අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආහාර සමුට්ඨාන රූප

ආහාරය යනු ඕජා රූපයට නමෙකි. ඕජාව අටවැනි කොට ඇති රූපාදීහු එළවත්නුයි ආහාර නම්වේ. කබලී- කාරාහාරය, ඵස්සාහාරය, මනොසඤ්චෙතනාහාරය, විඤ්ඤාණාහාරය, යන චතුර්විධ ආහාරයන් අතුරෙන් කබලීකාරාහාරය ඕජට්ඨමක රූප උපදවන රූප ධර්මයකි.

කම්ම, චිත්ත, සෘතු, ආහාර, යන සතර ප්‍රත්‍යයෙන්ම උපදවනු ලබන සෑම රූප කලාපයකම ඕජා රූපය ඇත්තේය.

මේ ඕජාව

  1. අධ්‍යාත්මගත ඕජාය
  2. බාහිරගත ඕජායයි විවිධ වේ

සත්ත්ව සන්තානය පිළිබඳ වූ කර්ම සමුට්ඨානාදි වශයෙන් චතුර්විධ වූ රූප කලාපයන්ට ඇතුළත් ඕජා රූපය අධ්‍යාත්මගත ඕජා නම් වේ.

අසිත, පීත, ඛායිත, සායිත වශයෙන් චතුර්විධ වූ සෘතුජ රූප කලාපයන්ටම ඇතුළත් ඕජා රූපය බාහිරගත ඕජා නම් වේ.

ඕජාව රූප ධර්මයක් බැවින්, එහි බලවත් වූ ස්ථිතික්‍ෂණ යේදී මිස, උප්පාද, භඞ්ග යන ක්‍ෂණද්වයෙහිදී රූප නූපදවන්නේය. එහෙත් අධ්‍යාත්මගත ඕජාව සහ බාහිරගත ඕජාව යන විවිධ ඕජාවන්ගේම සංසර්ග වශයෙන් ලබන ලද උපස්ථම්භ ඇත්තේම ආහාරජ රූප උපදවයි. එබැවින් ආහාර වශයෙන් බත් පිඬු ආදිය අනුභව කරන කාලයෙහි ආහාරජ රූප උපදවනු ලබන බව දක්වන ලදි.

සත්ත්වසන්තානයෙහි පහළවන්නා වූ අධ්‍යාත්මගත ඕජාව ආහාරපානාදියෙන් ලබන ලද ඕජාවන්ගේ උපකාරය නැති කල්හි ආහාරජ රූප නූපදවයි. අධ්‍යාත්මික සන්තානයෙහි විද්‍යමාන වූ කර්මජ කලාපයෙහි ඕජාවය, චිත්තජ කලාපයෙහි ඕජාවය, උතුජ කලාපයෙහි ඕජාවය යන ත්‍රිවිධාකාර වූ ඕජා රූපයෝ තම තමාගේ ඨිති කාලයට පැමිණි කල්හි අධ්‍යාත්මික සන්තානයෙහිම බහිද්ධා ඕජාව ලැබීමෙන් ඒ ඕජාව ශරීරයෙහි පැතිර ගිය කල්හිම ආහාර සමුට්ඨාන රූප උපදවත්. කර්මජ රූපාදිය හටනොගන්නා මළ සිරුරට කොපමණ ආහාරපානාදිය ඇතුළත් කළත්, ආහාරජ රූපයෝ නූපදිත්. ගස් වැල් ආදිය වැඩීමටද ආහාර උවමනාවේ. පොහොර ආදිය දැමූ කල්හි එය උරා ගැනීමෙන් ගස් වැල් ජාතීහු වර්ධනය වන්නේය. නමුත් ඒ වැඩෙන්නේ ආහාරජ රූපයන්ගේ පහළවීමෙන් නොව සෘතුජ රූප කලාපයන්ගේ පරම්පරාවෝ වැඩීමෙන්ය. ජීවත්වන සත්ත්ව ශරීරයක මස අන් තැනෙක ආහාරජ රූපයන්ගේ හටගැනීමක් නැත්තේමය. අනුභව කරණ කාලය යයි කී කල්හි, මුඛයෙන් ආහාර පානාදිය ශරීරගත කිරීම පමණක් නොව, සම්, මස්, ලේ නහර, ආමාශ, ආන්ත්‍ර, ආදීන්ට ඇතුල් කරනු ලබන පෝෂ්‍ය දායක රස ද්‍රව්‍යයත්ද ගත යුතුයි. ඒ සියල්ලම බාහිරගත ඕජා සඞ්ඛ්‍යාවට ඇතුළත් වන හෙයිනී.

සත්ත්ව ශරීරයෙහි සෑම තැනකම අධ්‍යාත්මගත ඕජා රූපයෝ ඇත්තාහ. ආහාර පානාදිය ගන්නා කල්හි ඕජා අධික බාහිර සෘතුජ කලාපයෝ ශරීර ගතවී ලේධාතුව හා මිශ්‍රව ශරීරයෙහි සෑම තන්හිම පැතිර යයි. මෙසේ පැතිර පවත්නා කල්හි අධ්‍යාත්මගත බාහිරගත ඕජාවන්ගේ සංසර්ගය ඇති වීමෙන් ආහාරජ රූප හටගෙන ඒ ඒ රූප පරම්පරාවන්ගේ නොපිරිහීමටත් වර්ධනයටත් උපකාර වන්නේය. ශරීරයෙහි යම් තැනක මේ ආහාරජ රූපයෝ හටනොගන්නේ නම් ඒ ස්ථානයෙහි වැඩීම හා රූප පරම්පරාවන්ගේ පැවැත්ම දුබලවී ක්‍රියා ශක්තියද හීන වන්නේය. රූප පරම්පරාවන්ගේ පැවැත්මට බාධා පමුණුවන්නාවූද, ශරීරයට අහිතවූද අධික ශීතොෂ්ණාදිය ඇති කරවන්නාවූද රූප පරම්පරාවන් විනාශ කරවන්නාවූද ආහාරපාන ඖෂධාදිය ගත් කල්හි ශරීරයෙහි ස්වාභාවික ගතිය වෙනස්වී ශරීරයාගේ පැවැත්මට නො ගැලපෙන විෂ සඞ්ඛ්‍යාත රූප කලාපයන් හටගෙන මරණය පවා සිද්ධ කරවන්නේය. ශරීරය විෂ කරවන රූපයෝ, ආහාරජ රූප නොව, ආහාරජ රූප වෙනුවට හටගන්නාවූ සෘතුජ රූප කලාපයෝය.

මව විසින් ගනුලබන ආහාර පානාදියෙන් පිළිසෙලවූ ආහාරජ රූප පරම්පරාව මව් ගැබෙහී වැඩෙන ළදරුවාගේ පොෂණය පිණිස උපකාර වෙමින් ළදරුවාගේ අධ්‍යාත්ම ගත ඕජා රූපයන් හා සංසර්‍ගය ඇතිවීමෙන් ආහාරජ රූප උපදවා අධ්‍යාත්මගත රූප පරම්පරාවන්ගේ වර්‍ධනය ඇති කරවන්නේය.

ඕජාවෙන් හෙවත් ආහාරජ වශයෙන් උපදවනු ලබන රූපයෝ දොළොසෙකි.

එනම්:-

අවිනිබ්භොග රූප 8

පරිච්ඡෙද රූප 1

විකාර රූප 3

12

රූප කලාප වශයෙන් ශුද්ධාෂ්ටක කලාපයත්. ලහුතාදී ඒකා දසක කලාපයත් යන කලාප වය උපදවනු ලැබේ.

තවද කම්ම, චිත්ත, සෘතු ආහාර යන සතර ප්‍රත්‍ය යෙන්ම උපදනා රූප කලාපයන්හි අන්තර්‍ගත ඕජා රූපයෝ ආහාර සමුට්ඨාන රූප උපදවන හෙයින් ආහාර සමුට්ඨාන රූපයෝ සතරාකාර වේ. එනම්.

  1. කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප
  2. චිත්ත පච්චය ආහාර සමුට්ඨාන රූප
  3. උතු පච්චය ආහාර සමුට්ඨාන රූප
  4. ආහාර පච්චය ආහාර සමුට්ඨාන රූප
  5. කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප. කර්මජ රූප කලාපයන්හි ඇත්තාවූ ඕජා රූපයෝ බාහිරගත ඕජාවන්ගේ සංසර්ගය ලැබී එහි ස්ථිතික්‍ෂණයේදී එක් එක් කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවන්නේය.

ඕජා ඵරණයෙහි පටන් සත්ත්ව ශරීරයෙක්හි එක්වර පවත්තා කර්මජ රූප කලාපයෝ තුන්සිය සත්පනසෙහි (375) අන්තර්ගත ඕජා රූපයෝ තුන්සිය සත් පනසම කම්මපච්චය ආහාර සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවන හෙයින් තුන්සිය සත්පනස් කම්මපච්චය ආහාර සමුට්ඨාන රූප කලාපයන් ශරීරයෙහි විද්‍යමානවේ. චුති චිත්තයට පූර්වයෙහි සතළොස් (17) වන චිත්තක්‍ෂණයේ උප්පාදක්‍ෂණයෙන් පසු කර්මජ කලාපයන්ගේ හටගැනීමක් නොවන හෙයින් අවසාන වරට කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප උපදවනු ලබන්නේ චුති චිත්තයට පූර්ව සතළොස් (17) වන සිතෙහි උප්පාදක්‍ෂණයේදී හටගත් කර්මජ රූප කලාප සතෙහි ඕජා රූපයෝය. ඒ රූපයෝ ස්ථිති ප්‍රාප්ත කල්හි හෙවත් ඒ චිත්තයාගේ ස්ථිතික්‍ෂණයේදී අන්තිම කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සත උපදවන්නේය. එයට පසුව පැමිණෙන භඞ්ගක්‍ෂණයේ සිට අභිනව කම්ම පච්චය ආහාර සමුට්ඨාන රූපයෝ නූපදින හෙයින් ක්‍රමයෙන් රූප සත බැගින් එක් කුඩා චිත්තක්‍ෂණයක් පාසා අඩුවී ගොස් චුති චිත්තයාගේ භඞ්ගක්‍ෂණයේදී කම්ම පච්චය ආහාර සමුට්ඨානරූප තුදුසක් (14) ඉතිරි වන්නේය. ඒ තුදුසම එයට අනතුරු කුඩා චිත්තක්‍ෂණ දෙකක් පමණ ගතවීමේදී නිරුද්ධ වන්නාහ.

මෙසේ එක් කර්මජ ඕජා රූපයක් විසින් උපදවනු ලබන ආහාරජ රූපකලාපයට අයත් ඕජා රූපය නැවතත් ආහාරජ රූප කලාපයක් උපදවන්නේය. මේ ක්‍රමයෙන් එක් කර්මජ රූප කලාපයක් නිසා ඇතිවන්නාවූ ආහාරජ රූප පරම්පරාවෝ සතරක් හෝ පසක් වන්නේය.

  1. චිත්තපච්චය ආහාර සමුට්ඨාන රූප. චිත්තජ රූප කලාපයන්හි ඇතුළත් ඕජා රූපයෝ ස්ථිති ප්‍රාප්ත කල්හි බාහිරගත ඕජාවන්ගේ සංසර්‍ගය ලැබීමෙන් එක් එක් චිත්ත පච්චය ආහාර සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවත්. එබැවින් සෑම මොහොතක් පාසාම ශරීරයෙහි පවත්නා සොළොසක් හෝ සතළොසක් පමණ වූ චිත්තජ රූප කලාප යන්හි අන්තර්‍ගත ඕජා රූප සොළොස හෝ සතළොස නිසා චිත්ත පච්චය ආහාර සමුට්ඨාන රූප කලාප සොළොසක් හෝ සතළොසක් ශරීරයෙහි නිතර පවත්නා බව සැලකිය යුතුයි. මේ රූපයෝ චුතියට පසුවත් චිත්තක්‍ෂණ සොළොසක් පමණ ගතවී නිරුද්ධ වන්නාහ. එක් චිත්තජ රූප කලාපයක් විසින් මෙසේ උපදවනු ලබන ආහාරජ රූප පරම්පරා දෙකක් හෝ තුනක් පමණ වන්නේය.
  2. උතු පච්චය ආහාර සමුට්ඨාන රූප. අධ්‍යාත්ම සන්තානයෙහි හටගන්නා වූ සෘතුජ රූප කලාපයන්හි ඇත්තා වූ ඕජා රූපයෝ ද ස්ථිති ප්‍රාප්ත කල්හි බාහිරගත ඕජාවන් හා සංසර්‍ගය ඇතිවීමෙන් උතුපච්චය ආහාර සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවත්. ශරීරයෙහි ඇත්තා වූ අනන්ත අප්‍රමාණ උතුජ රූප කලාපයන් අතුරෙන් එක් ස්ථානයෙක්හි එක් වර පවත්නා උතුජ රූප කලාපයෝ එක් පනසෙකි (51) එබැවින් එක් ස්ථානයක එක්වර තිබිය යුතු උතුපච්චය ආහාර සමුට්ඨාන රූප කලාපයෝ එක් පණසක් වන්නේය. මේ රූප කලාප පරම්පරාවන්ගේ අවසානය චුතිචිත්තයට සතළොස්චිත්තක්‍ෂණයකට පසු සිද්ධ වන්නේය. එක් උතුජ කලාපයක් නිසා ආහාරජ රූප පරම්පරා දසයක් හෝ දොළොසක් (12) පමණ ඇති වන්නේය.
  3. ආහාර පච්චය ආහාර සමුට්ඨාන රූප. කබලීකාරා හාර හෙවත් ආහාර වශයෙන් ගන්නා වූ බාහිර සෘතුජ රූප කලාපයන්හි ඇතුළත් ඕජා රූපයෝ ස්ථිති ප්‍රාප්ත කල්හි අධ්‍යාත්ම සන්තානයෙහිදී ආහාර පච්චය ආහාර සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවත්. ශරීරයෙහි එක් ස්ථානයක එක්වර පවත්නා බාහිර ඕජාවෝ එක් පනසක් බැවින් එයින් උපදවනු ලබන ආහාර පච්චය ආහාර සමුට්ඨාන රූපයෝ එක් පනසක් (51) ම වන්නේය. ඒ පරම්පරාවන්ගේ නිරුද්ධයද චුතියට චිත්තක්‍ෂණ සතළොසක් (17) පමණ පසුව සිද්ධවන්නේය. එක් බාහිර ඕජා රූපයක් නිසා ආහාරජරූප පරම්පරා එකක් හෝ දෙකක් ඇති වන්නේය.

අටවිසි (28) රූපයන් අතුරෙන් කම්ම, ඍතු, චිත්ත, ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම උපදවන රූප නවයකි.

  1. පඨවිධාතු
  2. ආපොධාතු
  3. තෙජොධාතු
  4. වායොධාතු
  5. වර්‍ණරූපය
  6. ගන්‍ධරූපය
  7. රසරූපය
  8. ඔජාරූපය
  9. පරිච්ඡේදරූපය

ප්‍රත්‍යය තුනකින් - එනම් චිත්ත, ඍතු, ආහාර යන ත්‍රිවිධ ප්‍රත්‍යයෙන් උපදවන රූප තුනකි. එනම්

  1. ලහුතාරූපය
  2. මුදුතාරූපය
  3. කම්මඤ්ඤතාරූපය

ප්‍රත්‍යය දෙකකින් - එනම් චිත්ත, ඍතු යන දෙකින් උපදවන රූප එකකි. එනම් ශබ්ද රූපයයි.

එක් ප්‍රත්‍යයකින් පමණක් උපදවනු රූපයෝ එකොළොස් දෙනෙකි. එනම් කර්‍මප්‍රත්‍යයෙන් උපදනා රූප නවයෙකි.

  1. චක්ඛුප්‍රසාදරූපය
  2. සොතප්‍රසාදරූපය
  3. ඝාණප්‍රසාදරූපය
  4. ජිව්හාප්‍රසාදරූපය
  5. කායප්‍රසාදරූපය
  6. ස්ත්‍රීභාවරූපය
  7. පුරුෂභාවරූපය
  8. හදයරූපය
  9. ජීවිතෙන්‍ද්‍රියරූපය චිත්ත ප්‍රත්‍යයෝ උපදවන රූප දෙකෙකි.
  10. කායවිඤ්ඤත්ති රූපය
  11. වචී විඤ්ඤත්ති රූපය

එකම ප්‍රත්‍යයකින්වත් නූපදවන රූපයෝ සතර දෙනෙකි.

  1. උපවය රූපය
  2. සන්තති රූපය
  3. ජරතා රූපය
  4. අනිච්චතා රූපය

මේ රූපයෝ සතර දෙන අනිකුත් රූපයන්ගේ ලක්‍ෂණ බැවින් අසුවල් ප්‍රත්‍යයෙන් උපන්නේයයි කිව නොහැකිය.

කර්මජ රූපයෝ අටළොස් දෙනෙකි. (18) එයින් රූප නවයක් ඒකාන්ත කර්මජය. ඒ නවදෙනා අන් ප්‍රත්‍යයකින් ඉපදවිය හැකි නොවේ ඉතිරි නව දෙනා අනෙකාන්තය අන්‍ය ප්‍රත්‍යයන්ගෙන්ද ඉපදවිය හැකි හෙයිනි.

ඒකාන්ත කර්මජ රූප
  1. චක්ඛු ප්‍රසාද රූපය
  2. සොත ප්‍රසාද රූපය
  3. ඝාණ ප්‍රසාද රූපය
  4. ජිව්හා ප්‍රසාද රූපය
  5. කාය ප්‍රසාද රූපය
  6. ස්ත්‍රීභාව රූපය
  7. පුරුෂභාව රූපය
  8. ජීවිතෙන්‍ද්‍රිය රූපය
  9. හදයවස්තු රූපය
අනෙකාන්ත කර්මජ රූප
  1. පඨවි ධාතුව
  2. ආපො ධාතුව
  3. තෙජො ධාතුව
  4. වායො ධාතුව
  5. වර්ණ රූපය
  6. ගන්‍ධ රූපය
  7. රස රූපය
  8. ඔජා රූපය
  9. පරිච්ඡේද රූපය

චිත්තජ රූපයෝ පසළොස් දෙනෙකි (15). එයින් රූප දෙකක් ඒකාන්ත චිත්තජ රූපයෝය. ඉතිරි තෙළෙස් (13) රූපයෝ අනේකාන්ත චිත්තජ රූපයෝයි.

ඒකාන්ත චිත්තජ රූපඅනේකාන්ත චිත්තජ රූප
1කායවිඤ්ඤත්ති රූපය1අවිනිබ්භොග රූප8
2වචී විඤ්ඤත්ති රූපය2පරිච්ඡෙද රූපය1
3ශබ්ද රූපය1
4විකාර රූප3
13

සෘතුජ රූපයෝ තෙළෙසකි (13). එනම්:-

අවිනිබ්භොග රූප අටය8
පරිච්ඡෙද රූපය1
ශබ්ද රූපය1
විකාර රූප තුනය3
13

ආහාරජ රූපයෝ දොළොසකි (12). එනම්:-

අවිනිබ්භොග රූප අටය8
පරිච්ඡෙද රූපය1
විකාර රූප තුනය3
12

(රූප විභාග සටහන 129 වන පිටුවෙහි පළවේ)