රූප ප්රවෘත්ති ක්‍රමය
කාමලොක, රූප ලොක, අරූපලෝක යයි ලොක තුන් වැදෑරුම් වේ. සතර අරූප ලෝකයන්හි කිසිඳු රූපයක් නැත. එහි සත්ත්වයන්ට ඇත්තේ සතර නාමස්කන්ධය පමණය. රූප පහළවන්නාවූ ලොක අතුරෙන් කාම ලොකයයි ව්‍යවහාර කරනු ලබන්නේ සතර අපාය, මිනිස්ලොව, සදෙව්ලොව යන එකොළොස් කාම භූමියටය. රූප ලෝකය නම් බ්රහ්මපාරිසජ්ජාදී සොළොස් බ්‍රහ්ම භූමියය.
සත්ත්වයන් ඇතිවීමේ ක්‍රම සතරෙකි එනම්:
- 1 අණ්ඩජ
- 2 ජලාබුජ
- 3 සංසෙදජ
- 4 ඕපපාතික
මෙයටම අණ්ඩජ යෝනිය, ජලාබුජ යෝනිය, සංසෙදජ යෝනිය, ඕපපාතික යෝනිය යයිද කියනු ලැබේ.
අණ්ඩයෙන් හෙවත් බිජුවටින් උපදින්නෝ අණ්ඩජ- යෝයි. ඔවුහු අණ්ඩකෝෂය බිඳගෙන උපදින්. පක්ෂි, සර්පාදී සත්ත්වයෝයි.
ජලාබුයෙන් උපදින සත්ත්වයෝ ජලාබුජයෝයි. ඔවුහු වස්ති කෝෂය බිඳගෙන උපදින්. ජලසඞ්ඛ්යාත කලල රූපය වසන්නේය යන අර්ථයෙන් ජලාබු නම්වේ. වැදෑමස යනුද මෙයටම නමෙකි. මනුෂ්‍ය, ඇත්, අස්, ගවාදී සත්ත්වයෝයි.
සංසෙදයෙන් උපදින්නෝ සංසෙදජයෝය. සංසෙදය නම් දිය සීරාව ඇති තෙත්වූ ස්ථානයයි. අපිරිසිදු තැන්වූ කුණු මසෙහි හෝ කුණු මිනියෙහි හෝ කුණු භෝජනයෙහි හෝ ගවර වලෙක හෝ උපදින සත්ත්වයෝද, පිරිසිදු තැන්වූ පියුම් මල් ඵල ආදියෙහි උපදින සත්ත්වයෝද, සංසෙදජ යෝනියට ඇතුළත් වේ. එනම් මැසි මදුරු ආදී සත්ත්වයෝයි.
අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ යන තුන් ආකාරයෙන්ම වෙනස් වූ සම්පූර්ණ වූ අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇතිව පහළ වන්නෝ ඕපපාතිකයෝයි. දිව්‍ය බ්‍රහ්මයෝද, අපාගත නිරිසන්හුද ඇතැම් මනුෂ්‍යයෝද ඇතැම් විනිපාතිකයෝද, ඕපපාතික යෝනියට ඇතුළත් වේ.
මේ සතර විධ ප්රතිසන්ධි අතුරෙන් ඕපපාතිකව පහළ වන සත්ත්වයෝ නම්:-
නිරයගත සත්ත්වයෝය
නිජ්ඣාම ප්‍රේතයෝය
සදෙව් ලොව වසන දෙවියෝය
රූපී බ්‍රහ්මයෝය
අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඕපපාතික යන සතරාකාරයෙන්ම උපදින සත්ත්වයෝ නම්:-
තිරශ්චීනයෝය
සෙසු ප්‍රේතයෝය
අසුරයෝය
මනුෂ්‍යයෝය
භූමට්ඨ දෙවියෝය
තවද,
- පරිපූර්ණ ඉන්ද්රිය ඇති සත්ත්වයෝය
- අපරිපූර්ණ ඉන්ද්රිය ඇති සත්ත්වයෝය
යයි සත්ත්වයෝ දෙවැදෑරුම් වේ.
ඉන්ද්රියයන් නොඅඩුව සම්පූර්ණව උපදින සත්ත්වයෝ පරිපූර්ණ ඉන්ද්රිය ඇති සත්ත්වයෝය.
ඉන්ද්රියයන් අඩුව හෙවත් අසම්පූර්ණව උපදින සත්ත්වයෝ අපරිපූර්ණ ඉන්ද්රිය ඇති සත්ත්වයෝය.
රූප ප්රවෘත්ති ක්‍රම දෙකකි.
- පටිසන්ධි ක්‍රමය හෙවත් උත්පත්තික්ෂණයේදී රූප පවත්නා පිළිවෙලය.
- ප්රවෘත්ති ක්‍රමය හෙවත් පවත්නා කාලයෙහි රූප ප්රවෘත්තියයි.
රූප වශයෙන් අටවිසි රූපයෝද, කලාප වශයෙන් එක් විසි රූප කලාපයෝද කාම ධාතුවෙහි හෙවත් කාම ලෝක යෙහි සුදුසු පරිදි ප්රවෘත්ති කාලයෙහි ලැබෙන්නාහ.
අනුපාදින්නක සන්තානයෙහි නොහොත් පෘථුවි පර්වත ගඞ්ගා සමුද්රාදී සියලු තන්හි උතුජ සුද්ධාෂ්ටක කලාපය හා උතුජ ශබ්ද නවක කලාපයද ලැබෙන්නාහ. උපාදින්නක සන්තානයෙහි මේ සියල්ලම ලැබෙති.
කාම ධාතුවෙහි පරිපූර්ණ ආයතන ඇති සත්ත්වයන්ට මේ එක්විසි රූප කලාපයෝ නොඅඩුවම ලැබෙත්. එසේද වුවත් ස්ත්රීන්ට පුරුෂභාව රූපයද, පුරුෂයින්ට ස්ත්‍රීභාව රූපයද, නපුංසකයින්ට භාව රූප දෙකමද අන්ධයින්ට චක්ඛු ප්‍රසාද රූපයද, බිහිරන්ට සොත ප්‍රසාද රූපයද, යනාදි වශයෙන් රූපයන්ගේ ලැබීම අඩු වන්නේය. එබැවින් කාම භවයෙහි උපදනා ස්ත්‍රියෙක් වී නම් පුරුෂභාව කලාපය හැර විසි කලාපයක්ද, පුරුෂයෙක් වී නම් ස්ත්‍රී භාව කලාපය හැර විසි කලාපයක්ද, ආදිකල්පික සත්ත්ව යන්ට කාම රාගය ඉපදීම දක්වා භාවකලාපද්වය හැර එකුන්විසි (19) කලාපයෙක්ද, ජාති නපුංසක, ජාතිපණ්ඩක, උභතොබ්‍යඤ්ජනක සත්ත්වයන්ටද භාවකලාපද්වයම නොලැබෙන හෙයින් එකුන්විසි (19) කලාපයෙක්ද ලැබේ.
සංසෙදජ සත්ත්වයෝ ප්රතිසන්ධි කාලයේදීම පරිපූර්ණ ඉන්ද්රියයන් ඇතිවම උපදින නමුත් ඔවුන්ගේ අඞ්ග ප්‍රත්‍යඞ්ග පසු පසුවම ක්‍රමයෙන් වැඩේ.
ඕපපාතිකයෝ වනාහි පරිපූර්ණ ඉන්ද්රියයන් හා අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇතිවම උපදිත්. පසුව අඞ්ග ප්රත්යඞ්ගයන්ගේ වැඩීමක් නොවන්නේය.
සංසෙදජ හා ඕපපාතික සත්ත්වයන්ට ප්රතිසන්ධික්ෂණයේදී උත්කෘෂ්ට වශයෙන්, කාමභවයෙහිදී
- චක්ඛු දසක කලාපය
- සොත දසක කලාපය
- ඝාණ දසක කලාපය
- ජිව්හා දසක කලාපය
- කාය දසක කලාපය
- භාව දසක කලාපය
- වස්තු දසක කලාපය
යන සප්ත කලාපයෝම ලැබෙත්.
සුගතියෙහි මහානුභාව කුසල කර්මයකින් උපදනා ඕපපාතිකයන් හට ඉන්ද්රිය විපරීතයක් නොවන්නේය. ඉන්ද්රිය විපරීතය ඇතිවන්නේ සුගතියෙහි උපදනා සංසෙදජයන්ටය. ඔවුන්ට ඇතැම්විට
- චක්ඛු දසක කලාපය
- සොත දසක කලාපය
- ඝාණ දසක කලාපය
- භාව දසක කලාපය
යන සතර දසක කලාපයෝ නොලැබෙන්නාහ.
දුගතියෙහි, සංසෙදජ, ඕපපාතික යන දෙපක්ෂයටම චක්ඛු දසක කලාපය, සොත දසක කලාපය, භාව දසක කලාපය යන ත්‍රිවිධ කලාපයන්ගේ නොලැබීම් ඇතැම් විටෙක වන්නේය. ඝාණ ප්‍රසාදය නොලැබෙන දුගති ඕපපාතික සත්ත්වයෙක් නැත්තේය. නමුත් ඇතැම් විටෙක දුගති සංසෙදජ සත්ත්වයන්ට ඝාණ ප්‍රසාදය නොලැබෙන්නේය. කාම භවයෙහි කිසිම සත්ත්වයෙකුට ජිව්හා විකලතාවයක් නම් නොලැබෙන්නේය.