භාවරූප
මහා භූතයන් විසින් ඇතිකරවන ලද සත්ත්ව ශරීරයෙහි ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙපරිද්දෙකින් වෙන්කොට දැක්වීමට කර්මයෙන් නිපන් යම් රූප ධර්මයක් උපකාරවේද, එය භාව රූප නම්.
භාවරූප දෙකෙකි. ස්ත්‍රී භාව රූපය හෙවත් ඉත්ථින්ද්රියය සහ පුරුෂ භාව රූපය හෙවත් පුරුෂින්ද්රියය යන භාවරූප දෙකය.
මෝ ස්ත්‍රිය යන ශබ්ද බුද්ධි ඇතිවීමට යම් කර්මජරූපයක් උපකාරීවේද ස්ත්‍රිය පිළිබඳවූ යම් ලිඞ්ගයෙක්, නිමිත්තයෙක්, කෘත්‍යයෙක්, ආකල්පයෙක්, ස්ත්රීත්වයක්, ස්ත්‍රී බවෙක් වේද, එය ඉත්‍ථින්‍ද්‍රිය හෙවත් ස්ත්‍රී භාවරූප නම් වේ.
ස්ත්‍රී ලිඞ්ගය නම් ස්ත්‍රී බව හඟවන්නාවූ ප්රධානාඞ්ගවූ සටහනයි. වටවූ උකුළු හා මෘදු අත්පා ආදිය ඇති බවය. ස්ත්‍රී නිමිත්ත නම් අනුරාගාදිය අඟවන කථා ආදිය හා ස්තනාදී ස්ත්‍රී බව හඟවන අවයව විශේෂ හෙවත් කුඩා සටහනය. හිසකේ ගැටගැනීම, හදයෙහි ලොම නැති බව, රැවුල් නැති බව ආදියයි. ස්ත්‍රී කෘත්‍යය නම් මැහුම්, ගෙතුම්, පිසීම් ආදිය ද ළදරු කල පටන් කුළු ආදියෙන් ක්‍රීඩා කිරීමය යනාදිය යි. ස්ත්‍රී ආකල්පය නම් ස්ත්රීන්ගේ ගමනාදී ආකාරය යි.
මේ පුරුෂයා යයි ශබ්ද බුද්ධීන්ට කාරණා බව ලක්ෂණ කොට ඇති, පුරුෂයා යයි ප්රකාශවීම කෘත්‍ය කොට ඇති, පුරුෂ ලිඞ්ගය, පුරුෂ නිමිත්තය, පුරුෂ කෘත්‍යය, පුරුෂ ආකල්පය යන මොවුන්ට කාරණා භාවය වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය කොට ඇති, යම් පුරුෂත්වයක්, පුරුෂ භාවයක් වන්නේ ද, එය පුරුෂන්ද්රිය හෙවත් පුරුෂ භාව රූප නම් වේ. පුරුෂයින්ගේ අත්, පා, මුහුණු ආදිය මහත්ය. දැළි රැවුල් හා හදය ලොම ඇත්තේය. ඇඳුම් අඳනා ආකාරයද, ගමන් ආදියද, කුඩා කල පටන් කරණ ක්‍රීඩාද වෙනස්ය. කය වෙහෙසා කරණ කැපීම්, කෙටීම්, බර ඉසිලීම් ආදීවූ පුරුෂ කෘත්‍යයෝ ඇත්තාහ.
ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීමෙහිදී, අධිපති භාවය දක්වන හෙයින් මේ රූපවයට ඉන්ද්රිය නාමය ව්‍යවහාර කරණු ලැබේ.
මේ භාව රූප දෙක කර්මයෙන්ම හටගන්නා රූපයෝ යි. එකම සන්තානයෙහි එකවර මේ භාවරූප දෙකම නොපවත්නේය. ප්රතිසන්ධික්ෂණයේදී හෙවත් ප්රතිසන්ධි චිත්තයාඋප්පාදක්ෂණයේදීම මේ භාවරූපය පහළවේ. එතැන් සිට පටිසන්ධි චිත්තයාගේ ඨිති භඞ්ග යන අවස්ථා දෙක්හිද, අනතුරුව පහළවන්නාවූ සියළුම චිත්තයන්ගේ උප්පාද ඨිති භඞ්ග යන තුන් අවස්ථාවන්හිද, ප්රතිසන්ධි බීජයෙහි පහළවූ භාවරූප පරම්පරා වශයෙන් ජනක කර්මශක්තිය හේතුකොට ගෙණ පහළ වෙමින් ලිඞ්ග, නිමිත්ත, කෘත්‍යය, ආකල්ප ආදී වශයෙන් පසු පසුව ප්‍රකට වන්නේය. ආදී කල්පිකයන්ට ප්රතිසන්ධියේදී භාවරූප පහළ නොවේ. ඔවුන්ට ප්රවෘත්ති කාලයේදී පූර්වකර්මානුභාවයෙන් භාවරූපයෝ පහළවෙත්.
ස්ත්‍රීන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව සහිතවූ කර්මයෙන් ප්රතිසන්ධිය ගෙන දෙන්නාවූ කල්හි, ප්‍රතිසන්ධියත් සමගම ස්ත්‍රී භාව රූප පහළවේ. එමෙන්ම පුරුෂයන් කෙරෙහි පවත්නා තණ්හා සහගත කර්මයෙන් ප්රතිසන්ධි විපාක ගෙන දෙන කල්හි, ප්රතිසන්ධි චිත්තයත් සමගම පුරුෂ භාව රූප පහළවේ.
ප්රතිසන්ධි චිත්තයෙහි ස්ත්‍රී පුරුෂාදී භේදයක් නැතත්, පෙර භවයන්හි ස්ත්‍රී පුරුෂයන් පිළිබඳවූ තෘෂ්ණාවගේ හේතුවෙන් පටිසන්ධික්ෂණයේදී ස්ත්‍රී පුරුෂ භාව රූප උපදී. යම්කිසි විශේෂ ප්‍රාර්ථනා ශක්තියකින් හෝ බලවත් අකුසල කර්මය කින් හෝ වෙනස් නොවූයේ නම්, ස්ත්‍රීහු ස්ත්රීන්වම ද, පුරුෂයෝ පුරුෂයන්වමද උපදිති.
උභතෝබ්යඤ්ජනකයාහට පළමුව ඇතිවන්නේ එක් ලිඞ්ගාදියක් පමණය. පසුව එය අතුරුදන්වී අන්‍ය ලිඞ්ගාදිය පහළවේ.
ලිඞ්ග පරිවර්තනයද වන්නේ කර්ම බලයෙනි. පුරුෂ ලිඞ්ගය අතුරුදන්වී ස්ත්‍රී ලිඞ්ගය පහළවන්නේ ලිඞ්ග පරිවර්තනයට හේතුවූ බලවත් අකුසල කර්මයකිනි එබැවින් ජන්ම කර්ම ශක්තිය දුබලවූ කල්හි ජන්ම කර්මයෙන් නිපන් පුරුෂ භාව රූප පරම්පරාවද දුබලවී ක්‍රමයෙන් නිරුද්ධ වේ. ඉන්පසු පහළවන්නේ ස්ත්‍රී භාව රූප පරම්පරාවකි. මේ ස්ත්‍රී භාව රූපයන් හටගන්නා කල්හි ක්‍රමයෙන් පිරිහුණු පුරුෂ ලිඞ්ගාදිය වෙනුවට ස්ත්‍රී ලිඞ්ගාදිය පහළ වන්නේය.
නපුංසකයන්ට පටිසන්ධික්ෂණයේදී මේ භාව රූප පහළ නොවේ.
මේ භාව රූපයෝ තනි තනිවම හට නොගනිත් මහා භූත රූප සතරත්, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතෙන්ද්රිය යන උපාදාය රූපත් සමඟ භාව රූපය, භාව දසක කලාපයකට ඇතුළත්ව උපදී ස්ත්‍රී භාවයක් ලබන්නාවූ කල්හි ස්ත්‍රී භාව දසක කලාපද, පුරුෂ භාවයක් ලබන්නාවූ කල්හි පුරුෂ භාව දසක කලාපද, පටිසන්ධි චිත්තක්ෂණයේදී පටන් පහළ වන්නේය. මෙසේ පහළවන්නාවූ භාව රූප කලාපයෝ ශරීරයෙහි සැම තන්හිම පැතිර පවත්නා බව දක්වා ඇත.