අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කම්ම සමුට්ඨාන රූප

මෙහි කම්ම යනු නානාක්‍ෂණික කුසලාකුසල චේතනාවට නමෙකි. නානාක්‍ෂණිකයන්නෙන් සහජාත නොවන පූර්‍වජන්මයෙහි සිද්ධ වූ චේතනාව බව දත යුතුයි.

කර්‍මජ හෙවත් කටත්තාරූපයන් උපදවන චේතනාවෝ පස්විස්සකි (25) එනම්:

අකුසල චේතනා දොළෙසය 12

කාමාවචර කුසල චේතනා අටය 8

රූපාවචර කුසල චේතනා පසය 5

25

මේ කුසලාකුසල කර්‍මයන් සිද්ධ කරන්නා වූ කල්හි හෙවත් කර්‍මසිත් පහළවන්නා වූ කල්හි, එම වර්‍තමාන චේතනාවට එකෙණෙහිම අභිනව කර්‍මජ රූපයන් ඇති කිරීමට සත්ත්‍ව සන්තානයෙහි අවකාශයක් නැත්තේය. එම කර්‍ම චේතනාව නිරුද්ධ වූ පසු, කොපමණ කල් ගත වී හෝ අවකාශලත් අවස්ථාවක කර්‍මජ රූප උපදවනු ලැබේ. එසේ කටත්තා රූප උපදවන කර්මයෝ පළමු කොට ප්‍රතිසන්ධි විපාකය ගෙනදී ඉක්බිතිව රූප උපදවත්. එබැවින් අභිසංස්කරණය කරණ ලද කර්මයෝ හෙවත් මතු විපාක හා රූප ලැබෙන හැටියට සකස් කරණලද කර්මයෝම, පටිසන්ධි විපාක ගෙනදි, එම පටිසන්ධි චිත්තයාගේ පටන් චුති චිත්තක්‍ෂණයට පූර්වයෙහි සතළොස්වන (17) චිත්ත ක්‍ෂණයාගේ උප්පාදක්‍ෂණය දක්වා, එක් එක් චිත්තයාගේ උප්පාද, ඨිති, භඞ්ග යන ක්‍ෂණත්‍රයෙහිම කර්මජ රූප නිපදවන බව දතයුතුයි. ඒ සන්තානයෙහි අන්තිමට පහළවන කර්මජ රූපයෝ, චුති චිත්තක්‍ෂණයාගේ භඞ්ගය හා සමඟම නිරුද්ධ වන්නාහ. උද්ධච්ච සම්ප්‍රයුක්ත අකුසල චේතනාවටද, කර්මජ රූප උපදවාලීමට ශක්තිය ඇතත් පටිසන්ධි විපාක ගෙන නොදෙන හෙයින් කර්මජ රූප ඉපදවීමට අවකාශයක් නො ලැබෙන බව දත යුතුයි. අරූපාවචර කුසල චේතනාවන්ට ප්‍රතිසන්ධි විපාක ගෙනදිය හැකි තමුත්, රූප විරාගය පිණිස ධ්‍යාන වඩා අරූපා වචර භූමියෙහි ප්‍රතිසන්ධිය ලබන බැවින් රූප නුපදවයි. තවද පටිසන්ධි විපාක හා කටත්තා රූපයන් උපදවන ශක්තියක් ලොකොත්තර චිත්තයන්ට නැත.

අටවිසි රූපයන් අතුරෙන් පසාද රූප පසත්, භාවරූප දෙකත්, හදය රූපයත්, ජීවිතෙන්‍ද්‍රිය රූපයත් ඒකාන්තයෙන්ම කර්මයෙන් නිපදවනු ලබන රූපයෝ යි. මේ රූප නවය අන්‍ය ප්‍රත්‍යයකින් ඉපදවිය නො හැකි වේ. මේ රූප නවය හැර කර්මශක්තියෙන් අනේකාන්ත වශයෙන් අවිනිබ්භොග රූප අටත්, පරිච්ඡෙද රූපයත් යන නවවිධ රූපයන් උපදනු ලැබේ.

සෑම කර්මජ රූප කලාපයකම ජීවිතෙන්‍ද්‍රිය රූපය විද්‍යමාන වේ. ලෝකයෙහි අංකුරය උපදවන්නාවූ සියලු බීජ ජාතීහුම, අංකුරය උපදවා විනාශවීයාම ලෝකස්වභාව ධර්මයක් බැවින් කුසලා කුසල කර්ම සඞ්ඛ්‍යාත බීජයද, ප්‍රතිසන්ධි නාමස්කන්‍ධ කටත්තා රූපයන් උපදවා නිරුද්ධවී යන්නේ ය. ජනිත කළ කර්මය නිරුද්ධවූ පසු ඒ කර්මජ රූප කලාපයන්ගේ පාලනයට යම්කිසි ශක්තියක් නොමැති නම් ඒ රූප කලාපයන්ගේ හට ගැනීමක් නොවන්නේ ය. ළදරුවා ප්‍රසූත කළ මව් නැසුනු පසු කිරිමවක් විසින් ඒ ළදරුවා පෝෂණය කරන්නාක් මෙන් ඒ ජනක කර්ම ශක්තියෙන් ඇතිකරණ ලද ජීවිතෙන්‍ද්‍රිය රූප පරම්පරාව සෑම කර්මජ රූප කලාපයක් පාලනය කරමින් පවත්නේ ය. චිත්ත, ඍතු, ආහාර යන ත්‍රිවිධ ප්‍රත්‍යයෙන් උපදවන ලද රූප කලාපයන්ගේ ජීවත්වීමට ඒ ඒ ප්‍රත්‍යයන් විද්‍යමාන බැවින් ඒ ත්‍රිවිධ කලාපයන්ගේ පාලනයට නොහොත් ජීවත්වීමට ජීවිතෙන්ද්‍රියයෙන් ප්‍රයෝජනයක් නැත්තේ ය. මේ කියන ලද්දේ කර්මයාගේ ජනක ප්‍රත්‍යතාවයයි. මේ හැර එක් චේතනාවක් හෙවත් කර්මයක් අන්‍ය ක්‍රමයකින් නොහොත් චිත්ත, ඍතු, ආහාරාදි ප්‍රත්‍යයෙන් හටගන්නාවූ රූපයන්ට උපස්ථම්භන වශයෙන් හා අනුපාලන වශයෙන්ද ප්‍රත්‍ය වන්නේ ය. උපස්ථම්භන ප්‍රත්‍යය යනු යම්කිසි ධර්මයකට අනුබල දෙන, බලවත් කරවන ප්‍රත්‍යය. අනුපාලක ප්‍රත්‍යය යනු යම්කිසි ධර්ම සන්තතියක් ආරක්‍ෂාකරන ප්‍රත්‍යය.

කුසල කර්ම විපාක වශයෙන් ප්‍රසන්නවූ ශරීරාවයවයන් හා මිහිරි කට හඬ ආදිය ලැබෙන කල්හි, කුසල කර්මය උපස්ථම්භන වශයෙන් හා අනුපාලන වශයෙන් උපකාරවී ඍතුජ චිත්තජ ආහාරජ රූප කලාපයන් සොභාමත් කරවන්නේ ය. කර්ම ප්‍රත්‍යයට පමණක් ශරීරයාගේ ශොභාමත් බව ඇතිකරදිය නොහැකිවේ. චිත්තජාදි ප්‍රත්‍යයෙන්ද එය කළ නොහැකි. කර්ම ප්‍රත්‍යයෙන් උපස්ථම්භනය හා පාලනය ලැබූ චිත්තජාදි ප්‍රත්‍යයන්ගෙන් හටගත් රූපයෝම එය සිද්ධ කරන්නාහ. තවද කර්ම ප්‍රත්‍යයෙන් නිපදවන ලද රූප කලාපයෙහි අන්තර්ගත තේජෝ ධාතුව හෙවත් ඍතුව, ඒ ධාතූහුගේ ස්ථිතික්‍ෂණයේදී පටන් ඍතුජ රූප කලාපයෝ උපදවමින් පරම්පරා සතරක් හෝ පහක් පමණ පවත්නේය. එ මෙන්ම එහි ඇති ඕජා රූපයෝද, බාහිර ඕජා රූපයන් හා සංසර්‍ගය ඇති කල්හි ආහාරජ රූප පරම්පරා උපදවන්නාහුය.

පටිසන්‍ධි චිත්තයාගේ උප්පාදක්‍ෂණය පටන් සෑම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම කර්‍මජ රූප කලාපයෝ තිදෙනා බැගින් උපදවන්නාහ. මේ රූප කලාපයන්ට සතළොස් චිත්තක්‍ෂණයක් ආයු ඇති බැවින් සතළොස් වන චිත්තක්‍ෂණයාගේ භඞ්ග අවස්ථාවේදී කර්‍මජ රූප කලාපයෝ (51 × 3=153) එක්සිය තෙපනසක් (153) විද්‍යමාන වන්නේය. මෙසේ සත් සැත්තෑ (77) වන දින රාත්‍රිය දක්වා කර්‍මජ කලාප එක්සිය තෙපනස බැගින් ශරීරයෙහි නිතර පවතී. සත් සත්තෑවන (77) දින රාත්‍රියෙහි චක්ඛු, සොත, ඝාණ, ජිව්හා යන දසක කලාප සතර පහළවන බැවින් එතැන් සිට එක් කුඩා චිත්තක්‍ෂණයක් පාසා කර්‍මජ කලාපයෝ සත් දෙනා බැගින් පහළවන හෙයින් ශරීරයෙහි පවත්නා කර්‍මජ රූප කලාපයෝ (51 × 7=357) තුන්සිය සත්පනසක්ම වන්නේය. මෙසේ උපදින්නාවූ කර්‍මජ රූප කලාපයන්ගේ හටගැනීම චුතියට සතළොස්වන චිත්තක්‍ෂණයට පූර්‍වයෙහිදී නතරවන්නේය. චුතියට පෙර සතළොස් වන චිත්තක්‍ෂණයේ උප්පාද අවස්ථාවේදී පහළවන්නාවූ අවසාන කර්‍මජ කලාපයෝ සත් (7) දෙන චුති චිත්තක්‍ෂණයේ භඞ්ගයත් සමඟ නිරුද්ධ වන්නාහ.

මෙහි දක්වන ලද්දේ නොපිරිහුණු පරිපූර්‍ණ ඉන්‍ද්‍රියන් ඇති ගබ්භ සෙය්‍යක සත්ත්‍ව සන්තානයෙහි පහළවන රූපයෝයි. ඉන්‍ද්‍රිය විකලත්‍වය ඇති කල්හි ඒ ඒ ඉන්‍ද්‍රියයන් සඳහා හටගන්නා කර්‍මජ කලාප හට නොගන්නා බව දත යුතුයි.