නිර්වාණය
සතර පරමාර්ථ ධර්මයන් අතුරෙන් චිත්ත, චෛතසික රූප යන ත්‍රිවිධ පරමාර්ථයන් යට දක්වන ලදී. සතරවන පරමාර්ථ ධර්මය වූ නිර්වාණ පරමාර්ථය, එක් එක් සන්තානයක් පිළිබඳව සියළු සංස්කාර ධර්මයන් නැවත නූපදනා පරිදි සංසිඳීමෙන් පැමිණිය යුතු වූ ද, වේදයිත සුඛ හෙවත් සුඛ වේදනාවගේ වශයෙන් කායද්වාරයෙන් හෝ මනොද්වාරයෙන් හෝ විඳිය නොහැකි වූ ද, ඉතාම උසස් සැපය නම් වූ ව්‍යුපසම සුඛ සඞ්ඛ්‍යාත ලොකොත්තර ධර්මයකි.
දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛසමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධගාමිනි පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යන චතුස්සත්‍යයන් අතුරෙන්, දුක්ඛනිරොධ ආර්‍ය්‍ය සත්‍ය නම් වූ නිර්වාණ ධර්මය, සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර වැදෑරුම් ආර්‍ය්‍ය මාර්ගඥානයෙන් ම “සච්ඡිකාතබ්බ” හෙවත් ප්රත්යක්ෂ කිරීම් වශයෙන් පැමිණිය යුතු වූ, ළඟාවිය යුතු වූ ධර්මයක් මිස, අමුතුවෙන් ඉපදවිය යුතු වූ ධර්මයක් නොවේ. ඉතා ගැඹුරු වූ ද, දුකසේ අවබෝධ කටයුතු වූ ද, ශාන්ත වූ ද, ප්‍රණීත වූ ද, ධර්මශ්‍රවණයෙන් මුත් ස්වබුද්ධිමාත්ර තර්ක ශාස්ත්‍රයන්ගේ බලයෙන් දැනගත නොහැකි වූ ද, ධර්මාන්තර විභාග වශයෙන් ඉතා සියුම් වූ ද, මේ පරමාර්‍ත්‍ථ ධර්මය කල්‍යාණ පෘථග්ජනයන් විසින් අනුබෝධඥාන නම් වූ අනුමෙය බුද්ධියෙන්ම දැනගත යුතු වේ.
අනුබෝධඥානය, ප්රතිවේධඥානය යන දෙවදෑරුම් වූ සත්යඥානයන් අතුරෙන් අනුබෝධඥානය නම් පූර්වභාග ප්‍රතිපත්ති සමයෙහි බණ ඇසීම, ඇසූ බණ නුවණින් විමසීම යන ආදී වශයෙන් චතුස්සත්‍යය එක වරට නොව නානාක්ෂණිකව හෙවත් එකි එකී සත්‍යයෙහි එකි එකී වරට නොයෙක් ඇසිල්ලෙහි ලැබෙන්නාවූ ලෞකික වූ ඥානය යි. ප්‍රතිවේධ ඥානය නම් චතුස්සත්යයම එක ඇසිල්ලෙහි අවබෝධ කරන්නා වූ, සොවාන් ආදි සතර ආර්‍ය්‍ය මාර්ගයන් හා එක්ව යෙදුනාවූ, ලෝකෝත්තර වූ ඥානය වේ. එබැවින් නිර්වාණ ධර්මය කෙබඳු ධර්මයක් දැයි ස්වල්ප වශයෙන්වත් දැනගැනීමට කැමැති කල්‍යාණ පෘථග්ජනයන් විසින් මේ ආත්මභාවයේදීම ප්‍රතිවේධ ඥානය ලබාගැනීම කෙසේ වෙතත්, අනුබෝධ ඥානය වත් උපදවාගැනීමට උත්සාහ දැරිය යුතුයි.
චතුස්සත්‍යයන් පිළිබඳව ස්වල්පමාත්‍ර වූ ඥානයක් ඇතිකර ගැනීමට පළමුව, නාම රූප ධර්මයන් ගැන මනා අවබෝධයක් ඇතිකර ගතයුතු වේ නිර්වාණ ධර්මය, ඒ ඒ පුද්ගල සන්තානයන් හෙවත් පඤ්චස්කන්ධයන් හා මිශ්‍ර බවක් නැති නමුත්, ඒ හා පිළිබඳකම් ඇත්තක් බැවිනුත් නාම රූප ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයෙන් නිවණට පැමිණිය යුතු බැවිනුත්, දුක යයි ප්‍රකාශ කරණු ලබන්නේත් මේ නාමරූප ධර්ම සන්තතියට බැවිනුත්, දුක් ඉපැද්මට හේතුවන අවිද්‍යා තණ්හා, දිට්ඨි ආදී ක්ලේශයනුත් හටගන්නේ මේ නාමරූප ධර්මයන් පිළිබඳව බැවිනුත්, ඒ පිළිබඳව ඉතා පිරිසිදු දැනීමක් ඇතිකරගැනීම අවශ්‍ය වේ. එවැනි ධර්ම ඥානයක් නැති පුද්ගලයෙකුට නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීම කෙසේ වෙතත් ඒ ගැන තතු පහදා දීම ද අති දුෂ්කරය.
නිස්සරණට්ඨ නම් වූ භව දුක්ඛයෙන් නොහොත් සංසාර දුකින් නික්මීම ය, විවේකට්ඨ නම් වූ සමුදය සඞ්ඛ්‍යාත තෘෂ්ණාදි ක්ලේශයන් කෙරෙන් විවේකය හෙවත් වෙන් වූ බවය, අසඞ්ඛතට්ඨ නම් වූ ප්‍රත්‍යයෙන් හට නොගත් බවය, අමතට්ඨ නම් වූ මරණයක් නැති බවය යන සතර අර්ථ කෙනෙක් මේ දුක්ඛ නිරෝධය පිළිබඳව ඇත්තාහ. මේ සතර අර්ථයෝම තථය හෙවත් එම ස්වභාවම ඇත්තාහ. අවිතථය හෙවත් ඒ කී පරිද්දෙන් නොවන්නක් නොවන්නේය. සැබෑවය, නිබොරුය. අනඤ්ඤථය හෙවත් ඒ කී පරිද්දෙන් අන්‍ය වූ ආකාරයකින් නොවන්නේය.
නිර්වාණයාගේ, සසර දුකින් නික්මීම නම්වූ නිස්සර- ණාර්ථය දැනගනු කැමැති වූ ද, සංසාර දුකින් මිදෙනු කැමැති වූ ද, පුද්ගලයා විසින් සංසාරය පිළිබඳවත් එහි දුක පිළිබඳවත් මනා අවබෝධයක් ඇතිකරගත යුතු වේ.
සංසාරය යනු අනාදිමත් කාලයක සිට ජාතියෙන් ජාතියට මැරීම් ඉපදීම් වශයෙන් නැවත නැවත යාම හෙවත් මුලක් නැති කාලයක සිට ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙමින් නැවත නැවතත් සන්තතිය හෙවත් පරම්පරාව නොසිඳ උපදිමින්, කිසි කලෙක සහමුලින් සුන්වීමකට නොපැමිණ, පිරනිවන්පෑම දක්වා පැවත එන නාමරූපස්කන්ධයන්ගේ හෙවත් පස්වැදෑරුම් ස්කන්ධයන්ගේ සන්තතිය හෙවත් පරම්පරාව ය.
සතර නාමස්කන්ධ සඞ්ඛ්‍යාත වූ චිත්ත චෛතසික ධර්මයෝ එක් චිත්තක්ෂණයක් ඇතුළතම ඉපිද බිඳී යන ස්වභාව ඇත්තාහ. රූපස්කන්ධ සඞ්ඛ්‍යාත අටවිසි රූපයන් අතුරෙන් ඇතැම් රූපයෝ එක් කුඩා චිත්තක්ෂණයක් ඇතුළතද, ඇතැම් රූපයෝ කුඩා චිත්තක්ෂණ තුනක් ඇතුළතද, ඇතැම් රූපයෝ සතළොස් (17) චිත්තක්ෂණයක් ඇතුළතද ඉපිද පැවැත, බිඳී යන්නාහ. සතළොස් (17) චිත්තක්ෂණයකට වඩා ආයුෂය ඇති එකම රූප ධර්මයක් වත්, එක් චිත්තක්ෂණයකට වඩා ආයුෂය ඇති එකම නාම ධර්මයක්වත් නැත්තේය. මේ නාමරූප ධර්මයෝ ඔවුනොවුන් නොයෙක් ආකාරයෙන් බැඳී, සූවිසි වැදෑරුම් ප්‍රත්‍යයන්ගේ වශයෙන් ඔවුනොවුන්ට උපකාර වෙමින් පවතී. මෙසේ ක්ෂණ මාත්‍රයෙන් ඉපිද, සිට, බිඳී යන නාමරූප ධර්ම සමූහයාගේ සන්තතිය හෝ, පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ගේ සන්තතිය හෝ අටළොස් වැදෑරුම් නාමරූප ධාතූන්ගේ සන්තතිය හෝ දොළොස්වැදෑරුම් ආයතනයන්ගේ සන්තතිය හෝ වැල නොකැඩී, සහමුලින් නොසිඳී, ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙමින්, අනුක්රමයෙන් පැවැත එන පරම්පරාවන් බැවින් අනිත්‍යය. එහෙයින් භය එළවන බැවින් දුක්ඛය, ආත්මසාරාදියෙන් තොර හෙයින් අනාත්මය. මෙපරිද්දෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දක්නාවූ ද, ත්‍රිහේතුක ප්රතිසන්ධිය ඇති බව ය, බෝධිසම්භාරයන් පුරා මුහුකළ නුවණ ඇති බවය, දෙව් මිනිස් ආදී අත්බැවක් ලැබීමය, පෙර ආත්මභාවයන්හි දාන, සීලාදී පින්කම් කොට පුරුදු කරණලද සමථවිදර්ශනා භාවනා ඇති බවය, පරතොඝොෂ ප්‍රත්‍යය ලැබීමය යනාදි වශයෙන් ඉහාත්ම භාවයේදී නිවන් පසක් කරගැණීම සඳහා ඇතිවිය යුතු හේතු සම්පත් ආදියෙන් සම්පූර්ණ වූ පුද්ගලයා විසින්ම නිර්වාණ ධර්මය ප්රත්යක්ෂ කරණු මිස අන් ක්‍රමයකින් නිවන් පසක් කළ නොහැකි වේ.
කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා ආදි වශයෙන් දක්වන ලද්දාවූ නොහොත් පුනර්භවය හෙවත් නැවත නැවත සසරෙහි සත්ත්වයාගේ ඉපදීම ඇතිකරන්නා වූද, සතුටුවන නොහොත් ඇලෙන රාගය හා එකී භාවයට ගියාවූ ද, ඒ ඒ උපන් ආත්ම භාවයන්හි හෝ රූප ශබ්දාදී ආරම්මණයන්හි ඇලෙන්නාවූ ද, රැහැණකින් බඳින්නා සේ සත්ත්වයන් බඳින පඤ්චකාම ගුණික රාග සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ද භව ප්‍රාර්ථනා වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටිය සමග පැවති රූපාරූප රාග ධ්‍යාන නිකාන්ති සඞ්ඛ්‍යාත භවතෘෂ්ණාව ද, සත්ත්වයන් මරණයට පත්වූකල, ඉන්පසු උත්පත්තියක් නැත යන උච්ඡේද දෘෂ්ටිය සමග පවත්නා විභව තෘෂ්ණාවද යනාදි වශයෙන් දක්වන ලද සියළු තෘෂ්ණාවන්ගේ හා ඒ සමග හටගන්නාවූ අනිකුත් ක්ලේශ ධර්මයන්ගේ ද, භූමිලබ්ද ක්ලේශයන්ගේ ද සමුද්ඝාත වශයෙන් නිරවශේෂයෙන් මාර්ග සඞ්ඛ්‍යාත විරාගයෙන් යම් නිරුද්ධ කිරීමක් වේද, නොහොත් නිරවශේෂ ප්රහාණියක් හෝ නිරවශේෂ නිරෝධයක් හෝ අනුත්පාද නිරෝධයක් හෝ වේද, යම් ආලය ඇරීමක් වේ ද සර්වාකාරයෙන් ඉතිරියක් නොකොට ආලයාගේ දුරලීමක් වේද, ඒ ආලයාගේ මිදීමක් වේද, නොඇල්මක් වේ ද, එයට දුක්ඛ නිරෝධය හෙවත් පරමාර්ථ වශයෙන් නිර්වාණ යයි කියනු ලැබේ.
අසඞ්ඛත බව නිර්වාණයාගේ විශේෂ ලක්ෂණයකි. අසඞ්ඛත යනු ප්රත්යයකින් හට නොගත් බවය. ලෞකිකවූ, සියලුම ආධ්‍යාත්ම බාහිර සන්තානයන්හි හටගන්නා වූ නාම රූප ධර්ම වනාහි, අවිද්‍යාදි ප්‍රත්‍යයෙකින් හෝ ශිතෝෂ්ණ සඞ්ඛ්‍යාත සෘතු ප්රත්යයකින් හෝ හටගන්නා බැවින් සඞ්ඛතය. නිර්වාණ ධර්මයාගේ හටගැනීමට එවැනි ප්‍රත්‍යයක් උපකාර නොවන බැවින් අසඞ්ඛතය මෙසේ අසඞ්ඛත ධර්මයක් වන බැවින් නිර්වාණයට උත්පාදයක් හෝ ජරාවක් හෝ මරණයක් හෝ නැත්තේය අමතපද යයි කියනුයේ ඒ හෙයිනි.
තවද, නිර්වාණ ධර්මය, වේදනාදිය මෙන් හේතු ප්‍රත්‍යය සඞ්ඛ්‍යාත කාරණයන්ගේ එක්වීමෙන් නොනිපන් හෙයින් ද, යම් දිනෙක උත්පාද අවස්ථාවකින් නූපන් බැවින් ද, අජාතය. ඉබේම, කරුණු නැතිව නොනිපන් හෙයින් අභූතය. මෙසේ අජාත, අභූත වන හෙයින් යම් කාරණයකින් නොකළ හෙයින්ද, දෙව් බඹුන් ආදි යම් කිසි ඊශ්වරයෙකු විසින් නොමවනලද හෙයින් ද, අකෘතය. රූපාදි සඞ්ඛත ධර්මයන්ට මෙන් ජාත, භූත කෘත භාවය නැති හෙයින් ද, නොයෙක් හේතු ප්රත්යයන්ගෙන් පිළියෙළ නො කැරුණු හෙයින් ද අසඞ්ඛතය.
සංසිඳවීම නිරෝධයාගේ ප්‍රධාන ලක්ෂණය වේ. රාග දෝෂ මෝහාදි ක්ලේශයන් ක්ෂය කිරීමෙන් සියලු දුක් සංසිඳුවන්නේ ය. එහෙයින් වෙදනාවන් පමණක් නොව සියලුම සංස්කාර ධර්මයන් නැවත නූපදනා පරිදි සංසිඳීමෙන් ව්‍යුපසම සුඛ සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුවට පැමිණිය යුතු වේ. චුත නොවීම හෙවත් නොගිලිහෙන බව නිර්වාණයාගේ සම්පත්තියද, කෘත්‍යයද වේ. අවිකාරි බවද, වෙනස් නොවන බවද නිර්වාණයාගේ කෘත්‍යය වන්නේය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත නිමිත්තයෙන් වෙන්වූ බවද, රාගාදි නිමිති නැති බව ද, ශරීරයක් නැති බවද නිර්වාණයාගේ වැටහෙන ආකාරය වේ.
සතර ආර්‍ය්‍ය මාර්ගඥානයෙන්ම ප්රත්යක්ෂකිරීම් වශයෙන් අවබෝධ කළ යුතු මේ නිර්වාණ ධර්මය අනන්තය. පටන් ගැනීම් අවසන්වීම් ආදි වශයෙන් කෙළවර නැති හෙයින්ද නිර්වාණය අනන්තය. ඉන්ද්රිය බද්ධවූ ස්කන්ධ සන්තතීන් හෙවත් ලෝක ව්‍යවහාර වශයෙන් ඒ ඒ සත්ත්වයන් පිළිබඳවම නිවණ හෙවත් දුක්ඛ නිරෝධය වන බැවින් කොතෙක් දෙනා නිවණට පැමිණියත්, එයින් නිර්වාණයාගේ පිරීමක් හෝ අඩුවීමක් හෝ නොවන්නේය. සත්ත්ව විෂය අප්‍රමාණ බැවින් අසුවල් දිශාවෙහි හෝ අසුවල් ප්‍රදේශයෙහි තිබේ යයි හෝ නියම කිරීම් වශයෙන් නොදැක්විය හැකි බැවින් නිවණ අප්‍රමාණද වේ.
ගිනි ඒකාන්තයෙන්ම ඇත්තාවූම හෙවත් විද්‍යමානවූ වස්තුවකි. නමුත් අසුවල් දිශාවෙහි හෝ අසුවල් දේශයෙහි හෝ තිබේයයි කියනොහැකිය. ගිනි හටගන්වන යම් යම් මාර්ග ඇත්නම්, ඒ ඒ මගින් ඇත්තාවූම ගින්න ප්‍රකාශයට පැමිණෙන්නේ ය. එමෙන්ම, සත්ත්ව සන්තානයෙහි ශීල සමාධි ප්‍රඥා ආදිය වැඩීම් වශයෙන්, මධ්‍යම ප්‍රතිපදායෙන් නිත්‍යයෙන් විද්‍යමානවූම නිර්වාණයට ප්රත්යක්ෂ කිරීම් වශයෙන් පැමිණෙනු මිස, අමුතුවෙන් ඉපැද්විය යුත්තක් නොවන්නේ ය. සෑමතන්හි පවත්නා ගිනි එකම ගින්න මුත්, වෙන වෙන ගිනියයි නොකිය යුතුවාක් මෙන්, කොපමණ දෙනා නිවන් පසක් කළත්, ඒ පසක් කරණු ලබන්නේ නොයෙක් නිවන් නොව එකම නිවණ යයි කිව යුතු යි.
මේ නිර්වාණ ධර්මය, අති සූක්ෂම වූ ව්යූපසම සඞ්ඛ්‍යාත සුඛත්වයකි. අනුන්ගෙන් අසාගත් පමණකින් එහි තත්ත්වය නොදත හැකිවේ. තමා විසින්ම, තමාගේ නුවණැසින්ම දැක්කයුතු වූ ද, සාන්දෂ්ටික ධර්මයකි. ලෞකික පෘථග්ජනයාහට ස්වකීය ඥානයෙන් නිවණෙහි තතු දැක ගැනීම ඉතා දුෂ්කරය. එබැවින් නිර්වාණය අනිදස්සනය.
සෑම කර්මස්ථාන මාර්ගයකින්ම නිවණට පැමිණිය හැකි බැවින් හැම පැත්තෙන්ම පැමිණීමට තොට ඇතියයි කියන ලදි.
ලෝකයෙහි ඇතිවන්නාවූ පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයෝ එහි නැත. එහෙයින් උපාදාය රූපයන්ද නැත්තේමය භූතොපාදාය රූපයන් විසින් සකස් කරණු ලබන, දික්වූද, කෙටිවූද, කුඩාවූද, මහත්වූද, සුභවූද, අසුභවූද වස්තුහු එහි නැත. ශීල, සමාධි, ප්‍රඥා ආදිය වැඩීම් වශයෙන් මධ්‍යම ප්රතිපදායෙන්ම එයට පැමිණ, සංසාර සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධ සන්තානය නම් වූ නාම රූප දෙකම ඉතිරි නැතිවම නිරුද්ධ කරණු ලබන්නේය. දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, පටිච්ඡන්න දුක්ඛය, අපටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිප්පරියාය දුක්ඛය යනාදි වශයෙන් දක්වන ලද්දාවූ සියලු දුක් විඳින්නාවූ නාමස්කන්ධසන්තතිය හෙවත් අනාදීමත් කාලයක් සිඳි සිඳි බිඳි බිඳී, වැල නොකැඩි පැවත ආ චිත්ත පරමපරාවන්ගේ අන්තිම විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නිවනට පැමිණ අනුපාදිශේෂ වශයෙන් ඉතිරියක් නැතිවම නාම රූප සියල්ලම නිරුද්ධ වන්නේය.
නිර්වාණය අසම්මිශ්රය. නාමරූපයන් එකිනෙකට බැඳි මිශ්‍ර භාවයෙන් පවත්නාක් මෙන්, නිර්වාණයාගේ, ඔවුන් හා මිශ්රභාවයක් නැත. මෙසේ ස්කන්ධ සන්තානය හා මිශ්රභාවයක් නැතත්, හුදකලාවම ඇතත්, ස්කන්ධ සන්තානය හා පිළිබඳ කම් ඇත්තක්ව, පඤ්චස්කන්ධය ඇසුරුකොටගෙනම ඇත්තේය. එසේ දක්වන ලද්දේ යෝගාවචරයා විසින් මධ්‍යම ප්‍රතිපදායෙන් රහත් බවට පැමිණ, මේ ස්කන්ධ සන්තානය නම් වූ සංසාරයෙන් මිදී ඒ කේවල ධර්ම මාත්‍රය වී එයින් සංසාර මුක්තිය ලබා ගන්නා හෙයිනි. රහත් බවට පැමිණීමත් සමඟම, ක්ෂය කළ ආශ්‍රව ඇති හෙයින් ක්ෂිණාශ්රව නම්වූ ඒ ආර්‍ය්‍යයන් වහන්සේ, සඋපාදිසෙස වශයෙන්ද පිරිනිවීමෙන් හෙවත් කායයාගේ හෙදයෙන් අනූපාදිසෙස වශයෙන්ද නිවණට පැමිණෙන්නේ ය, හෙවත් ධර්මස්ථ වන්නේය. නැවතත් දෙව බ්‍රහ්මාදි සත්ත්ව සඞ්ඛ්‍යාවට කිසි කලෙකත් නො පැමිණෙන්නේය.
සත්ත්වයායයි පරමාර්‍ත්‍ථ වශයෙන් කිවයුතු යම්කිසිවක් ලෝකයේ අවිද්‍යමානය. රූප ශබ්දාදි කාමයන් අරමුණු කොටගෙන සත්ත්වයෝ දුක් සැප විඳින්නාහු යයි කී කල්හි සත්‍ය වශයෙන් එසේ විඳින පුද්ගලයෙක් හෝ සත්ත්වයෙක් හෝ නැත්තේම ය. රූපයක් අරමුණු කොටගෙන චක්ෂුර් විඥානය උපදී. පරමාර්‍ත්‍ථ වශයෙන් රූපය යනු යම්කිසි ප්රත්යයකින් හටගෙන චිත්තක්ෂණ සතළොසකින් (17) නිරුද්ධ වන්නාවූ රූප කලාපයකට අයත් වර්ණ රූපයකි. චක්ෂුර් විඥානය යනු රූප දක්නා එක්තරා සිතකි. එයද ප්රත්යයකින් හටගත් නාම ධර්මයකි. එහි ආයුෂය රූපයාගේ ආයුෂයෙන් සතළොසකින් (17) එක් කොටසකි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපිද බිඳී යන නාම ධර්ම පරම්පරාවට අයත් එක් ධර්මයකි. ඒ සිත උපදින්නේ චක්ෂු ප්‍රසාද වස්තුව ඇසුරුකොට ගෙණය. චක්ෂු ප්‍රසාද වස්තුවද, සතර ප්රත්යයෙන්ම හටගත් රූප කලාප පරම්පරා සමූහයකින් පිරිවරණ ලද්දාවූ සතළොස් (17) චිත්තක්ෂණයකට වඩා ආයුෂය නොවළඳන්නාවූ රූප ධර්මයකි. දුක්වූ හෝ සැපවූ හෝ විඳීම නම්, අරමුණු රසය විඳින්නාවූ ඒ සිත හා එක්ව උපන් වේදනා චෛතසිකය වේ. එයද එක් චිත්තක්ෂණයක් ආයු වළඳා සිතත් සමඟම එක ක්ෂණිකව නිරුද්ධ වන්නේය. මේ හැර දුක් හෝ සැප හෝ විඳින්නාවූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ කොතැන්හිවත් විද්‍යමාන නො වේ. මෙසේ ක්ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වන්නාවූ, නිත්‍ය නොවූ වස්තුවක හෝ ධර්මයක නිත්‍ය වූ සැපතක් ඇති නොවන්නේ ය. ඒ සන්තානයෙහි ඇතිවන්නේ ඒකාන්තයෙන්ම දුක්මය. කාරකයෙක් හෝ වේදකයෙක් හෝ අවිද්‍යමානය. නාම රූප ධර්මයන්ගේ විකාර ස්වභාවයක් මිස අන් කිසිවක් නැත. නමුත් ක්‍රියාවක්ද දුකක්ද ඇත්තේමය.
භවයෙක්හි ඉපදීම හෙවත් ස්කන්ධයන් ගේ පහළවීම දුකය. උපන්නාවූ ස්කන්ධ සන්තානයෙහි හටගන්නේත් දුක්මය. අධ්‍යාත්ම බාහිර සන්තාන වශයෙන් ගත්කල්හිද දුක්මය. ජරා, ව්‍යාධි මරණාදි අනේකවිධ දුක්ඛයන්ට භාජනවන්නේත් ස්කන්ධ පඤ්චකයෝමය. භවයෙන් භවයට පැමිණීමේදී හටගන්නේත් දුක් උපදවන්නාවූ ස්කන්ධයෝමය. මේ ස්කන්ධයන්ගෙන් යම් මිදීමක් වේද ස්කන්ධ පරම්පරාවන්ගේ නැවත හටගැනීමක් නොවන්නේද, එකල්හි දුක්ඛයන්ගෙන් මිදීමක් වන්නේය. දුක්ඛයන්ගේ නැවත හටගැනීමක් නොවන්නේය. යම් කලෙක මේ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයක් වේද, එයම දුක් සංසිඳීමෙන් පැමිණෙන ව්‍යපසම සුඛය වන්නේය. නැවත දුක්ඛස්කන්ධයන්ගේ හටගැනීමක් කවර කලෙකවත් නොවන්නේද, එහෙයින්ම දුක් සන්සිඳීමෙන් පැමිණෙන ශාන්ත සුඛය කවර කලෙකවත් නැති නොවන්නේය. දුක්ඛ ස්කන්ධයෝ නැතිකල්හි ජාති ජරා මරණාදියක් නැති හෙයින් ව්‍යපසම සුඛත්වයෙහි ජාති ජරා මරණාදියක් ද නැත්තේය. එබැවින් එක් එක් සන්තානයක් පිළිබඳවූ යම්තාක් අතීතවූද, වර්තමානවූද, දුක්ඛස්කන්ධයන්ගේ යම් අශේෂ නිරෝධයෙක් වේද, හෙවත් නැවත ඒ සන්තානයෙහි නූපදනා පරිද්දෙන් නිරුද්ධ කිරීමක් වේද, එය නිවණට පැමිණීම යයි දත යුතුයි.
නිර්වාණ ධාතුවෙහි පඨවි ආදි රූප ධර්මයක් හෝ විඤ්ඤාණාදී නාම ධර්මයක් හෝ නැත. රූප ධර්ම නිරුද්ධවී විඤ්ඤාණය පමණක් ඉතුරු වී නම්, වේදනාව සිත හා එක්ව උපදනා චෛතසිකයක් බැවින්, වේදනාව ඉතිරි වන්නේය. එකල්හි නාම රූප ධර්මයන්ගේ අශේෂ නිරෝධයක් නොවන්නේය. එයට නිර්වාණ යයි කියයුතු නොවේ. සියලු දුකින් මිදීමක් නොවන හෙයිනි. එබැවින් විඤ්ඤාණයන් සහිතවූ සියලුම නාම රූප ධර්මයන්ගේ නිරෝධය නිර්වාණය නම් වන්නේය. එක් එක් සන්තානයක් පිළිබඳව මෙසේ ඇතිවන්නාවූ දුක්ඛ නිරෝධය හෙවත් ස්කන්ධයන්ගේ අභාවය ඇති කල්හි ඇසින් තබා අන් මගෙකින්වත් දැකිය හැකි වස්තුවක් නැත්තේය. අනාදිමත් කාලයක සිට පැවත ආ ස්කන්ධ සන්තතීන්ගේ අභාවයම ප්‍රකට වන්නේය. එබැවින් නිර්වාණයෙහි ශූන්‍ය බවෙක් දක්වන්නේ නම්, සසර පහළ කරවන ස්කන්ධයන්ගෙන්ද සියලු සංසාර දුක්ඛයන්ගෙන්ද, විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ සඞ්ඛ්‍යාත සියලු වේදයිත සුඛයන්ගෙන්ද ශූන්‍ය බවම කිවයුතුවේ. එහෙයින්ම, නිර්වාණ ධර්මය නිත්යවූද, ශාන්තවූද, විඳීමක් නැත්තාවූද, ජාති ජරා මරණාදියෙන් මිදීම් සඞ්ඛ්‍යාත පරම සුඛත්වයක් බවම ප්‍රකට වන්නේය.
වෙදයිත සුඛය නම්වූ විඳින සැපය, විඳිනු ලබන්නාවූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ පරමාර්‍ත්‍ථ වශයෙන් නැත්තේ වී නම් නොවිඳින්නාවූ ව්‍යුපසම සුඛය විඳින්නෙක් කෙසේ සොයාගත හැකිද? නොහැක්කේමය.
ලෝකය හා සම්බන්ධවූ හෙවත් ලෝකයට අයත් නාම රූප ස්කන්ධාදියක් නැතිවූද, ඇසින් නො දත හැකිවූ ද නවීන විද්‍ය ශාස්ත්‍ර තර්ක ආදීන්ගේ උපකාරයෙන් සොයාගත නො හැකිවූද, විඳින්නාවූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැති හෙයින්ද අන්මගෙකින් හෝ එහි තතු ප්‍රකාශ කළ නොහැකි හෙයින් නිවණ කිසිවක් නැති හිස් දෙයක් දෝහෝයි ධර්මය නොවැටහුණු පෘථග්ජනයන් හට සැක උපදින්නේමය.
නිර්වාණ ධර්මය තර්කානුසාරයෙන් හෙවත් තර්කයෙන් විවේචනය කොට තීරණයකට පැමිණිය හැකි දෙයක් නොවන නිසා “අතර්කාවචර” යයි දේශනා කොට තිබේ. තර්ක ශාස්ත්‍රාදිය වනාහි ලෝකයෙහි යම් යම් අර්ත්ථයන් මැන තීරණය කරගැනීමට විද්‍යාඥයින් විසින් උපදවා ගන්නාලද උපකරණයෙකි. එයිනුදු සෑම ලෞකික දෙයක් වුවත් මැනගත නොහැකි වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදීහු ඇස්, කන්, නාස, දිව කය යන ඉන්ද්රියයන් විසින්ම දැනගත යුතු වේ. රූපයන් ඇස්වලින් මිස දිවකන් නාසාදියෙන් නොදත හැකි වේ. කවර කලෙකවත් රූප නුදුටු ජාති අන්ධයාහට රූපයන් පිළිබඳව කොපමණ විස්තර කළත්, ඒ රූපයන්ගේ සැටි ඔහට කිසිලෙසකින් වත් වටහාගත නොහැකි වේ. එයට පෙර ස්වල්ප වශයෙන්වත් රූප දැක පුරුද්දක් ඇති පුද්ගල යෙකුට නම්, ඒ අනුව ස්වල්පමාත්‍ර දැනීමක් ලබාගැනීමට හැකි වන්නේය. මෙසේ ලෞකික වූ බොහෝ අර්ත්ථයන් ලෞකික තර්කශාස්ත්රානුසාරයෙන් වටහාගත නොහැකිනම්, මේ ලෝකයට අයත් නැති ලෝකොත්තර ධර්මයක් වූ නිර්වාණ ධර්මය ඒ මගින් කිසිසේත් වටහාගත හැකි නොවේමය. ඒ ලෝකෝත්තරවූ නිර්වාණ ධර්මය, ලෝකෝත්තරවූ ප්‍රඥා චක්ෂුසින් තම තමන් විසින්ම ප්රත්යක්ෂ වශයෙන් දැන තීරණය කටයුතු වේ, නාම රූප ආදී ස්කන්ධයෝද, ඇසින් දත හැකි සියලු වස්තූන්ද, නවීන විද්‍යා ශාස්ත්රයන්ට ගොදුරුවන්නාවූ සෑම දෙයක්ද, සියලු වේදනාවෝද සඞ්ඛත ධර්ම වනහෙයින් අනිත්‍යය, දුකය, අනාත්මය යනාදි වශයෙන් ප්‍රතිවේධ ඥානයකින් අවබෝධ කර නොගෙන නිර්වාණයාගේ තත්වය වටහාගත නොහැකිවේ එබැවින් නිර්වාණය කෙබඳු ධර්මයක්දැයි දැනගැනීමට කැමැති සැදැහැතියන් විසින් තර්කශාස්ත්රාදිය පසෙක තබා පළමුකොට නාම රූප ධර්මයන් පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත යුතු වේ.
එපමණක් නොව ලෝකයෙහි නුවණැතියන් ආගම සිද්ධිය, න්‍යාය සිද්ධිය, අනුමාන සිද්ධිය යන ක්‍රමයෙන්ද, නිවන් ඇති බව අවබෝධ කරගැනීමට උත්සාහ දරත්.
ආගම සිද්ධි යනු බුදුරජාණන් වහන්සේ විසින්ද, නිවන් පසක් කළ ආර්‍ය්‍යයන් වහන්සේලා විසින්ද, නිර්වාණය ඒකාන්තයෙන්ම විද්‍යමාන ධර්මයක් වශයෙන් නොයෙක්වර නොයෙක් තන්හි දක්වා වදාළ හෙයින් අවිවාදයෙන් පිළිගත යුතුයයි තීරණයකට පැමිණීමය.
න්‍යාය සිද්ධි යනු යුක්ති දැක්වීමෙන් හෙවත් නිවන් නම් වූ ධර්මයක් නැත්නම් සතර මාර්ගයන් හා සතර ඵලයන්ද නැත්තේය සතර මාර්ග ඵලයෝ නැත්නම් ආර්‍ය්‍යයෝ ද නැත නමුත් නිවන් අවබෝධකළ බුදු පසේ බුදු මහරහත්හු ඇතිබවට නොයෙක් කරුණු ඉතිහාසාදියෙන් මනාකොට දැක්විය හැකි බැවින්ද නිවන විද්‍යමාන ධර්මයක් යයි තීරණයකට පැමිණීමය
අනුමාන සිද්ධි යනු තම තමන් විසින් ප්රත්යක්ෂ වශයෙන් දත් දෙයකට සමාන කොට බලා, ප්රත්යක්ෂ නොකළ දෙය සම්බන්ධව තීරණයකට පැමිණීමය. දුක් ඇති කල්හි දුකට ප්රතිපක්ෂවූ සැපතක් ද ඇතිවිය යුතුය. අඳුර ඇති කල්හි, එයට ප්රතිපක්ෂවූ ආලෝකයක් ද ඇතිවිය යුතුය. එමෙන්ම ජාති, ජරා, මරණාදියෙන් සකස්වූ සසරක් ඇත්නම් එයට හාත්පසින්ම ප්රතිපක්ෂවූ, ජාති, ජරා, මරණාදියක් නැති නිවණකුත් ඇතිවිය යුතුය, යන ආදි ක්‍රමයෙන් නිර්වාණය හිස් දෙයක් නොව විද්‍යමානවූ ශාන්ත සුඛ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ධර්මයක්ම බව අනුබෝධ ඥානයෙන් වටහා ගන්නේය.
නිර්වාණ ධර්මය සාන්ති ලක්ෂණයෙන් එකක්වුවද, එයට පැමිණීමේ ආකාර වශයෙන් දෙයාකාර වේ. එනම්.
- සෝපාදිසෙස නිර්වාණ ධාතුව
- අනුපාදිසෙස නිර්වාණ ධාතුව
1. සෝපාදිසෙස නිර්වාණ ධාතුව. තණ්හා දිට්ඨි ආදි වශයෙන් දැඩිකොට අල්වාගනු ලබන්නේය යන අර්ත්ථයෙන් උපාදි නම් වූ පඤ්චස්කන්ධය ශේෂ කොට හෝ උපාදිය නිරව ශේෂ නොකොට හෝ කර්මක්ලේශ ප්‍රහීණ කිරීම සෝපාදිසෙස නිර්වාණ ධාතුවට පැමිණීම වේ. අර්හත් ඵලස්ථ ආර්‍ය්‍යයන් වහන්සේයි මෙයට ක්ලේශ පරිනිර්වාණය යයි ද, දිට්ඨ ධම්ම නිබ්බාණ යයි ද කියනු ලැබේ.
2. අනුපාදිසෙස නිර්වාණ ධාතුව. උපාදි නම් වූ නාම රූප ස්කන්ධයන් ගේ නිරෝධයෙන් හෙවත් රහතන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනුපාදිසෙස නිර්වාණ ධාතුවට පැමිණෙන්නේය. ක්ලේශ ප්‍රහීණයෙන් පසු ඉතිරිව තිබූ සියලු ස්කන්ධයෝ ද නිරුද්ධ වූහ. සංසාර මුක්තිය හෙවත් සසරින් මිදීම සම්පූර්ණ විය මෙයට ස්කන්ධ පරිනිර්වාණය යයි ද, සම්පරායික නිබ්බාණ යයි ද කියන ලදී.
තවද නිර්වාණ ධාතුවට පැමිණීමේ ක්‍රම වශයෙන් නිර්වාණය ත්‍රිවිධ වේ.
- සුඤ්ඤත නිර්වාණ ධාතුව
- අනිමිත්ත නිර්වාණ ධාතුව
- අප්පණීහිත නිර්වාණ ධාතුව
මාර්ගඵලාධිගමයට පූර්වයෙහි විදර්ශනා වඩන්නාවූ පුද්ගලයාගේ විදර්ශනාඥානයන් මස්තකප්රාප්ත වන කල්හි, ඕහට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්රිලක්ෂණයන් අතුරෙන් එක් ලක්ෂණයක් අනිකුත් ලක්ෂණ වයට වඩා ප්රකටව වැටහීමෙන් නිර්වාණාවබෝධය වන්නේය.
1. සුඤ්ඤත නිර්වාණ ධාතුව. මාර්ග චිත්ත වීථියෙහි උපදනා පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්රභූ සඞ්ඛ්‍යාත වූ පූර්වභාග ප්රතිපදාවන් අතුරෙන් අනුලොම චිත්තයට, නිර්වාණ ධර්මය, ආරම්මණ වශයෙන් ද, සම්ප්‍රයෝග වශයෙන් ද රාග, ද්වේෂ. මොහාදීන්ගෙන් සූන්‍ය බව හෙවත් නිර්වාණය, සියලු කෙලෙසුන්ගෙන් හිස්වූ බවද ප්රකටව වැටහෙන්නේය. සඞ්ඛත ධර්මයන් විසින් සත්ත්ව සන්තානය නිතර පෙළන බවත්, ශාන්ත සුඛය වළක්වන බවත්, නිර්වාණ ධර්මය අසඞ්ඛත බවත්, එබඳු පලිබෝධයන්ගෙන් සූන්‍ය බවත් අවබෝධ වන්නේය. එකල්හි ඕහට සියලු සංස්කාර ධර්මයන්ගේ සූන්‍ය බව වැටහීමෙන් අනාත්ම ලක්ෂණය හෙවත් ආත්මය යයි ගැනීමට කිසිවක් නැතැයි වැටහි නිර්වාණාවබෝධය වන්නේය. එවිට ඒ අනුලොම චිත්තය හා එක්ව යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය සුඤ්ඤතානුපස්සනාවිමොක්ෂ මුඛය කියාද, එම චිත්තවීථියෙහි උපන් මාර්ගයට සුඤ්ඤත මාර්ගය යයි ද, එයට අනතුරු උපදනා ඵලයට සුඤ්ඤත ඵලය යයි ද, ඒ මාර්ගඵලයන්ට අරමුණු වන්නාවූ නිර්වාණයට සුඤ්ඤත නිර්වාණය යයි ද කියනු ලැබේ.
2. අනිමිත්ත නිර්වාණ ධාතුව. මාර්ග චිත්ත වීථියෙහි පහළවන්නාවූ අනුලොම චිත්තයට නිර්වාණය, රාගාදී නිමිති රහිත බව ප්රකටව වැටහෙන කල්හි හෙවත් සඞ්ඛත ධර්මයෝ නිමිත්ත සහිතය. සංසාරයාගේ පැවැත්මට නොහොත් ජාතියෙන් ජාතියට ඉපදීම් මැරීම් වශයෙන් පැමිණවීමට මුල් වන රාගාදි ක්ලේශයන්ට ද, ජරා මරණාදීන්ට ද, සියලු දුක්ඛයන්ට ද වස්තු වන්නේය. අනිත්‍ය වූ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට මුල් වූ රාගාදි නිමිත්ත රහිත බැවින් නිර්වාණය සාන්තය, යනාදී වශයෙන් අනිත්‍ය ලක්ෂණය ද, නිර්වාණය නිමිත්ත රහිත බවද, වැටහෙන්නාවූ අනුලෝම සිත හා එක්ව යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය අනිමිත්තානුපස්සනා විමොක්ෂ මුඛය යයි ද එයට අනතුරුව පහළවන මාර්ග ඵලයන්ට අනිමිත්ත මාර්ගය හා අනිමිත්ත ඵලය යයි ද ඒ මාර්ග ඵලයන්ට අරමුණු වන්නාවූ නිර්වාණය අනිමිත්ත නිර්වාණය යයි ද කියනු ලැබේ.
- අප්පණිහිත නිර්වාණ ධාතුව මාර්ග චිත්ත වීථියෙහි පහළ වන්නාවූ අනුලෝම සිත්වලට දුක්ඛ ලක්ෂණය ප්රකටව වැටහෙන කල්හි, සඞ්ඛත ධර්මයෝ ප්‍රණිධි හෙවත් ප්‍රාර්ථනා සහිතය. සසර වසනතාක් දෙව් මිනිස් දෙගතියෙහි සැප පමණක් නොව අපා දුකට ද පත්වන්නේය. මේ සියල්ලටම හේතු වන්නේ තෘෂ්ණා ප්‍රණිධිය ය. නිර්වාණ ධර්මය එවැනි ප්‍රණිධි රහිතය රාගා දීන් කෙරෙන් මිදුණේද වේ. සියලු දුක් සංසිඳුවන බැවින් නිර්වාණය අප්පණිහිතය යයි මෙසේ වැටහෙන්නේය. එකල්හි එම අනුලෝම චිත්තය හා එක්ව යෙදුනාවූ ප්‍රඥා චෛතසිකයට අප්පණිහිතානුපස්සනා විමොක්ෂ මුඛය යයි ද, එයට අනතුරුව උපදනා මාර්ග ඵලයන්ට අප්පණිහිත මාර්ගය සහ අප්පණිහිත ඵලය යයි ද ඒ මාර්ගඵලයන්ට අරමුණු වන්නාවූ නිර්වාණයට අප්පණිහිත නිර්වාණ ධාතුව යයි ද කියනු ලැබේ.
අනාදිමත් කාලයක් මුලුල්ලෙහි පරම්පරාව නොසිඳී පැවත එන, එක් එක් සන්තානයක් පිළිබඳ වූ නාමරූප සන්තතීන්ගේ හෙවත් දුක්ඛස්කන්ධයන්ගේ නිරෝධය නම්වූ නිවණට පැමිණීම එක් වරකින් නොව පස්වරකින් සිදු වන්නේය.
පළමුවරට නිවණට පැමිණීම වන්නේ සෝවාන් මාර්ගාවස්ථාවේ දී ය. සෝවාන් මාර්ගයට පැමිණීමත් සමඟම මතු සතර අපායෙහි පහළකරවන ස්කන්ධයෝද සත්වරකට මතුයෙහි කාමසුගතියෙහි උපදින්නට තිබෙන ස්කන්ධයෝද අනුත්පාද වශයෙන් නිරුද්ධ වන්නාහ. එබැවින් සතර අපයෙහි ඉපදීමත් කාම සුගතියෙහි සත්වරකට වඩා ඉපදීමත් නොවන්නේය. මෙසේ ආර්ය භාවයට නො පැමිණ පෘථග්ජන භාවයෙහිම සිටින පුද්ගල සන්තාන යක සුගති දුගති දෙක්හි ඉපදවිය හැකි ස්කන්ධ සමූහයා හා සසඳා බලන කල්හි අති විශාල ස්කන්ධ සඞ්ඛ්‍යාවක් පළමුවරට නිවනට පැමිණීමේදීම නිරුද්ධ වූ බව ප්රත්යක්ෂ වේ. ඒ ආර්ය පුද්ගල සන්තානයෙහි ඉතිරිව ඇත්තේ කාම සුගතියෙහි සත්වරකට නොවැඩි කාලයක් ඉපිදවිය හැකි ස්කන්ධයෝ පමණය.
දෙවෙනි වරට නිවණට පැමිණීම වන්නේ සකෘදාගාමි මාර්ගාවස්ථාවේදීය. සකෘදාගාමි මාර්ගයට පැමිණීමත් සමඟම ජාති සතකට සීමාවී තිබූ ස්කන්ධයන්ගෙන් එක් භවයකදී ඉපිද විය හැකි ස්කන්ධයෝ හැර අනිකුත් ජාති සයකට අයත් ස්කන්ධ සමූහයෝද නිරුද්ධ වන්නාහ. එබැවින් මතු මාර්ගඵලයන්ට නොපැමිණියේ නම් එක් වරකට වඩා කාම සුගතියෙහි උත්පත්තියක් නොවන්නේය.
තුන්වෙනි වරට නිවනට පැමිණීම වන්නේ අනාගාමි මාර්ගාවස්ථාවේදීය. අනාගාමි මාර්ගයට පැමිණීමත් සමඟම කාමභවයෙහි එක්වරකට සීමාවූ ස්කන්ධයෝ ද නිරුද්ධ වන්නාහ. හෙතෙමේ, අර්හත් ඵලයට නොපැමිණියේ නම් මරණින් මතු කාම භවයෙන් මිදී සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි ඉපිද එහිදී රහත්ව පිරිනිවීම වන්නේය.
සතරවන වරට නිවණට පැමිණීම වන්නේ අර්හත් මාර්ගාවස්ථාවේදීය. රහත්වීමත් සමඟම රූපාරූප භවයන්හි පහළ වීමට තිබූ ස්කන්ධයෝ ද නිරුද්ධ වන්නාහ. එබැවින් ඒ අත්බැවෙන් පසු මතු භවයක් උපදවන්නට ස්කන්ධයෝ නැති හෙයින් අනාගත භවයක පහළවීමක් නොවන්නේය. ඒ සන්තානයෙහි ඉතිරිව ඇත්තේ අතීත හේතුවෙන් හටගත්තාවූ වර්තමාන භවයට අයත් ස්කන්ධයෝ පමණය. සෝපාදිසෙස නිර්වාණධාතුවට පැමිණියේද වේ.
පස්වනවරට නිවණට පැමිණීම වන්නේ රහතන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයේදීය. එතැන්හිදී ශේෂව තිබූ වර්තමාන භවයට අයත් සියළුම ස්කන්ධයෝ නිරුද්ධ වන්නාහ. අනුපාදිසෙස නිර්වාණ ධාතුවට පැමිණියේ වේ.
රහතන්වහන්සේ, ස්කන්ධ පරිනිර්වාණයට පෙර කෙළ ලක්ෂ ගණන් සමාපත්තීන්ට සමවැද ඉක්බිතිව පහළ වන්නාවූ කාමාවචර ක්‍රියා ජවනයන්ගෙන් යුත් මරණාසන්න චිත්ත වීථියේ කෙළවරදී පිරිනිවන් පානසේක. ඒ අවසාන චිත්ත වීථිය, තදාරම්මණ භවඞ්ගයට අනතුරුව චුතිය වන මනොද්වාරික චිත්ත වීථියක් වේ නම්, භවඞ්ග චලන, භවඞ්ගුපච්ඡේද, මනොද්වාරාවජ්ජනය යන සිත්වලට අනතුරුව, ත්‍රෛභූමික සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී වශයෙන් ගනුලබන අරමුණෙහි එල්බගෙන පහළවන්නාවූ කාමාවචර ක්‍රියා ජවන් සිතක් පිළිවෙලින් පස්වරක් ඉපිද නිරුද්ධවූ කල්හි, එයට අනතුරුව පහළ වන්නාවූ තදාරම්මණ දෙසිතෙන් පසු චුති චිත්තය පහළ වන්නේය. මතුභවය පහළකරවන්නාවූ ප්රතිසන්ධි බීජයන්ගේ ක්ෂය කිරීම, අර්හත් මාර්ග ඥානයෙන් සිදුවූ බැවින් චුති චිත්තයට අනතුරුව නොරහත් පුද්ගල සන්තාන යන්හි පහළවන්නාවූ පටිසන්ධි චිත්තය, රහතන් වහන්සේගේ චුති චිත්තයට අනතුරුව පහළ නොවන්නේය. චුති චිත්තයාගේ නිරුද්ධය හා සමඟම සසර පැවත ආවාවූ ඒ සන්තානය පිළිබඳවූ සියලු නාම රූප සන්තතීන්ගේ නිරුද්ධය සිදුවූ බැවින් දුක්ඛනිරෝධ නම්වූ නිර්වාණ ධාතුවට පැමිණ, ජාති, ජරා, මරණාදියක් නැත්තාවූ ශාන්තවූ ව්‍යුපසම සඞ්ඛ්‍යාත නිත්‍ය සැපතට පත් වන්නේය.