අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ගන්‍ධය

ඝාණ විඤ්ඤාණයට ගොචරවන හෙවත් නැහැයෙන් ආඝ්‍රාණය කළයුතු සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපයක්වූ සුගඳ දුගඳ ආදී වශයෙන් ප්‍රභෙද ඇත්තා වූ යම් රූප ධර්‍මයක් වේ ද එය ගන්‍ධ රූපය නම්.

ගන්‍ධ රූපය ඝාණප්‍රසාදයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේය. ඝාණවිඤ්ඤාණයට විෂය වීම කෘත්‍යය කොට ඇත්තේය. එයටම ගොචරවීම පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය වේ. සතරමහා භූත එහි පදට්ඨානය වේ.

සතර මහා භූතයන්ගේ සංයෝගය කරණකොටගෙණ සෑම රූප කාලයකම යම් වර්‍ණයක් පහළවන්නේ වේ ද, එමෙන්ම ඒ මහා භූතයන් සූචනය කරවන හෙවත් ප්‍රකාශ කරන්නාවූ ගන්‍ධ රූපයක් ද ඒ සමඟම පහළවන්නේය. ඉතා මඳවූ ගන්‍ධ රූපයෝ ඝාණ විඤ්ඤාණයට නොදැනේ. ගන්‍ධ රූප ප්‍රබලව ඇත්තාවූ ඇතැම් වස්තූන්ගේ ගන්‍ධය ඉතා ප්‍රකට වේ. ඝාණ විඤ්ඤාණයට විෂය වන්නේ ඒ ඒ මිශ්‍රවූ ගන්‍ධයකි. ගන්‍ධාධික රූපකලාප ඇති වස්තුවකින්, සෘතු ගුණය කරණකොටගෙන, තවතවත් ගන්‍ධාධික රූපකලාපයන් හටගෙන, භූත පරම්පරා වශයෙන් ඒ වස්තුව හාත්පස පැතිර යන්නේය. මෙසේ පරම්පරා වශයෙන් හටගත්තාවූ ගන්‍ධාධික රූපකලාපයෝ ඝාණ ප්‍රසාද වස්තුව හා ගැටීමෙන් ගන්‍ධය දැනගන්නාවූ ඝාණ විඤ්ඤාණය පහළවේ. එබැවින් නාසයට දැනෙන ගන්‍ධය නාසිකාව තුලම හටගත් ගන්‍ධාලම්බණයක්ම වේ. මේ ගන්‍ධයද, පළමුවෙන් ගන්‍ධය නිකුත්කළ වස්තුවෙහි ඇති ගන්‍ධයට සමානය. එහෙයින් ඝාණ විඤ්ඤාණයෝ ගන්‍ධ රූපයන්ගේ සම්ප්‍රාප්ත විෂය ග්‍රාහක භාවයෙන් හටගන්නා බව කියන ලදී. ගන්‍ධාධික රූප කලාපයන් ඇති වස්තුවක් මනාකොට වසා තබන ලද්දේ වේ ද, වායුව එයින් පිටවීමට හෝ එයට ඇතුල්වීමට හෝ අවකාශ නැත්තේ වේ ද, එකල්හි ඒ වස්තුවෙහි ඇති ගන්‍ධය පිටතට නො දැනේ. එබැවින් ගන්‍ධය දැනගැනීමට හෙවත් ඝාණ විඤ්ඤාණය පහළවීමට වායො ධාතුවෙන් උපනිශ්‍රය ලැබිය යුතු වේ. එමෙන්ම කොපමණ ගන්‍ධ රූපයෝ නාසිකාඡිද්‍රය තුළ හටගත්තේ වීනමුත් ඝාණප්‍රසාදයාගේ පිරිහීමක් වී තිබේනම් ඝාණ විඤ්ඤාණය හටනොගනී.

කම්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම ගන්‍ධ රූපයෝ උපදවනු ලැබෙත්.