රසය
ජිව්හා විඤ්ඤාණයට ගොචර වන, ජිව්හා විඤ්ඤාණයෙන් ආස්වාදනය කළයුතු හෙවත් දිවින් විඳගතයුතු වූ, සතර මහා භූතයන් නිසා පවත්නාවූ, උපාදාය රූපයක් වූ මධුර, තික්ත, ඇඹුල් ආදීවූ ප්‍රභේද ඇති යම් රූප ධර්මයක් වේ ද, එයට රසය යයි කියනු ලැබේ.
රසාලම්බණය ජිව්හා ප්‍රසාදයෙහි ගැටීම ලක්ෂණ කොට ඇත්තේය. ජිව්හා විඤ්ඤාණයට ගොචරවීම එහි කෘත්‍යය වේ. ජිව්හා විඤ්ඤාණයාගේ පැවැත්මට ස්ථාන භාවය වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. සතරමහා භූත පදට්ඨානය වේ.
දිවෙහි ඇති කායප්රසාදයෙහි උපදනා කාය විඤ්ඤාණයට ආහාරපානාදියෙහි තද බව, මොළොක් බව, උණුසුම් බව සිසිල් බව ආදිය දැනෙතත්, එහි රසය දැනෙන්නේ දිවෙහි ඇති ජිව්හා ප්‍රසාදය නිසා උපදනා ජිව්හා විඤ්ඤාණයට ය.
කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර ප්රත්යයෙන්ම උපදවනු ලබන පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූතයන් ඇති රූප කලාපයෙක් වේ නම්, ඒ මහා භූතයන්ගේ එක්තරා රසයක් ද එම කලාපයටම ඇතුළත්ව පහළ වන්නේය. ඇතැම් වස්තූන් පිළිබඳ වූ රූපකලාපයන්ට අයත් රස රූපයෝ ඉතා දුබල බැවින් ඒ වස්තූන්ගේ රසයක් දිවට නොදැනේ. රන්, රිදී, මුතු, මැණික්, සුලං ආදියෙහි ඇති රසයෝ ඉතා දුර්වලය. එහි ඇති ආපො ගතිය හෙවත් තෙත් ගතියද ඉතා මදය. තෙත් ගතිය ඇති වස්තූන්ගේ රසය ප්‍රකට බැවින් පහසුවෙන් දිවට දැනෙන්නේය. තෙත් ගතියෙන් තොර වූ, තද වූ, ඝණ වූ වස්තුවක් දිවෙහි ගැටුණු කල්හි කාය විඤ්ඤාණයක් මිස, රසය දැනගන්නා ජිව්හා විඤ්ඤාණයක් නූපදී. නමුත් ඒ කාරණයෙන් ඒ වස්තුවෙහි රසයක් නැතැයි නොකියයුතු යි. ඒ ඒ රූපකලාපයන්ට අයත් භූතයන්ගේ සංයෝගය අනුව ද රසය වෙනස් වේ. තිත්ත රසය, මිහිරි රසය, ලුණු රසය, ඇඹුල් රසය, කසට රසය, කටුක රසය, යනාදී වශයෙන් රසයෝ නොයෙක් ආකාර වේ.
ජිව්හා විඤ්ඤාණයද රස රූපයන්ගේ සම්ප්‍රාප්ත විෂයග්රාහක භාවයෙන් හටගන්නා බව දතයුතු යි. රස රූපයෝ ම ජිව්හා ප්‍රසාදයෙහි ගැටීමෙන් ජිව්හා විඤ්ඤාණය පහළවන බැවිනි.