කම්මඤ්ඤතා රූපය
යම් රූපයක්හුගේ හෙවත් රූපයක් පිළිබඳව කර්මණ්ය බවක්, වැඩෙහි යෙදවිය හැකි බවක්, ක්‍රියාවන්ට යෝග්‍ය බවක් වේද, එය රූපයාගේ කම්මඤ්ඤතා බව හෙවත් කම්මඤ්ඤතා රූපය නම් වේ.
අසප්පාය ඍතු, චිත්ත, ආහාරාදිය සේවනය කිරීමෙන් ශරීරයෙහි නොයෙක් ආබාධ ඇතිවී අකර්මණ්‍ය භාවයට හෙවත් වැඩට අයෝග්‍ය බවට පත්වේ. එවිට සප්පාය ඍතු ආහාරාදිය සේවනය කිරීමෙන් අකර්මණ්‍ය භාවය දුරුවී නැවත කර්මණ්ය භාවයට පත්වන්නේය. කම්මඤ්ඤතා රූප අධික රූප කලාපයන්ගේ පහළවීමෙන් මනාකොට සකස් කරණ ලද ස්වර්ණයක් මෙන්, ශරීරය කර්මණ්ය බවට හෙවත් කටයුත්තට යෝග්‍ය බවට, අනුකූල බවට පත් වන්නේය.
කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර ප්‍රත්‍යයෙන් හටගන්නා රූප කලාපයන් අතුරෙන් කර්මජ රූපකලාපයන් හැර, චිත්තජ, ඍතුජ, ආහාරජ යන ත්‍රිවිධ රූපකලාපයන්හි මේ විකාර රූප ඇතිවන්නට අවකාශ තිබේ. එසේ හටගන්නා කල ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුනම එකවර, එකම රූපකලාපයෙහි ඇතුළත්ව පහළවනු මිස වෙන් වෙන්ව හට නොගනි. ශරීරයෙහි ඇතිවන්නාවූ බර බව දුරු කොට සැහැල්ලු බව ඇති කරවන කල්හි ලහුතා රූපය බලවත් වී මුදුතා, කම්මඤ්ඤතා යන රූප වයට වඩා ප්රකටව දැනෙන්නේය. එමෙන්ම තද බව දුරු කොට මෘදු බව ඇති කරවන කල්හි මුදුතා රූපය බලවත්වී ලහුතා, කම්මඤ්ඤතා යන රූප වයට වඩා ප්රකටව දැනෙන්නේය. අකර්මණ්‍ය භාවය පහකොට කර්මණ්ය භාවය ඇති කරවන කල්හි කම්මඤ්ඤතා රූපය බලවත්වී ලහුතා මුදුතා යන රූප වයට වඩා ප්රකටව දැනෙන්නේය.