අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ගබ්භසෙය්‍යක සත්ත්‍වයෝ

ගර්භයෙහි හෙවත් මව් කුසෙහි පිළිසිඳ ගන්නා සත්ත්‍වයෝ ගබ්භසෙය්‍යකයෝයි. අණ්ඩජ, ජලාබුජ යන සත්ත්‍ව කොටස් දෙකම එයට ඇතුළත් වේ.

අඞ්ග විකලත්‍වයක් නැති ගබ්භසෙය්‍යක සත්ත්‍වයන්ගේ ප්‍රතිසන්‍ධි චිත්තයෙහි උප්පාදක්‍ෂණය හා එකක්‍ෂණිකව, කාය දසක කලාපය, භාව දසක කලාපය, වස්තු දසක කලාපය යන දසක කලාපත්‍රය පහළ වන්නාහ. මේ රූප කලාපයෝ තිදෙනාහට කලලරූපය යයි ද ව්‍යවහාර කරනු ලැබේ. මේ කලාපත්‍රය ප්‍රතිසන්‍ධියගත් පුද්ගලයාගේ ජනක කර්‍ම ශක්තියෙන්ම ජනිත කර්‍මජ රූප කලාපයන් මිස, මව් පිය සන්තානයන්හි හටගත් කම්ම, චිත්ත, ඍතු ආහාර යන සතර ප්‍රත්‍යයෙන් උපදවන ලද රූප කලාප නොවන බව දතයුතුයි. මව්පියන් සම්බන්‍ධ වූ ඩිම්බ ශුක්‍රාණුන්ගේ සංසෙවනය කරණකොට ගෙන හටගන්නා වූ රූප පිණ්ඩයක් ඇසුරු කොට ගෙන හෙවත් භූමිකොටගෙන පහළ වන්නා වූ මේ ත්‍රිවිධ කර්‍මජ රූප කලාප සඞ්ඛ්‍යාත වූ කලල රූපය, අන්‍ය වූ බොහෝ රූප කලාපයන්ගේ පහළවීමෙන් ක්‍රමයෙන් වැඩෙන්නේය. මෙය සත්ත්‍ව සන්තානයෙහි රූපයන්ගේ පළමු හට ගැනීම හෙවත් ප්‍රථම උත්පාදය වන්නේය.

මතු මතුයෙහි හෙවත් ප්‍රවෘත්ති කාලයෙහි අභිනවයෙන් වැඩෙන්නා වූ රූපයෝ නම්:-

ප්‍රතිසන්‍ධි චිත්තයාගේ ඨිතිභඞ්ග යන ක්‍ෂණයන්හි පහළ වන කම්ම සමුට්ඨාන රූප කලාපද,

එයට අනතුරුව සෑම චිත්තක්‍ෂණයක් පාසාම, උප්පාද ඨිති භඞ්ග යන තුන් අවස්ථාවන්හිම සන්තති වශයෙන් නොබිඳී පහළ වන්නා වූ කම්ම සමුට්ඨාන රූපකලාප සන්තතියද

දෙවන සිතෙහි හෙවත් ප්‍රතිසන්‍ධි චිත්තයට අනතුරුව පහළ වන්නා වූ ප්‍රථම භවඞ්ග චිත්තයාගේ පටන් සෑම රූප ජනක චිත්තයන්ගේ ම උප්පාදක්‍ෂණයන්හි පහළ වන්නා වූ චිත්තසමුට්ඨාන රූප කලාප සන්තතියද

ප්‍රතිසන්ධි චිත්තයාගේ උප්පාදක්‍ෂණය හා එකක්‍ෂණිකව පහළවූ කර්මජ රූප කලාපත්‍රයෙහි ඇත්තාවූ තෙජො ධාතුහු තිදෙන ඨිති කාලයට පැමිණි තැන් සිට, එනම් ප්‍රතිසන්ධි චිත්තයාගේ ඨිතික්‍ෂණයේ සිට සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම පච්ඡා ජාත ප්‍රත්‍යය ලැබීමෙන් උපදවන්නාවූ කම්ම පච්චය උතුජ රූප කලාප සන්තතියද

ප්‍රථම භවඞ්ග චිත්තයාගේ උප්පාදක්‍ෂණයේදී හටගත් චිත්ත සමුට්ඨාන රූපකලාපයට ඇතුළත් තෙජො ධාතුව ස්ථිති ප්‍රාප්ත වූ කල්හි හෙවත් ප්‍රථම භවඞ්ග චිත්තයාගේ ඨිතික්‍ෂණයේ සිට සෑම චිත්තසමුට්ඨාන රූප කලාපයකට ඇතුළත් තෙජො ධාතුන් විසින් ඨිති ප්‍රාප්ත කල්හි උපදවනු ලබන චිත්තපච්චය උතු සමුට්ඨාන රූප කලාප සන්තතියද

ප්‍රතිසන්ධි චිත්තයාගේ ස්ථිතික්‍ෂණයේ සිට සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම බාහිර ඍතුවෙන් උපදවනු ලබන උතුපච්චය උතු සමුට්ඨාන රූප කලාප සන්තතියද

සත් සැත්තෑ (77) වන දින රාත්‍රියෙහි, චක්ඛුදසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක යන සතර දසක කලාපයන් පහළවූ තැන් සිට, සෑම කුඩා චිත්තක්ෂණයක් පාසාම පහළවන්නාවූ කායදසක, භාව දසක, වත්‍ථුදසක, චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක, යන සප්තවිධ කම්ම සමුට්ඨාන රූප කලාප සන්තතියද

එයට අනතුරුව, එම සප්තවිධ කර්මජ කලාපයන්ට ඇතුළත් තෙජො ධාතුහු ස්ථිති ප්‍රාප්ත කල්හි උපදවන්නාවූ කම්ම පච්චය උතුසමුට්ඨාන රූප කලාප සන්තතියද

ආහාර සඞ්ඛ්‍යාත බාහිර ඕජාව, අධ්‍යාත්මගත ඕජාවන් හා සංසර්ගය ඇතිවන අවස්ථාවේ සිට කම්ම සමුට්ඨාන රූප කලාපයන්හි ඇතුළත් ඕජා රූපයන් විසින් සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම උපදවනු ලබන කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සන්තතියද

එමෙන්ම, සෑම චිත්ත සමුට්ඨාන රූප කලාපයකටම ඇතුළත් ඕජා රූපයන් විසින් උපදවනු ලබන චිත්ත පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සන්තතීයද

උතු සමුට්ඨාන රූප කලාපයන්හි ඇතුළත් ඕජා රූපයන් විසින් සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම බාහිර ඕජා හා සංසර්ගය ඇති කල්හි උපදවනු ලබන උතු පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සන්තතීයද

ආහාර සමුට්ඨාන රූප කලාපයන්හි අන්තර්ගත තෙජො ධාතූහු විසින් සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම උපදවනු ලබන ආහාර පච්චය උතු සමුට්ඨාන රූප කලාප සන්තතීයද

බාහිර ඕජා රූපයන් විසින් සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම උපදවනු ලබන ආහාර පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සන්තතීයද

යන මෙකි රූප කලාපයෝ සන්තති වශයෙන් කාම ලෝකයෙහි දීප ජාලාවක් මෙන්ද, ගංගා ශ්‍රෝතසක් මෙන්ද ආයු ඇතිතාක් නොසිඳී පවත්නේය.

ගර්භයෙහි හෝනා ළදරුවාහට බාහිර ඕජා වශයෙන් ලැබෙන්නේ මෑණියන් විසින් අනුභවකළ ආහාර පානාදියෙහි ඕජාවෝය. මුල් කාලයේදී ගර්භ කෝෂයෙහි අත්තශ්ඡදයෙහි ඇති ලේ ධාතුවෙන්ද, වැදෑමහ පෙකෙණි වැල ආදිය වැඩුණු පසු එහි ඇති ලේ නහර ආදියෙහි උපකාරයෙන්ද, ශරීර පෝෂණය පිණිස උවමනා ඕජාවෝ උපදවාගනු ලැබේ.

ප්‍රතිසන්‍ධියෙහි පටන් මෙසේ ක්‍රමයෙන් වැඩෙන්නාවූ රූපකාය, මනුෂ්‍ය ඇසට නොපෙනෙන කලලරූප අවස්ථාව සිට සතියක් ඉක්මගිය කල්හි අර්බුද අවස්ථාවට පැමිණෙන්නේය. එය මස් සේදූ ජලයක් බඳුයයි උපමා කොට ඇත්තේය. අර්බුද අවස්ථාවේ සිට සතියක් ඉක්ම ගිය කල්හි දියවුනු ඊයම් බිංදුවක් බඳුවූ පේසී අවස්ථාවට පැමිණෙන්නේය. පෙසී අවස්ථාවේ සිට සතියක් ඉක්ම යාමෙන් කිකිලි බිජුවක් බඳු ආකාර ඇති ඝණ අවස්ථාවට පත්වන්නේය. ඝණ රූපයට සතියක් ඉක්ම ගිය කල්හි පසාඛ අවස්ථාවට පැමිණේ. එහිදී දෙඅත් දෙපා හිස ආදිය පිණිස වෙන් වූ පිළක සමූහයකින් යුක්ත වන්නේය. සවන සතිය සිට කෙසාදිය සෑදෙන්නේය. මෙසේ අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ උපද්‍රවාදීන්ගෙන් පීඩිත නොවී වැඩෙන්නා වූ කුඩා ළදරුවාහට එකොළොස්වන සතිය අවසන් වීමේදී නොහොත් සත්සැත්තෑ (77) වන දින රාත්‍රියේදී චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක, යන සතර කර්‍මජ කලාපයන්ගේ පහළ වීමෙන් ඒ සත්ත්‍ව සන්තානයෙහි පහළ විය හැකි රූප කලාප සමූහය සම්පූර්‍ණ වන්නේය.

මෙතැන් පටන් ඒ සත්ත්‍ව සන්තානයෙහි යට දක්වන ලද කර්‍මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ රූප කලාප සමූහය සන්තති වශයෙන් නොබිඳී සම්මුති මරණය හෙවත් චුතිය දක්වා පවත්නේය.

මෙසේ සතර ප්‍රත්‍යයෙන් උපදවනු ලබන රූපකලාපයන් අතුරෙන් කර්‍මජ රූපකලාපයෝ වනාහි, චුති චිත්තය පටන් ආපසු ගිණූ කල්හි සතළොස්වන (17) චිත්තක්‍ෂණයාගේ උප්පාදක්‍ෂණය දක්වා හටගන්නාහ. එයට අනතුරුව කර්‍මජ රූප කලාපයන්ගේ හටගැනීමක් නොවන්නේය. චුතියට පූර්‍ව සතළොස් (17) වන චිත්තක්‍ෂණයාගේ උප්පාදක්‍ෂණයේදී පහළ වූ අවසාන කර්‍මජ රූප කලාපයෝ චුතිචිත්තයාගේ නිරුද්ධයත් සමඟ නිරුද්ධ වන්නේය. චිත්තජ හා ආහාරජ රූප කලාපයෝ චුති චිත්තය දක්වා උපදවනු ලබන බැවින්, චුති චිත්තයට චිත්තක්‍ෂණ සොළොසක් පමණ ගතවී නිරුද්ධ වන්නාහ. චුති චිත්තයාගේ නිරුද්ධයෙන් පසු මෘත ශරීර බවට පත්වූ රූප කායයෙහි පහළ වන්නේ උතු සමුට්ඨාන රූප පරම්පරාවෝ පමණය.