අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ශබ්දය

සොත විඤ්ඤාණයට ගොචර වන හෙවත් කනින් ඇසිය යුතු වූ, සතර මහා භූතයන් නිසා, උපාදාය රූපයක් වශයෙන් පහළවන්නාවූ යම් රූපයක් වේ නම් එය ශබ්ද රූප යයි.

ශබ්ද රූපය, සොත ප්‍රසාදයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේය. සොත විඤ්ඤාණයට විෂය වීම කෘත්‍යය කොට ඇත්තේය. සොත විඤ්ඤාණයට ගොදුරුවීම වැටහෙන ස්වභාවය හෙවත් පච්චුපට්ඨානය වේ සතර මහාභූත පදට්ඨානය හෙවත් ආසන්න කාරණය කොට ඇත්තේය.

ශබ්ද රූපයෝ තනි තනිවම හට නොගනිත්. සෑම කල්හිම රූපකලාපයකට ඇතුළත්වම පහළ වේ. චිත්ත සමුට්ඨාන වශයෙන් හෙවත් කථාකිරීමට සිතක් උපන් කල්හි ඒ සිතින් උපදවනලද වායුව, හඬ උපදවන තැන්වල ගැටීමෙන් කථා ශබ්දය උපදී. එය සුද්ධාෂ්ටකයත්, ශබ්දය සහ වාග්විඤ්ඤත්තිය සහිතව, වාග්විඤ්ඤත්ති දසක කලාපයට ඇතුළත්ව හෝ, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා නම් වූ විකාර රූපයනුත් සමඟ උපදනා කල්හි වාග්විඤ්ඤත්ති, ශබ්ද ලහුතාදී ත්‍රයොදසක කලාපයකට ඇතුළත්ව හෝ උපදී. උතුසමුට්ඨාන වශයෙන් ශබ්දය පහළවන කල්හි ශබ්ද නවක කලාපයක් වශයෙන් හෝ ශබ්ද ලහුතාදී ද්වාදසක කලාපයක් වශයෙන් හෝ උපදී.

මේ ශබ්දයෝ, මහා භූතයන් හෙවත් රූපකලාපයන් ඔවුනොවුන් හා ගැටීමෙන් ද, එකට බැඳී පැවැති රූප කලාපයන්ගේ වෙන්වීමෙන්ද හටගන්නේය. බෙර ශබ්ද, ගණ්ඨාර ශබ්ද, කථා ශබ්දාදිය, භූතයන්ගේ ගැටීමෙන් සිදුවන්නේය. දර පැලීම්, වෙඩි පිපිරීම්, භාජන බිඳීම් ආදියෙන් නැගෙන ශබ්දයෝ භූතපිණ්ඩයන්ගේ වෙන්වීම කරණකොටගෙන නැගෙන ශබ්දයෝ යි.

කවර හේතුවකින් හෝ කවර ස්ථානයක හෝ උපදින්නාවූ ශබ්ද රූපයන්ට චිත්තක්‍ෂණ සතොළොසකට (17) වඩා ආයුෂ නැති හෙයින් ඒ ඒ ශබ්ද රූපයෝ උපන් තැනදීම නිරුද්ධවන්නාහ. එබැවින් ශබ්ද රූපයකට, එය හටගත් තැනින් අන් තැනකට යාමටවත්, අන් තැනක පිහිටි සෝතප්‍රසාදයෙහි ගැටීමටවත් නුපුළුවන. රූපාලම්බණය පහළවූ තැනම සිටියදී එහි ඡායාව ආලෝකයේ උපකාරයෙන් චක්ඛුප්‍රසාද රූපයෙහි ගැටී චක්ඛුවිඤ්ඤාණය උපදින්නාක් මෙන්, මේ ශබ්දාලම්බණයාගේ ශබ්ද ඡායාව පමණක් විවරාකාශය ඇතිකල්හීම සෝතප්‍රසාදය හා ගැටීමෙන් සෝත විඤ්ඤාණය හටගන්නේය. ඒ හෙයින්ම සෝතවිඤ්ඤාණයෝ ශබ්ද රූපයන්ගේ අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක භාවයෙන්ම පහළවන බව කියනලදී. යම් ස්ථානයක හටගන්නාවූ ශබ්ද රූපයෝ ඉතා බලවත් වේද, නැතහොත් විදුලි වේගය ආදී ඍතුජ හේතුවකින් බලවත් කරණ ලද්දේ වේද, ඒ ශබ්ද ඡායාවෝ ඉතා ඈත සිට අසන්නන්ගේ සෝතප්‍රසාදයෙහි ගැටීමෙන් ශබ්ද ඇසීමට ශක්තිය ලැබෙන්නේය. සාමාන්‍යයෙන් රූප ඡායාවකට බිත්ති ආදීවූ ඝණවූ වස්තුවක් විනිවිද යාමට නොහැකිවූ නමුත්, ශබ්ද ඡායාවන්ට සමහර ඝණවූ වස්තු විනිවිද යාමට ශක්තියක් ඇත්තේය. යම් හේතුවකින් කන් බිල වැසීමෙන් හෝ අවහිර වීමෙන් ස්වාභාවිකවූ ශබ්ද ඇසීමට නොහැකිවූවත්, සෝතප්‍රසාද රූපයෝ පහළ වන්නේනම්, යන්ත්‍රෝප කරණ මාර්‍ගයෙන් හෙවත් ඍතුජ බලයෙන් කණ අසල වූ හිස්කබල උපකාරකොටගෙණ ඒ ශබ්ද ඇසිය හැකි වේ. විවරාකාශය නැති තන්හි ශබ්ද ඇසීමක් නොවන්නේය. එහෙයින්ම සෝත විඤ්ඤාණයාගේ හටගැනිමට ශබ්දාලම්බණයත්, විවරාකාශයත් නොපිරිහුණු සෝතප්‍රසාදයත් අවශ්‍ය බව දක්වන ලදී. විවරාකාශය යයි කී කල්හි ඇසට නොපෙනෙන්නාවූ, ඉතා සියුම් රූප පිණ්ඩයන් සහිතවූ ආකාශය බව දතයුතුයි. රූප පිණ්ඩයන් නැති ආකාශයෙහි ශබ්ද ඡායාවෝ නොපැතිරෙන්නේය. මේ ශබ්ද ඡායාවෝ පැතිරෙන කල්හි, එහි වේගයට අනුව, ආකාශයෙහි ඇත්තාවූ රූප පිණ්ඩයන්ගේ චලනයවීම හේතුකොටගෙණ තරංග ස්වභාවයක් දක්වයි. මේ තරංග ස්වභාවය දක්වන්නේ රූප පිණ්ඩයන්ගේ දිවීමකින් නොව, සිටි තැනම සිට චලනය වීමෙනි. සිටීමට උපකාර වන්නේ පඨවි ධාතුවයි. චලනය කිරීම ඇතිකරවන්නේ එහි වායො ධාතුවයි. ඈත අහස්හි බලවත් වායු වේගය හෙවත් ඍතු භෙදය කරණකොටගෙණ, හටගන්නාවූ විදුලි ආලෝකය සහ අහස් ගිගුරුම් ශබ්දයෝ ද, එකක්‍ෂණිකව හටගන්නා හුය. නමුත් විදුලි ආලෝකය පිළිබඳවූ වර්‍ණ ඡායාව ඇසට හමුවී ස්වල්ප වේලාවක් ගතවීමෙන් අහස් ගිගුරුම් ශබ්දයෝ ඇසෙත්. එයින් හඟවනු ලබන්නේ වර්‍ණ ඡායාව චක්‍ෂුප්‍රසාදය හා ගැටීමට ගතවන්නේ ඉතාමත්ම ස්වල්ප කාලයක් බවත් ශබ්ද රූපයන්ගේ ශබ්ද ඡායාවෝ පැතිරී මට එයට වැඩි වේලාවක් ගතවන බවත්ය.