අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූප කලාප

රූප උපදනා කල්හි තනිතනිවම නූපදී. ඔවුනොවුන් එකිනෙකට බැඳී රූප පිණ්ඩ හෙවත් කලාප වශයෙන් උපදී. යම් සිතක යෙදෙන්නාවූ චෛතසික ධර්‍මයන් හා සිතත් එකොත්පාද, එකනිරොධ, එකාලම්බණ, එකවත්‍ථුක යයි සතර සම්ප්‍රයෝග ලක්‍ෂණයකින් යුක්ත වන්නාක් මෙන් එකි එකී රූප කලාපයන්හි යෙදෙන්නාවූ රූප ධර්‍මයෝද, එකට ඉපදීමය, එකට නිරුද්ධවීමය. පඨවි ධාතු ආදීවූ එක් වස්තුවක් නිශ්‍රය කර ගැනීමය. චක්‍ෂුරාදී එක් වස්තුවක් හා පැවතීම් ඇති බවය. යන ලක්‍ෂණ සතරකින් යුක්ත වන්නේය.

කම්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර ප්‍රත්‍යයෙන්ම රූප උපදවන කල්හි පඨවි, ආපො, තෙජො, වායො යන භූත චතුස්කයද වර්‍ණ, ගන්‍ධ, රස, ඕජා යන උපාදාය රූප නම් වූ වර්‍ණ චතුස්කයද සෑම රූප කලාපයකම නොඅඩුවම පහල වන්නාහ. මෙසේ කලාප වශයෙන් උපදනා කල්හි ඒ රූපයෝ ඉදිරිපසු නොවී එකක්‍ෂණිකව හටගෙණ නිරුද්ධ වන්නාවූ කල්හිද ඉදිරිපසු නොවී එකක්‍ෂණිකව නිරුද්ධ වෙත්. එක් මහා භූතයෙක් අවශේෂ භූතත්‍රයට ආධාර හෙවත් නිශ්‍රය වෙයි. ඒ මහා භූතයෝ තුන්දෙන අවශේෂ භූතයට නිශ්‍රය ස්ථාන වෙයි. මේ සතර මහා භූතයන්ගෙන් අන්‍යවූ උපාදාය රූපයෝ මහාභූතයන් නිශ්‍රය කොටගෙණ පවත්නාහු වෙත්. මෙසේ එකිනෙකට නොයෙක් අයුරින් බැඳී පවත්නාවූ රූප කලාපයෝ එක් විස්ස (21) කී

එක්ව උපදින්නාවූ රූපයන්ගේ සඞ්ඛ්‍යාව අනුව සලකන කල්හි-

  1. අෂ්ටක කලාප එකක්ද - 1
  2. නවක කලාප තුනක්ද - 3
  3. දසක කලාප නවයක්ද - 9
  4. ඵකාදසක කලාප එකක්ද - 1
  5. මා දසක කලාප දෙකක්ද - 2
  6. තෙරසක කලාප එකක්ද - 1 වෙත්.
  7. 1 අෂ්ටක කලාපය: පඨවි, ආපො, තෙජො, වායො, වර්‍ණ, ගන්‍ධ, රස, ඕජා යන අවිනිබ්භොග රූප අටෙන් යුත් කලාපයයි. අෂ්ටක කලාපයෝ චිත්ත සමුට්ඨාන වශයෙන්ද, සෘතු සමුට්ඨාන වශයෙන්ද, ආහාර සමුට්ඨාන වශයෙන්ද උපදිත්.
  8. නවක කලාප තුන
    1. ජීවිත නවක කලාපය - අවිනිබ්භොග රූප අටත්, ජීවිතෙන්‍ද්‍රිය රූපයත්ය. මෙය කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    2. කාය විඤ්ඤත්ති නවක කලාපය. අවිනිබ්භොග රූප අටත් කාය විඤ්ඤත්ති රූපයත්ය. මෙය චිත්ත සමුට්ඨාන රූප කලාපයකි.
    3. ශබ්ද නවක කලාපය. අවිනිබ්භොග රූප අටත් ශබ්ද රූපයත්ය. මෙය උතු සමුට්ඨාන රූප කලාපයකි.
  9. දසක කලාප නවය.
    1. චක්ඛු දසක කලාපය. අවිනිබ්භොග රූප අටත් ජීවිතෙන්ද්‍රිය රූපයත්, චක්ඛු ප්‍රසාද රූපයත්ය. මෙය කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    2. සොත දසක කලාපය. අවිනිබ්භොග රූප අටත් ජීවිතෙන්ද්‍රිය රූපයත්, සොත ප්‍රසාද රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    3. ඝාණ දසක කලාපය. අවිනිබ්භොග රූප අටත් ජීවිතෙන්ද්‍රිය රූපයත්, ඝාණ ප්‍රසාද රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    4. ජීව්හා දසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ජීවිතෙන්ද්‍රිය රූපයත්, ජීව්හා ප්‍රසාද රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    5. කාය දසක කලාපය. අවිනිබ්භොග රූප අටත් ජීවිතෙන්ද්‍රිය රූපයත්, කාය ප්‍රසාද රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    6. ස්ත්‍රීභාව දසක කලාපය. අවිනිබ්භොග රූප අටත්; ජීවිතෙන්ද්‍රිය රූපයත්, ස්ත්‍රීභාව රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
    7. පුරුෂභාව දසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ජීවිතෙන්ද්‍රිය රූපයත්, පුරුෂභාව රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
  10. වස්තුදසක කලාපය. අවිනිබ්භොග රූප අටත් ජීවිතෙන්‍ද්‍රිය රූපයත්, හදය වස්තු රූපයත්ය. මෙයද කම්ම සමුට්ඨාන රූප කලාපයකි.
  11. වාග් විඤ්ඤත්තිදසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ශබ්ද රූපයත්, වාග් විඤ්ඤත්ති රූපයත්ය. මෙය චිත්ත සමුට්ඨාන රූප කලාපයකි.
  12. එකා දසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුනත්ය. මේ කලාපය චිත්ත සමුට්ඨාන වශයෙන්ද සෘතු සමුට්ඨාන වශයෙන්ද, ආහාර සමුට්ඨාන වශයෙන්ද උපදවනු ලැබේ. එයට ලහුතා දෙකා දසක කලාපය යයි ද කියති.
  13. මාදසක කලාප දෙක.
    1. කායවිඤ්ඤත්ති ලහුතාදී මාදසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, කායවිඤ්ඤත්ති රූපයත්, ලහුතා මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුනත්ය. මෙය චිත්ත සමුට්ඨාන රූප කලාපයකි.
    2. ශබ්ද ලහුතාදී මාදසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ශබ්ද රූපයත්, ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන විකාර රූප තුනත්ය. මෙය උතු සමුට්ඨාන රූප කලාපයකි.
  14. තෙරසක කලාපය. අවිනිබ්භොග රූප අටත්, ශබ්ද රූපයත්; වාග් විඤ්ඤත්ති රූපයත්, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුනත්ය. මෙය චිත්ත සමුට්ඨාන රූප කලාපයකි. වාග් විඤ්ඤත්ති ශබ්දලහුතාදී ත්‍රයො දසක කලාපය යයිද එයටම නමෙකි.

තවද, රූප හට ගැනීමේ හේතු හෙවත් රූප සමුට්ඨාන වශයෙන් රූප කලාපයෝ එක් විස්සකි. (21)

  1. කම්ම සමුට්ඨාන රූප කලාප නවයකි 9
  2. චිත්තසමුට්ඨාන රූප කලාප සයකි 6
  3. උතු සමුට්ඨාන රූප කලාප සතරෙකි 4
  4. ආහාර සමුට්ඨාන රූප කලාප දෙකකි 2 21
  5. කම්ම සමුට්ඨාන රූප කලාප නවය
    1. චක්ඛු දසක කලාපය
    2. සොත දසක කලාපය
    3. ඝාණ දසක කලාපය
    4. ජිව්හා දසක කලාපය
    5. කාය දසක කලාපය
    6. ස්ත්‍රීභාව දසක කලාපය
    7. පුරුෂභාව දසක කලාපය
    8. වස්තු දසක කලාපය
    9. ජීවිත නවක කලාපය
  6. චිත්ත සමුට්ඨාන රූප කලාප සය
    1. ශුද්ධාෂ්ටක කලාපය
    2. කායවිඤ්ඤත්ති නවක කලාපය
    3. වාග් විඤ්ඤත්ති දසක කලාපය
    4. ලහුතාදි එකා දසක කලාපය
    5. කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසක කලාපය
    6. වාග්විඤ්ඤත්ති ශබ්ද ලහුතාදි ත්‍රයොදසක කලාපය
  7. උතු සමුට්ඨාන රූප කලාප සතර
    1. ශුද්ධාෂ්ටක කලාපය
    2. ශබ්ද නවක කලාපය
    3. ලහුතාදි එකා දසක කලාපය
    4. ශබ්ද ලහුතාදි ද්වාදසක කලාපය
  8. ආහාර සමුට්ඨාන රූප කලාප දෙක
    1. ශුද්ධාෂ්ටක කලාපය
    2. ලහුතාදි එකාදසක කලාපය

මේ එක් විසි රූප කලාපයන් අතුරෙන් උතු සමුට්ඨාන ශබ්ද නවක කලාපයත්, ශුද්ධාෂ්ටක කලාපයත් අධ්‍යාත්ම බාහිර සන්තාන දෙක්හිම ලැබෙත්. සෙසු එකුන් විසි (19) කලාපයෝ අධ්‍යාත්ම සන්තානයෙහි පමණක් ලැබේ.

ආකාශ ධාතුව හෙවත් පරිච්ඡේද රූපය, රූප කලාපයන්ගේ පරිච්ඡේද මාත්‍රයක් බැවින්ද, ලක්‍ෂණ රූප සතර රූප කලාපයන්ගේ ලක්‍ෂණ මාත්‍රයක් බැවින්ද රූප කලාපයන්ගේ අඞ්ගත්‍වයට නොපැමිණෙන හෙයින්ද රූප කලාපවලට නොගැනේ.