රූපය
චක්ෂුර්විඤ්ඤාණයට ගොචර වන හෙවත් ඇසින් දැක්ක යුතුවූ සතර මහා භූතයන් නිසා පවත්නාවූ, උපාදාය රූපයක්වූ, නීල, පීත, ලෝහිත, ඔදාත ආදි වශයෙන් ප්‍රභේද ඇත්තාවූ වර්ණය හෙවත් පැහැය රූපය නම් වේ.
රූපාලම්බණය චක්ඛුප්‍රසාද රූපයෙහි ගැටීම ලක්ෂණ කොට ඇත්තේය. චක්ඛුවිඤ්ඤාණයට අරමුණුවීම නොහොත් ආලම්බණවීමේ ගුණය කෘත්‍ය කොට ඇත්තේය. චක්ඛු විඤ්ඤාණයට ගොචර භාවයෙන් වැටහෙන ස්වභාවය ඇත්තේය. සතර මහා භූත ආසන්න කාරණය කොට ඇත්තේය.
පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූතයෝ එකිනෙකට බැඳි රූප කලාපයක් වශයෙන් පහළවන සෑම කල්හීම, ඒ මහා භූතයන්ගේම එක්තරා වර්ණයක් හෙවත් පැහැයක්ද, ඒ සමගම, එම කලාපයටම ඇතුළත්ව පහළ වන්නේය. එයට වර්ණ ධාතුව යයි කියනු ලැබේ. මෙසේ පහළවන්නාවූ වර්ණ රූපයෝ එකිනෙකට වෙනස් වේ. සංයෝග වන්නාවූ භූතරූපයන්ගේ වෙනස් බව කරණකොට ගෙන වර්ණයෝද වෙනස් වන්නාහ. සත්‍ය වශයෙන් වර්ණ ධාතුවය යි කියනුයේ එක් එක් රූප කලාපයකටම අයත් ධාතූන්ගේ වර්ණයට ය. ඇසට හමුවන්නා වූ වර්ණය වනාහි නොයෙක් දහස් ගණන් රූප කලාපයන්ට ඇතුළත්වූ නොයෙක් දහස් ගණන් වර්ණයන්ගේ මිශ්‍රණයක් මිස, සත්‍ය වශයෙන් වෙන් වෙන්ව පහළවූ වර්ණ ධාතු නොවෙති.
ඇතැම් වර්ණ ධාතු ඉතා දුබලය. ඇතැම් වර්ණයෝ ඉතා ප්රකටය. දුබලවූ වර්ණ ධාතු ඇති රූප කලාපයන්ගෙන් සැදුනු ද්‍රව්‍යයන් ඇසටද නොපෙනේ. සුළඟෙහිද වර්ණයක් ඇත. නමුත් ඒ වර්ණ ඉතා මද බැවින් ඇසට නොපෙනේ. ඉතා වර්ණවත් වූ ද්‍රව්‍යද, දුරසිට බලන්නාවූ කල්හි එක් ආකාරය කින් ද, ළඟ සිට බලන කල්හි අන් ආකාරයකින් ද, බලවත් ආලෝකය ඇති කල්හි තවත් ආකාරයකින් ද, මන්දවූ ආලෝකය ඇතිකල්හි අන්‍යාකාරයකින් ද, යනාදි වශයෙන් එකම ද්‍රව්‍යය නොයෙක් ආකාරයෙන් නොයෙක් දෙනා හට පෙනෙන්නේ ය. නමුත් සත්‍යවූ වර්ණය මසැසට නොපෙනේ.
චක්ඛු විඤ්ඤාණය හටගැනීමේදී පිටත තිබෙන්නාවූ රූපාලම්බණයාගේ හෙවත් වර්ණයාගේ ඡායාව පමණක් චක්ඛුප්රසාදයෙහි ගැටෙන්නේ ය. රූපාලම්බණය චක්ඛු ප්‍රාසාදය හා ගැටීමක් නො වන්නේ ය. එබැවින් චක්ඛු ප්‍රසාදය අසම්ප්‍රාප්ත විෂය ග්රාහක නම් වේ.
යොදුන් දහස් ගණන් ඈත පිහිටි චන්ද්‍ර, සූර්ය්ය, තාරකාදී රූපාලම්බණ අරමුණු කරන හෙයින් ද, විශාල වූ පර්වතාදිය අරමුණු කරන හෙයින් ද, ඇසෙහි ගෑ අඳුන් ආදිය හා ඇසෙහි හැපුනු දැය නොදක්නා හෙයින් ද, චක්ෂුප්රසාදය අසම්ප්රාප්තාලම්බණයෙහි විඥානොත්පාදනයට හේතුවන බව දතයුතුයි.
ආලෝකයෙන් උපකාර ලබන ලද රූපාලම්බණයාගේ ඡායාව චක්ඛු ප්‍රාසාදය හා ගැටෙන්නේ ය. ඇතැම් රූප කලාපයන්ගේ තේජො ධාතු අධික හෙයින් දිලිසෙන බවක් හෙවත් බබලන ස්වභාවයක් දක්වයි. ඇතැම්විට ආලෝකයක්ද නිකුත්වෙයි. අන්ධකාර ස්ථානයෙක්හි තබනලද ඇතැම් මාණික්‍යයන්ගෙන් ද ආලෝකය නිකුත්වේ. එවිට එම ආලෝකයේ උපකාරයෙන් එම ද්‍රව්‍යය පමණක් නොව අවට ද්‍රව්‍යයන්ද දැකීමට හැකිවේ. එසේ ආලෝකයක් නැති කල්හි ද්‍රව්‍යයන්ගේ වර්ණය ප්‍රකට නොවන බැවින් ඇසට නොපෙනේ. කර්ම, චිත්ත, සෘතු ආහාර යන සතර ප්රත්යයෙන්ම වර්ණය උපදවනු ලැබේ.