ඍතු සමුට්ඨාන රූප
ඍතුව නම් ශීතෝෂ්ණ සඞ්ඛ්‍යාත තෙජෝ ධාතුවය. කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර ප්රත්යයෙන්ම නිපද වනු ලබන සියලුම රූප කලාපයන්හි තෙජෝ ධාතුව තිබේ. සියලු අවකාශ ලෝකයද නොයෙක් සත්ත්ව ශරීරයන් ඇති කිරීම් වශයෙන් සියලු සත්ත්ව ලෝකයද, ගස් මුල් ආදිය ඇති කිරීම් වශයෙන් සියලු සංස්කාර ලෝකයද පහළ කරවන උදාකරවන ධර්මයක් බැවින් තේජෝ ධාතුවට උතු හෙවත් සෘතු යයි කියනු ලැබේ. මේ තේජෝ ධාතුවට නොයෙක් රූපයන් ඉපදවීමට ශක්තිය තිබේ. සෘතුවෙන් උපදවනු ලබන රූපයෝ තෙළෙසකි (13).
අවිනිබ්භොග රූප 8
පරිච්ඡේද රූප 1
ශබ්ද රූප 1
විකාර රූප 3
13
සෘතුව හෙවත් තෙජොධාතුව රූප ධර්මයක් බැවින් එහි උප්පාදක්ෂණය දුර්වලය. එබැවින් තෙජො ධාතූහුගේ උප්පාදක්ෂණයේදී එයට සෘතුජ රූප ඉපදවිය නොහැකිය. ස්ථිතික්‍ෂණයට පැමිණි කල්හි තෙජො ධාතුව රූප උපද වන්නේය. භඞ්ගක්ෂණයේදීද රූප ඉපැද්මට ශක්තියක් නැත. සෘතුජ රූප කලාප අධ්‍යාත්ම බාහිර සන්තානයන්හි සුදුසු පරිද්දෙන් ලැබේ.
සත්ත්ව ශරීරයෙක්හි ඇත්තාවූ ඇට, මස්, ලේ නහර ආදීවූ සැම අවයවයෝද, ඇඳුම්, පැළඳුම්, යාන වාහන ආහාර යනාදීවූ සියලු පරිභොග වස්තුන්ද ගස්, ගල්, ගඞ්ගා, සමුද්‍ර, ඉර, සඳ, තරු, ආදීවූ සියලු කුදුමහත් දෙයද සෘතුජ රූප වලින් ගහනය.
සෘතුජ රූප කලාපයෝ චතුර්විධ වේ. එනම්:
- කම්මපච්චය උතුසමුට්ඨාන රූප
- චිත්ත පච්චය උතුසමුට්ඨාන රූප
- උතු පච්චය උතුසමුට්ඨාන රූප
- ආහාර පච්චය උතුසමුට්ඨාන රූප
- කම්ම පච්චය උතුසමුට්ඨාන රූපයෝ සත්ත්ව ශරීරයෙක්හි ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදය හා එකක්ෂණිකව පහළවන්නාවූ කාය දසක, භාව දසක, වස්තු දසක යන ත්‍රිවිධ කර්මජ රූප කලාපයන්හි අන්තර්ගත තේජොධාතු තිදෙන ස්ථිති ප්‍රාප්ත කල්හි හෙවත් ප්රතිසන්ධි චිත්තයාගේ ඨිති අවස්ථාවේදී බාහිර උතුජ රූපයෙන් උපස්ථම්භ ලැබීමෙන් එක් එක් සෘතුජ රූප කලාපය බැගින් උපද වන්නේය. ප්රතිසන්ධි චිත්තයාගේ ඨිති ක්ෂණයේදී පහළවූ ත්‍රිවිධ දසක කලාපයන්හි අන්තර්ගත තේජො ධාතු තිදෙනම ඒ සිතෙහි භඞ්ගක්ෂණයේදී ස්ථිතිප්‍රාප්ත වන බැවින් උතුජ රූප කලාප තිදෙනෙක් උපදවන්නේය. මේ ක්‍රමයෙන් ප්රතිසන්ධි චිත්තයාගේ ඨිති ක්ෂණයේ සිට සෑම කුඩා චිත්තක්ෂණයක් පාසාම කම්ම පච්චය උතුසමුට්ඨාන රූප කලාප තුන තුන බැගින් උපදවනු ලැබේ. මෙසේ උපදින්නාවූ රූප කලාපයෝ සතළොස් (17) චිත්තක්ෂණයක් ගතවී නිරුද්ධ වන්නාහ. ප්‍රතිසන්ධියේ පටන් සතළොස් (17) චිත්තක්ෂණයක් ගතවී අටළොස් (18) වන චිත්තක්ෂණයාගේ උප්පාද අවස්ථාව පැමිණෙන කල්හි, කම්ම පච්චය උතු සමුට්ඨාන රූප කලාපයෝ එක්සිය පනස් තිදෙනෙක් (153) පහළවී ඇත්තාහ. එතැන් සිට සැත්තෑසත් (77) වන දින රාත්‍රියෙහි චක්ඛු, සොත, ඝාණ, ජිව්හා යන සතර දසක කලාපයන්ගේ පහළවීම දක්වා මෙසේ කම්ම පච්චය උතු සමුට්ඨාන රූප කලාපයෝ එක්සිය තෙපනසක් (153) ශරීරයෙහි පවත්නාහ. චක්ඛු ආදී සතර කලාපයන් පහළවූ තැන් සිට එක් කුඩා චිත්තක්ෂණයකදී කර්මජ රූප කලාප සතක් එනම් කාය, භාව, වස්තු, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, යනාදී වශයෙන් පහළවීමෙන් එක් කුඩා චිත්තක්ෂණයෙක්හි පවත්නා කර්මජ රූප කලාපයෝ (51 × 7 = 357) තුන්සිය සත් පනසෙක් වෙති. මේ තුන් සිය සත්පනස් කර්මජ රූප කලාපයන්හි ඇත්තාවූ තේජොධාතු තුන්සිය සත්පනසම ඨිති ප්‍රාප්ත කල්හි එක් එක් කර්ම පච්චය උතු සමුට්ඨාන රූප කලාපය බැගින් උපදවන බව දතයුතුයි. මෙපමණක් නොව මෙසේ උපදවනු ලබන්නාවූ සෑම කම්මපච්චය උතු සමුට්ඨාන රූප කලාපයකම අන්තර්ගත තෙජො ධාතුව ස්ථිති ප්‍රාප්ත කල්හි නැවතත් උතු සමුට්ඨාන රූපකලාපයක් උපදවන්නේය. ඒ රූප කලාපයෙහි තෙජො ධාතු තොමෝ නැවතත් උතු සමුට්ඨාන රූප කලාපයන් උපදවයි. මෙසේ එක් කර්මජ රූප කලාපයක් නිසා ඍතුජ රූප පරම්පරා සතරක් හෝ පසක් උපදින බව සැලකිය යුතුයි.
2 චිත්ත පච්චය උතුසමුට්ඨාන රූපය පටිසන්ධි චිත්තයට අනතුරුව පහළවන ප්‍රථම රූප ජනක භවාඞ්ග චිත්තයාගේ උප්පාදක්ෂණයේදී උපදින ප්‍රථම චිත්තජ රූප කලාපය ස්ථිති ප්රාප්තවූ කල්හි හෙවත් පළමුවෙනි භවාඞ්ග සිතෙහි ස්ථිති අවස්ථාවේදී එම චිත්තජ රූප කලාපයට ඇතුළත් තෙජො ධාතුව චිත්ත පච්චය උතුසමුට්ඨාන රූප කලා- පයක් උපදවන්නේය. එතැන් පටින් සෑම චිත්තජ රූප කලාපයකම ඇති තෙජො ධාතු තොමෝ ස්ථිති ප්‍රාප්ත කල්හි චිත්තපච්චය උතුසමුට්ඨාන රූප උපදවමින් චිත්තක්ෂණ සතළොසක් (17) ආයු වළඳා නිරුද්ධ වන්නේය. එබැවින් සෑම කල්හිම චිත්ත පච්චය ඍතු සමුට්ඨාන රූප කලාපයෝ සතළොස් (17) දෙනෙක් සිටිය යුතුයි. විපඤ්ච විඤ්ඤාණයන් උපදනා කල්හි චිත්තජ රූප නූපදින බැවින් ඒ අවස්ථාවන්හි එක් රූපකලාපයක් අඩුවේ. එවිට ශරීරයෙහි ඇති වන්නේ චිත්ත පච්චය උතු සමුට්ඨාන රූප කලාප සොළොසකි. එබැවින් ශරීරයෙහි නිරන්තරයෙන්ම චිත්ත පච්චය උතු සමුට්ඨාන රූප කලාපයෝ සොළොසක් හෝ සතළොසක් පවත්නා බව දතයුතුයි. මෙසේ උපදවනු ලබන එක් චිත්තපච්චය උතු සමුට්ඨාන රූප කලාපයක ඇති තෙජො ධාතුව ස්ථිති ප්‍රාප්ත කල්හි නැවතත් ඍතුජ රූප කලාපයක් උපදවයි. මෙසේ එක් චිත්තජ රූප කලාපයක් නිසා ඍතුජ රූප කලාප පරම්පරා දෙකක් හෝ තුනක් ඇතිවන බව සැලකිය යුතුයි. කර්මජ රූප ඉපදීම චුතියට සතළොස්වන චිත්තක්ෂණයට පෙර නතරවන නමුත් චිත්තජ රූපයෝ චුති චිත්තය දක්වාම උපදී. එබැවින් අවසාන චිත්ත පච්චය උතු සමුට්ඨාන රූපයෝ නිරුද්ධ වන්නේ චුති චිත්තයට චිත්තක්ෂණ පසළොසක් හෝ සොළොසක් පමණ ගත වීමෙනි.
3. උතුපච්චය උතු සමුට්ඨාන රූප සෑම ඍතුජ රූප කලාපයකම ඇත්තාවූ තෙජො ධාතූහු ස්ථිති ප්‍රාප්ත කල්හි ඍතුජ රූප කලාපයන් උපදවන්නාහ. එක් ඍතුජ රූප කලාපයක් නිසා ඇතිවන්නාවූ ඍතුජ රූප කලාපයන්ගේ සඞ්ඛ්‍යාව නියම කළ නො හැකි වේ. එක් තැනෙක්හි එක වර පවත්නා උතු පච්චය උතුජ රූප කලාපයෝ එක් පනසෙකි (51).
4. ආහාරපච්චය උතුසමුට්ඨාන රූප. සෑම ආහාරජ රූප කලාපයකම ඇත්තාවූ තෙජො ධාතූහු ස්ථිති ප්‍රාප්ත කල්හි එක් එක් ඍතුජ රූප කලාපය බැගින් උපදවන්නේය. එසේ උපදවන ඍතුජ රූපයන්ට ආහාරපච්චය උතුසමුට්ඨාන රූපයයි කියති. එක් ආහාරජ රූප කලාපයක් නිසා උතු සමුට්ඨාන රූප කලාපයෝ දහයක් හෝ දොළසක් පමණ උපදවනු ලැබේ. සත්ත්ව ශරීරයෙහි එක් තැනෙක පවත්නා ආහාර පච්චය උතු සමුට්ඨාන රූපයන්ගේ සඞ්ඛ්යාවද එක පනසෙකි (51). ආහාර පච්චය උතුසමුට්ඨාන රූපයෝ චුති චිත්තයට පසු නූපදනා හෙයින් චුති චිත්තයෙන් චිත්තක්ෂණ සොළොසක් සතළොසක් පමණ ගතවන තුරු ඒ රූප පරම්පරා පැවත නිරුද්ධ වෙති. ඍතුජ ශබ්ද රූපයද ඍතුජ රූප කලාපයන්ගේම සංඝට්ටනයෙන් ඇතිවන බව සැලකිය යුතුයි. එයට අවිඤ්ඤාණක ශබ්ද රූපයයිද කියනු ලැබේ.
සත්ත්වයාගේ මරණයෙන් පසු මෘත ශරීරයෙහි ඉතුරු වන්නේ ඍතුජ රූපයෝ පමණය. මළ සිරුරෙහි කර්මජ, චිත්තජ, ආහාරජ, රූපයන්ගේ පහළවීමක් නොවන්නේමය.