රූප ලෝකයෙහි රූප ප්‍රවෘත්තිය
කාමරාගය දුරුකරනු පිණිස කරන ලද භාවනා බලයෙන් උපදවාගන්නා ලද ධ්‍යානයන්ගේ විපාක වශයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ඕපපාතිකව පහළ වන්නාවූ රූපී බ්‍රහ්මයින්ට, කාමරාග නිදාන කොට ඇති, කර්මයෙන් උපදවනු ලබන ඝාණ දසක කලාපයෝද, ජිව්හා දසක කලාපයෝද, කාය දසක කලාපයෝද භාවදසක කලාපයෝද, නොලැබෙන්නාහ. තවද, බ්‍රහ්මයෝ ආහාර නො වළඳනා හෙයින්, ඔවුන්ගේ සන්තානයන්හි ආහාරසමුට්ඨාන රූපයෝ නූපදි.
රූපී බ්‍රහ්මයින්ට ප්රතිසන්ධි කාලයේදී චක්ඛු දසක, සොත දසක, වස්තු දසක, යන ත්‍රිවිධ දසක කලාපයෝද, ජීවිත නවක කලාපයද යන කම්ම සමුට්ඨාන රූප කලාප සතර පමණක් ලැබෙන්නේය. ප්රවෘත්ති කාලයේදී චිත්ත සමුට්ඨාන කලාප හා උතුසමුට්ඨාන කලාපයන්ද ලැබෙන්නේය. අසඤ්ඤ සත්තයෙහි ප්රතිසන්ධි කාලයේදී ලැබෙන්නේ කම්ම සමුට්ඨාන ජීවිත නවක රූප කලාප පමණය. චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක, කාය දසක, භාව දසක වස්තු දසක යන සප්ත විධ කර්මජ කලාපයෝ නොලැබෙන්නාහ. නාමස්කන්ධය නැති බැවින් චිත්තසමුට්ඨාන රූපයන්ගේ හටගැනීමක් නැත්තේය. ආහාර නොගත හැකි බැවින් ආහාර සමුට්ඨාන රූපයෝත් නැත. ප්රවෘත්ති කාලයෙහි උතුසමුට්ඨාන රූප අතුරෙන් ශබ්ද නවක කලාපයත් ශබ්ද ලහුතාදී ද්වාදසක කලාපයත් යන කලාපදෙක හැර ඉතිරි උතු සමුට්ඨාන ශුද්ධාෂ්ටක කලාපයත් ලහුතාදී එකාදසක කලාපයත් ලැබෙන්නාහ.
රූප වශයෙන් සළකන කල්හි කාම ලෝකයෙහි අටවිසි රූපයෝම ලැබෙත්.
රූපී බ්‍රහ්මයන්ට වනාහි රූප පසක් නොලැබේ. එනම්:-
- ඝාණ ප්‍රසාද රූපය
- ජිව්හා ප්‍රසාද රූපය
- කාය ප්‍රසාද රූපය
- ස්ත්‍රී භාව රූපය
- පුරුෂභාව රූපය
ඉතිරි තෙවිසි (23) රූපයෝ ලැබෙත්.
අසඤ්ඤසත්තයෙහි රූප එකොළොසක් නොලැබේ. එනම්:-
පසාද රූප පස 5
ශබ්ද රූපය 1
භාව රූපවය 2
විඤ්ඤත්ති රූපවය 2
හදය වස්තු රූපය 1
11
ඉතිරි රූප සතළොස ලැබේ. එනම්:-
ජීවිත නවකය 9
ලහුතාදි ත්‍රය 3
ලක්ෂණ රූප සතර 4
පරිච්ඡේද රූපය 1
17
අරූප ලෝකයන්හි කිසිදු රූපයක් නොලැබේ. ප්රතිසන්ධියේදී සියලුම සත්ත්වයන්ට නොලැබෙන රූප නවයකි. එනම්:-
ශබ්ද රූපය 1
විකාර රූප පස 5
සන්තති රූපය 1
ජරතා රූපය 1
අනිච්චතා රූපය 1
9 මව් කුසින් බිහිවන කාලයේදී විඤ්ඤත්තිවය හා ලහුතාදී ත්‍රය යන රූප පස ජාතිමත් වෘෂභයාය පශ්චිම භවික බෝධි සත්ත්වයෝය යන දෙදෙනා හැර අන් කිසි වෙකුට නොලැබෙන්නේයයි දක්වා තිබේ. මහ බෝසතාණෝ මව් කුසින් බිහිව මහපොලොවෙහි පිහිටීම හා සමග ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන රූපත්රය සහ කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන විඤ්ඤත්ති රූපවයද එකවිට පහලව උත්තර දිසාභිමුඛව සප්ත පද වීතිහාරයක් ගොස් “අග්ගො හමස්මි ලෝකස්ස” යනාදීන් අභීත සිංහනාද කළ සේක.
ගවයන් දහසකට නායකව උපදනා ගව ශ්රේෂ්ඨයාද එමෙනැයි දක්වා තිබේ.