පොට්ඨබ්බය
කාය විඤ්ඤාණයට ගොචර වන, කාය විඤ්ඤාණයෙන් ම දතයුතු, ආපො ධාතුව වර්ජිතකොට ඇති පඨවි, තෙජො, වායො යන මහා භූතත්රයට පොට්ඨබ්බය ය යි කියනු ලැබේ.
පොට්ඨබ්බය කාය ප්‍රසාදයෙහි ගැටීම ලක්ෂණ කොට ඇත්තේය. කාය විඤ්ඤාණයට විෂය වීම එහි කෘත්‍යය වේ. කාය විඤ්ඤාණයට ගොචරවීම වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. ආපො වජ්ජිත භූතත්රයම ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වේ.
කාය විඤ්ඤාණයට ගොචර වන බැවින්, පොට්ඨබ්බය ගොචර රූපයක් වශයෙන් දක්වා ඇතත්, රූප, ශබ්ද, ගන්ධ, රස යන ඉතිරි ගොචර රූප මෙන් උපාදාය රූපයක් නොව ආපොවජ්ජිත භූතත්රයම බව දත යුතුයි. ආපො ධාතුව මහා භූතයක් වන නමුත්, ඉතා සියුම් වූ ද, ඇතුළට ඇදගන්නා ස්වභාවයක් වන බැවින්, යම්කිසිවක් හා නොගැටෙන්නේය. ආපෝ ධාතුව අධිකවූ ජලය ස්පර්ශ කරණ කල්හි, කායප්‍රසාදය හා ගැටෙන්නේ පඨවි, තෙජො, වායෝ යන ධාතු තුනමය. එයිනුත් පඨවි, තෙජො යන ධාතූ දෙක වඩාත් ප්රකටය. පඨවි, තෙජො, වායො යන ධාතුත්රයම එකවර කයෙහි හැපෙන්නේ වී නමුත් එක් කාය විඤ්ඤාණයක් හටගැනීමට ගොදුරු වන්නේ එයින් එක් ධාතුවක් පමණය. එයද රූපකලාපයන්ගේ වඩා උත්සන්නව පවත්නා පඨවි ධාතුව හෝ තෙජො ධාතුව හෝ වියයුතුයි. එමෙන්ම යම් වස්තුවක පඨවි ගුණයක් හෝ තෙජො ගුණයක් හෝ බලාපොරොත්තුවෙන් ස්පර්ශ කරන්නේ නම්, බලාපොරොත්තු වන්නාවූ ඒ ධාතුවම කාය විඤ්ඤාණයට වැටහෙන්නේ ය. තද බවක් හෝ මොළොක් බවක් හෝ වැටහෙන්නේ පඨවි ධාතුස්පර්ශය විඳගැනීමෙනි. උෂ්ණ බව හෝ සීතල බව දැනෙන්නේ තෙජො ධාතු ස්පර්ශයෙනි. ස්පර්ශ කරන්නාහුගේ ශරීරයෙහි උෂ්ණයට, ස්පර්ශ කරන දැයෙහි උෂ්ණය අධිකවූ කල උෂ්ණය යයි ද, එයට අඩු වූ කල සීතල යයි ද දැනීම වේ. තෙජො ධාතුහුගේ ඌනත්වය හෙවත් මද බව සීතල නම් වේ. ශීත, උෂ්ණ දෙකම එකවර නොදැනේ.
පොට්ඨබ්බය කායප්‍රසාදය හා ගැටීමෙන්ම කාය විඤ්ඤාණය පහළවන බැවින් එය සම්පත්ත විෂයග්රාහක බව දතයුතු යි.