ඇදේ. ඒ ඇදීම බර වීමක් වැනි ය. ගසක් හෝ ගෙයක් හෝ පසෙකට බර වී වැටෙන්නට යන කල්හි කණු ආදි යම් කිසිවකින් එය නැවැත්වීමට රුකුල් දෙනු ලැබේ. ඇදෙන්නා වූ වේගය වායෝ ධාතුව ගේ පිම්බීමෙන් නවත්නා බැවින් ඒ පිම්බෙන ස්වභාවයට ම රුකුල් දෙන ස්වභාවයකැයි ද කියනු ලැබේ. රුකුල් දීම ම තල්ලු කිරීමක් ද වන බැවින් වායෝ ධාතුව තල්ලු කරන ස්වභාවයක් සැටියට ද කියනු ලැබේ.
යම් කිසි වස්තුවක සෙලවීමක් වෙතොත් වනුයේ වායෝ ධාතුව නිසා ය. ඇතැම් දෙයක වායෝ ධාතුව අධිකය. එය අධික වන දෙය සැහැල්ලු ය. එබැවින් ඒ දෙය ලෙහෙසියෙන් සෙලවේ. සුළඟෙහි වායෝ ධාතුව ඉතා අධික ය. එබැවින් එය ඉතා සැහැල්ලුය. නිතර ම වාගේ සෙලවෙමින් පවතින්නේ ය.
මහා භූත යනු ද මේ ධාතූන්ට නමෙකි. මහා භූතයෝ ද්‍රව්‍යයන් නොව ශක්තීහු ය. වේගයෝ ය. ඒවාට තනි තනිව නො පැවතිය හැකිය. නො ඉපදිය හැකිය. යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතැන ඉතිරි තුන ද ඇත්තේ ය. ඔවුහු එකිනෙක ගිලගෙන සිටින්නාක් මෙන් එකට බැඳී උපදිති. ඒවායින් එකකට ඉතිරි තුන නිඃශ්‍රය වේ. ඒ තුනට ද ඉතිරි එක නිඃශ්‍රය වේ. දෙකකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. ඒ දෙකට ඉතිරි දෙක නිඃශ්‍රය වේ. මෙසේ මහා භූතයෝ ඔවුනොවුන්ට නිඃශ්‍රය වෙමින් උපදිති. පවතිති. ඒ බැවින් පට්ඨාන පකරණයෙහි -
“එකං මහාභූතං තින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො, තයො මහා භූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො, ද්වෙ මහා භූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො” යි වදාළ සේක.
භූත රූපයන් ද්‍රව්‍ය නො වතුදු ඒ සතර ඔවුනොවුන් ගිල ගෙන වැළඳ ගෙන එකිනෙක හා බැඳී පහළ වූ කල්හි රූප කලාප නම් වූ කුඩා ද්‍රව්‍යය පහළ වේ. එය ඉතා ම කුඩා ද්‍රව්‍යයෙකි. ලෝකයා විසින් ඉතා ම කුඩා දෙය සැටියට සලකන පරමාණුව සෑදෙන්නේ රූප කලාප බොහෝ ගණනක් එක්වීමෙනි. පස් දිය ගිනි සුළං රන් රිදී මුතු මැණික් ඇට ලේ මස් ආදි කවර ද්‍රව්‍යයක වුව ද ඇත්තේ භූත රූප සතර ම ය. ඒවා සෑදී තිබෙන්නේ භූතරූප සතර එක්වීමෙන් ය. භූතරූපයන් ගෙන් ම නිර්මිත වී තිබෙන ඒ ද්‍රව්‍ය නොයෙක් ආකාර වී තිබෙන්නේ සංයෝග වීමේ වෙනස් කමිනි. ධාතු සතර සෑම ද්‍රව්‍යයක ම ඇත්තේ එක ම ප්‍රමාණයකින් නො වේ. ඇතැම් වස්තුවක පඨවි ධාතුව අධික ය. ඇතමෙක ආපෝ ධාතුව අධික ය. ඇතමෙක තේජෝ ධාතුව අධික ය. ඇතමෙක වායෝ ධාතුව අධික ය. ඇතමෙක එක් ධාතුවක් උත්සන්න වී ඉතිරි තුන හීන වී තිබේ. ඇතමෙක ධාතු දෙකක් උත්සන්න වී දෙකක් හීන වී තිබේ. ඇතමෙක ධාතු තුනක් උත්සන්න වී එකක් හීන වී තිබේ. මෙසේ ඒ ඒ ධාතූන්ගේ උත්සන්න මන්දතාවගේ වශයෙන් ද්‍රව්‍යය අනේකාකාර වී තිබේ. සුදු සායම් කලඳකට නිල් සායම් මංචාඩියක් මිශ්‍ර කළ කල්හි එක්තරා වර්ණයක් ඇති වේ. සුදු සායම් කලඳකට නිල් මංචාඩි දෙකක් එක් කළ කල්හි එයට වෙනස් වර්ණයක් ඇති වේ. මෙසේ සුද කලඳකට නිලෙන් මංචාඩිය බැගින් වැඩි කොට මිශ්‍ර කිරීමෙන් වර්ණ සියයක් වුව ද සෑදෙන්නේ ය. එමෙන් උත්සන්න වන්නා වූ ද හීන වන්නා වූ ද එක් එක් ධාතුවක් උත්සන්න හීන වන ප්‍රමාණයන්ගේ සැටියට ද වස්තූහු අනේකාකාර වෙති. ගමන සාමාන්‍යයෙන් එකකි. එහෙත් වේගවත් ගමනය, මන්ද ගමනය, ඉදිරියට යන ගමනය, පස්සට යන ගමනය, සරසට යන ගමනය, කෙළින් යන ගමනය, ඇද ගමනය, පයින් යන ගමනය, රියෙන් යන ගමනය, එක් පයින් යන ගමනය, දෙපයින් යන ගමනය, සතර පයින් යන ගමනය යනාදීන් එකක් වූ ගමනෙහි බොහෝ ප්‍රභේද ඇත්තේය. පඨවි ධාතුව වූ කර්කශ ස්වභාවයේ ද නොයෙක් ආකාර ඇත්තේය. ඉතිරි ධාතූන්ගේ ද එසේ ම බොහෝ ආකාර ඇත්තේ ය. ඒවා මේ මේ යයි දැක්වීමට දුෂ්කරය. සංයෝගවන්නා වූ ධාතූන්හි ඇති වෙනස්කම් නිසා ද ධාතූන්ගෙන් නිර්මාණය වන වස්තූහු අනේකාකාර වෙති. ඇට මස් නහර පස් ආදියෙහි පෘථිවි ධාතුව උත්සන්නය. තෙල් වතුර කෙළ ආදියෙහි ආපෝ ධාතුව උත්සන්නය. ගින්නෙහි තේජෝ වායෝ ධාතු දෙක උත්සන්නය. සුළඟෙහි වායෝ ධාතුව උත්සන්නය. නිවැරදි ලෙස ධාතු සතර තේරුම් ගැනීම එතරම් පහසු නැත. එය සිදු කර ගතහොත් උපාදාරූපයන් පහසුවෙන් තේරුම් ගත හැකි වනු ඇත.