චිත්ත සමුට්ඨාන රූප
කර්ම සංඛ්‍යාත චේතනාවට මෙන් ඇතැම් චිත්තයන්ටද රූප උපදවන ශක්තියක් තිබේ. මෙහි චිත්තය යයි කී කල්හි සසම්ප්‍රයුක්ත සිත හෙවත් චෛතසික ධර්මයන්ගේ සහයොගය ලත් සිත බව දත යුතුයි. සිතක් පිළිබඳව උප්පාද, ඨිති භඞ්ග යන තුන් අවස්ථා අතුරෙන් උප්පාද අවස්ථාව බලවත්ය. එබැවින් සිතින් උපදවනු ලබන රූපයෝ එහි උප්පාද අවස්ථාවේදීම උපදී. ඨිති භඞ්ග අවස්ථාවන්හි රූප ඉපදවීමට ශක්තියක් නැත. කර්මය නිරුද්ධවූ පසු එහි රූප උපදනා ශක්තිය ඇති නමුත් සිත්වලට ඔවුන්ගේ නිරුද්ධයෙන් පසු රූප ඉපදවිය නොහැකිය.
අසූ නවයක් (89) සිත් අතුරෙන් දෙපස් විඤ්ඤාණ යන්ටද අරූපාවචර විපාක සිත් සතරටද යන තුදුස් (14) චිත්තයන් හැර ඉතිරි සිත් පන් සැත්තෑවට (75) චිත්තජ රූප ඉපදවිය හැකිය. එයින් උපදවන රූපයෝ පසළොසකි. (15) එනම්:
අවිනිබ්භොග රූප 8
පරිච්ඡේද රූපය 1
ශබ්ද රූපය 1
විකාර රූප තුනය 3
විඤ්ඤත්ති රූප දෙකය 2
15
මේ පසළොස් රූපයන් අතුරෙන් විඤ්ඤත්තිවය ඒකාන්ත වශයෙන්ද ඉතිරි තෙළෙස් (13) රූපයෝ අනේකාන්ත වශයෙන්ද උපදවනු ලැබේ.
රූප ඉපදවිය හැකි පන්සැත්තෑ චිත්තයන් අතුරෙන් ප්රතිසන්ධි චිත්තයද, අරූපී බ්‍රහ්මයන්ගේ චිත්තයෝද රහතන්වහන්සේගේ චුති චිත්තයද රූප නුපදවති.
සතර අරූපධ්‍යාන ලබනු පිණිස කර්මස්ථාන භාවනා කරන්නාවූ යොගාවචර තෙම, රූපය ඇති කල්හි සියළු දුක්ඛයන්ට භාජන වන බැවින්ද, සාමාන්‍යයෙන් කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති දෙකෙන් හටගන්නාවූ සියළු කාය කර්ම වචී කර්මයෝ රූපයෙන්ම හටගන්නාහුයයි, රූපයෙන් වෙන්වූ භූමියක් ලබනු පිණිස අරූපධ්‍යාන උපදවන්නේය. මෙසේ අරූපාවචර ධ්‍යාන වඩා රූප නැත්තාවූ අරූප භූමියෙහි උපදවන හෙයින් අරූපාවචර විපාක සිත් සතර රූප ජනක නොවන්නේය. එහි රූප ඉපදවීමට තැනක් නැති හෙයිනි.
දෙපස් විඤ්ඤාණයෝ ඉතා දුබලය. එහි යෙදෙන චෛතසිකයෝ නම් සබ්බචිත්ත සාධාරණ චෛතසික සත් දෙනා පමණය. හේතු සහ ධ්‍යානාඞ්ග නැති හෙයින් රූප ඉපදවීමට ශක්තියක් නැත ධ්‍යානාඞ්ගයෝ රූප ඉපදවීමෙහි විශේෂ හේතු ලෙස සලකනු ලැබේ. ධ්‍යානාඞ්ගයෝ නම් විතක්ක, විචාර, පීති, එකග්ගතා සොමනස්ස, දොමනස්ස, උපෙක්ෂා යන චෛතසිකයෝය. ද්විපඤ්ච විඤ්ඤාණයන්හි යෙදෙන චෛතසිකයෝ නම් ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, එකග්ගතා ජීවිතින්ද්රිය, මනසිකාරය යන සබ්බචිත්ත සාධාරණයෝයි. සුඛසහගත කායවිඤ්ඤාණයෙහි සුඛ ධ්යානාඞ්ගයද දුක්ඛසහගත කාය විඤ්ඤාණයෙහි යෙදෙන දුක්ඛ සඞ්ඛ්‍යාත අකුසල ධ්යානාඞ්ගයද, සිත් සියල්ලෙහිම යෙදෙන එකග්ගතා ධ්යානාඞ්ගයද මේ විඤ්ඤාණයෝ දස දෙනා කෙරෙහි ඇතුළත් බව පෙනෙතත්, ධ්‍යානාඞ්ගයෝ නොයෙදෙන බැවින් රූප ඉපදවීමේ ශක්තියක් නැතැයි දක්වා තිබෙන්නේ කවර හේතුවක් නිසාදැයි සැක කළ හැකියි. සුඛ, දුක්ඛ, පීති, එකග්ගතා ආදී චෛතසිකයෝ විතර්කය පසුකොට ඇතිකල්හිම ධ්‍යානාඞ්ග නම් වෙති. මේ දෙපස් විඤ්ඤාණයන්හි ඇත්තා වූ සුඛාදී ධර්මයෝ විතර්ක සම්ප්‍රයුක්ත නොවන හෙයින් හෙවත් ඒ චෛතසිකයන් සමඟ විතර්ක චෛතසිකය නොයෙදෙන හෙයින් එයට ධ්‍යානාඞ්ග යයි නො කියති.
පටිසන්ධි චිත්තය වනාහි එක් භවයක පහළවන්නාවූ පළමුවෙනි සිතය. පෙර ආත්ම භාවයෙහිදී ජාති, ජරා ව්‍යාධි මරණ, සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාසාදි දැඩි දුක්ඛයන්ට ගොදුරු වෙමින් වස්තු දුර්වලතා ඉන්ද්රිය දුර්වලතා ආදියෙන් පීඩිතව සිටින කල්හි කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ත්‍රිවිධ ආරම්මණයන්ගෙන් එකක් අරමුණු කොට ගෙන පහළවන්නාවූ මරණාසන්න ජවන් පසකින් යුත් අවසාන චිත්ත වීථිය කෙළවරෙහි ඇතිවන චුති චිත්තයෙන් ඒ භවය අත්හැර ආගන්තුග වශයෙන් අළුත් භවයකට පැමිණිමේදී පළමුව හටගන්නාවූ මේ ප්රතිසන්ධි චිත්තය ඉතා දුර්වලය. ඒ හා සමග උපදනා කාය දසක භාව දසක, වස්තු දසක යන ත්‍රිවිධ කර්මජ රූප කලාපයන්ට අයත් රූපයෝද දුර්වලය. එබැවින් දුර්වල වූ හෘදය වස්තු රූපය නිඃශ්‍රය කොට උපදින්නාවූ පටිසන්ධි චිත්තයට, රූප ඉපදවීමේ ශක්තියක් නැත්තේය. රූපය බලවත්වන්නේ එහි උප්පාදක්ෂණයේ නොව ඨිතික්ෂණයේදී ය.
චිත්තජ රූපයන් ඉපදවීමට පූර්ව චිත්තයෙන් ලැබෙන්නාවූ ආසෙවන ප්‍රත්‍යය බලවත් උපකාරයකි එසේ පූර්ව චිත්තයෙන් ආසෙවන ප්‍රත්‍ය ලැබෙන්නේ චිත්තයාගේ උප්පාදක්ෂණයට මුත් ඨිති භඞ්ගක්ෂණයන්ට නොවේ. එහෙයින් චිත්තජ රූප ඉපදවීමට ශක්තිය ඇත්තේත් චිත්තයාගේ උප්පාදක්ෂණයට මුත් ඨිති භඞ්ගක්ෂණයන්ට නොවේ. වස්තු දුර්වලතාවය, සිත අළුත් භවයෙහි මනාකොට නොපිහිටිමය, ප්‍රත්‍යයන්ගේ දුර්වලත්වය, ආගන්තුකත්වය යනාදී කරුණු නිසා ප්රතිසන්ධි චිත්තය රූප ඉපදවීමට නොසමත්වේ.
අරූපි සත්ත්ව සන්තානයෙහි රූප නැති හෙයින්, ඔවුන්ට උපදනා සිත් වලින් රූප නූපදවනු ලැබේ.
රහතන්වහන්සේ ගේ චුති චිත්තයද රූප ඉපදවීමට අසමත්ය. අවිද්‍යා තෘෂ්ණා මුල් සිඳ දැමූ, අතිශාන්ත වූ සන්තානයෙක්හි පහළවන්නාවූ ද, වස්තුරූප පරම්පරාවෙහි අවසාන මොහොත වූ ද, එකෙණෙහිම නිරුද්ධ වන්නාවූ ද, අතිශයින් දුර්වල වූ ඒ සිතටද රූප ඉපදවීමේ ශක්තියක් නැත්තේය.
ප්රතිසන්ධි චිත්තය රූප ජනක නොවන නමුත් ඒ සිතම ඒ භවයෙහි වසනතාක් කල් මුලුල්ලෙහි භවාඞ්ග වශයෙන් පවත්නා කල්හි, චිත්තජ රූප උපදවන්නේය. එබැවින් පටිසන්ධි චිත්තයට අනතුරුව පහළවන්නාවූ පළමුවෙනි භවාඞ්ග චිත්තයාගේ උප්පාදක්ෂණයේ පටන් සෑම රූප ජනක චිත්තයන්ගේ උප්පාදක්ෂණයන්හි චිත්තජ රූප උපදවනු ලැබේ.
භවාඞ්ග චිත්තයෝ ඉතා දුර්වලය එහි අරමුණ පටිසන්ධි චිත්තයාගේ අරමුණ හෙවත් පූර්වභවයෙන් ගත් අරමුණෙක්ය. මේ භවයෙහි උපදනා අනිකුත් සිත් අතුරෙන් චුතිචිත්තයට හැර අන් සිතකට එය අරමුණු නොවේ. දුබලවූ භවාඞ්ග සිත්වලින් උපදවන්නාවූ රූපයෝද ඉතා දුබලය ශරීරය ක්‍රියාකරවීම සෙලවීම, ඉරියව් දැරීම යනාදියට උවමනා රූප ඉපදවීමට නුපුලුවන. භවාඞ්ග සිත් අධිකව පවත්නා නිදා සිටින කාලයෙහි හෙවත් නින්ද පවත්නා මොහොතෙහි ශරීරය සෘජුව තබා ගැනීමට නොහැකිවන්නේ ඒ හෙයිනි.
අභිඥා බවට පැමිණි රූපාවචර පඤ්චමධ්‍යාන කුසල ක්‍රියා දෙසිත හැර සවිසි (26) අර්පණාජවනයෝ රූප ඉපදවීම පමණක් නොව ඉරියව් වලටද උපස්ථම්භනය කරන්නේය. ගමන විඤ්ඤත්තියෙහි ඇතුළත් බැවින් මෙහි ගත යුත්තේ හිඳීම, සිටීම සහ නිදීම යන තුන් ඉරියව්ය.
අර්පණා ජවනයෝ නම්:
රූපාවචර කුසලක්‍රියා සිත් 10
අරූපාවචර කුසලක්‍රියා සිත් 8
ලොකොත්තර මාර්ගඵල සිත් 8
26
අජිණා ජවන් සිත් විඤ්ඤත්ති නූපදවති
වොට්ඨපන හෙවත් මනොද්වාරාවජ්ජන සිතය 1
එකුන්තිස් කාමාවචර ජවනයෝ-
- අකුසල් සිත් 12 - මහා කුසල ක්‍රියා 16 - හසිතුප්පාදය 1
අභිඥා කුසලක්‍රියා සිත් 2
29
32
යන දෙතිස් චිත්තයෝ කාය වාග් විඤ්ඤත්ති උපද වන්නාහ.
කාමාවචර ජවන් අතුරෙන් සිනහ උපදවන්නාවූ සිත් තෙළෙසකි. (13) එනම්-
- සොමනස්ස අකුසල් සිත් 4 - සොමනස්ස කුසල ක්‍රියා සිත් 8 - හසිතුප්පාද සිතය 1
13
මේ තෙළෙස් චිත්තයන් අතුරෙන් පෘථග්ජනයෝ සොමනස්ස කුසලා කුසල සිත් 8 න් ද, ශෛක්ෂයෝ එනම් නොරහත් ආර්‍ය්‍ය පුද්ගලයෝ සොමනස්ස දිට්ඨිගත විප්‍රයුක්ත දෙසිතය, සොමනස්ස කුසල් සිත් සතරය යන සිත් සයෙන් ද (6), රහත්හු සොමනස් ක්‍රියා සිත් පසෙන්ද (5), බුදුහු සොමනස්ස ඤාණසම්ප්‍රයුක්ත ක්‍රියා දෙසිතෙන්ද සිනහ පහළ කරති. හසිතොත්පාදය බුදු පසේබුදු මහ රහත් යන ආර්ය්යයන්ටම ලැබෙන්නේයයි ඇතැම් ආචාර්‍ය්‍යයෝ කියති. බුදුවරයන්ට හසිතොත්පාදය උපදනා කල්හි ඤාණය පසු පස්සෙහි ගමන් කරණ බවද, අවශේෂ රහතුන්ට ඤාණවිප්රයුක්තවද, උපදනා බව දක්වති ආචාර්‍ය්‍යවාද කෙසේ වෙතත් සර්වඥ බුදුවරයෝ ඤාණසම්ප්‍රයුක්ත සිතින් සිනහ පහළ කරන බව පිළිගත යුතුයි.
හැඬීම ඇතිකරවන්නේ දොෂමුල ජවන් සිත් දෙකෙනි. චිත්තජ ශබ්ද රූපය, වාග් විඤ්ඤත්ති රූපයන් සමඟම, නම අදහස් ශබ්දානුසාරයෙන් මෙරමාහට දන්වනු කැමති කල්හි උපදවනු ලැබේ උදරවාත ශබ්දයද, ඇතැම්වීට නිදන කල්හි ශරීරයෙහි ඇතිවන වෙනත් ශබ්දයෝද චිත්තජ ශබ්ද නොව සෘතුජ ශබ්දයන් බව සැලකිය යුතුයි.
විඤ්ඤත්ති රූපවය ලැබෙන සියලු තැන්හිම ඊර්ය්යා පථයද ලැබෙන්නේය. අවිනිබ්භොග ශුද්ධාෂ්ටකරූප කලාපයෙහි පඨවී ධාතුව වෙන්කොට ගන්නා කල්හි අවශෙෂ රූප ධර්ම සප්තකයද ලැබෙන්නාක් මෙන්, විඤ්ඤත්ති රූපය හා ඊර්ය්යාපථයද, වෙන් නොකොට හැක්කේයි. එහෙත් ඊර්‍ය්‍යාපථ උපදනා හැම කල්හිම විඤ්ඤත්ති රූපයන්ගේද හටගැනීමක් නොවන බව දතයුතුයි.
එමෙන්ම සිනහ උපදවන හැම සිතක්ම සොමනස්ස සහගත සිතක් විය යුතුයි නමුත් හැම සොම්නස් සිතින්ම සිනහ පහළකළ නොහැකි වේ.
අසූනවයක් චිත්තයන් වෙන් වෙන් වශයෙන් බෙදා රූප ඉපදවීම දක්වන්නාවූ තන්හි, කර්මජ රූපය, චිත්තජරූපය, විඤ්ඤත්ති රූපය, ඊර්‍ය්‍යාපථය, සිනහසීමය යන පසක්ම උපදවන්නාවූ චිත්තයෝ අට දෙනෙක, රූප සතරක් උපදවන්නාවූ චිත්තයෝ විසිදෙදෙනෙක, රූප තුනක් උපදවන්නාවූ චිත්තයෝ පස්දෙනෙක, රූප දෙකක් උපදවන්නාවූ චිත්තයෝ සූතිස් (34) දෙනෙක, එක් රූපයක් පමණක් උපදවන්නාවූ චිත්තයෝ සදෙනෙක (6), රූප නූපදවන චිත්තයෝ තුදුසෙක (14)
එය මෙසේ දතයුතුයි:-
| සිත් | උපදවන රූප | ||||||
|---|---|---|---|---|---|---|---|
| නාමය | ගණන | කර්ම | චිත්තජ | විඤ්ඤත්ති | ඊර්‍ය්‍යාපථ | සිනහ සීම | |
| 1 | ලොභමූල සොම්නස් සිත් | 4 | + | + | + | + | + |
| 2 | ලොභ මූල උපෙක්ඛා සිත් | 4 | + | + | + | + | — |
| 3 | දෙෂමූල සහ මොහ මූල සිත් | 4 | + | + | + | × | — |
| 4 | දෙපස්විඤ්ඤාණ සහ අරූපවිපාක සිත් | 14 | — | — | — | — | — |
| 5 | මනොධාතු ත්‍රිකය (සම්පටිච්ඡන-2 + පඤ්චද්වාරාවජ්ජන සිත) | 3 | — | + | — | — | — |
| 6 | සන්තීරණ ත්‍රිකය | 3 | — | + | — | — | — |
| 7 | වොට්ඨපන සිත | 1 | — | + | + | + | — |
| 8 | හසිතුප්පාදය | 1 | — | + | + | + | + |
| 9 | සොම්නස් මහා කුසල් | 4 | + | + | + | + | + |
| 10 | උපෙක්ඛා මහා කුසල් | 4 | + | + | + | + | — |
| 11 | කාමාවචර මහා විපාක | 8 | — | + | — | + | — |
| 12 | සොම්නස් මහා ක්‍රියා | 4 | — | + | + | + | + |
| 13 | උපෙක්ඛා මහා ක්‍රියා | 4 | — | + | + | + | — |
| 14 | රූපාවචර කුසල් සිත් | 5 | + | + | + | + | — |
| 15 | රූපාවචර විපාක සිත් | 5 | — | + | — | + | — |
| 16 | රූපාවචර ක්‍රියා සිත් | 5 | — | + | — | + | — |
| 17 | අරූපාවචර කුසල ක්‍රියා | 8 | — | + | — | + | — |
| 18 | ලොකොත්තර මාර්ග ඵල | 8 | — | + | — | + | — |
මෙසේ හටගන්නාවූ චිත්තජ රූපයෝ පටිසන්ධි චිත්ත යට අනතුරුව පහළ වන්නාවූ පළමුවෙනි භාවඞ්ග චිත්තයාගේ උප්පාදක්ෂණයේ සිට සෑම රූපජනක චිත්තයන්ගේ උප්පාදක්ෂණයේදී එක් එක් චිත්තජරූප කලාපයක් වශයෙන් උපදී සතළොස් චිත්තක්ෂණයකට ආයුෂය ඇති රූප බැවින් ශරීරයෙහි සෑම කල්හිම සමාන්‍ය වශයෙන් චිත්තජ රූප කලාප සතළොසක් (17) තිබිය යුතුයි. නමුත් පඤ්ච ද්වාරික චිත්තවීථි උපදනා කල්හි ද්විපඤ්ච විඤ්ඤාණයන් අතුරෙන් එක් සිතක් උපදින හෙයින් එහි රූප ජනක ශක්තිය නොමැති බැවින් එකක් අඩුවී රූප කලාප සොළොසක් වන්නේය. මේ ක්‍රමයෙන් ශරීරයෙහි නිතර පවත්නා චිත්තජ රූපයන්ගේ සංඛ්‍යාව සොළොසක් හෝ සතළොසක් බව දතයුතුයි. චුතියට පසුවත් චිත්තක්ෂණ සොළොසක් පමණ අවසාන චිත්තජ රූපයෝ ජීවත්වෙති.
තවද චිත්තජ රූප කලාපයෙහි ඇති තෙජො ධාතු වත් චිත්ත පච්චය ඍතු සමුට්ඨාන රූප කලාපයක් ඉපදවීමට සමත් වන්නේය. ඒ තෙජො ධාතු ස්ථිතිප්‍රාප්ත කල්හි ඍතුජ රූප උපදවන්නාහ. මෙසේ ඍතුජ රූප කලාප පරම්පරා වශයෙන් දෙකක් හෝ තුනක් එක් චිත්තජ රූප කලාපයක් නිසා උපදින බව දතයුතුයි.
එමෙන්ම චිත්තජ රූප කලාපයෙහි ඇති ඕජා රූපයද බාහිර ඕජාව හා සංසර්ගය ඇති කල්හි චිත්තපච්චය ආහාර සමුට්ඨාන රූප කලාප පරම්පරා දෙකක් හෝ තුනක් උපදවන්නේය.