ලක්ෂණ රූප
ලක්ෂණ රූප සතරෙකි. එනම් :-
- උපචය රූප
- සන්තති රූප
- ජරතා රූප
- අනිච්චතා රූප
රූපයන් පිළිබඳව ඒ ඒ ක්‍රියාවන් හෙවත් අවස්ථාවන් හැඳින ගැනීමට උපකාරවන උත්පාදාදී ලක්ෂණයන්ගෙන් යුක්ත රූප ලක්ෂණ රූප නම් වේ.
සියලුම රූප කලාපයන්ට ඉපදීමය හෙවත් උත්පාදය, දිරීමය හෙවත් ජරාවය, බිඳීමය හෙවත් භඞ්ගය යයි අවස්ථා තුනෙක් ඇත්තේය.
කර්මජ රූපයන් පිළිබඳ වූ උත්පාදය දෙයාකාර වේ. ගබ්භසෙය්‍යක හෙවත් මව් කුස පිළිසිඳ ගන්නා සත්ත්වයන් හට පටිසන්ධික්ෂණයෙහිම කාය දසක, භාව දසක, වස්තු දසක යයි රූප කලාප තුනක් පහළ වේ. මෙය පළමු උත්පාදය හෙවත් ප්‍රථමයෙන් උපදින රූපයෝය. මෙසේ උපදනා රූප කලාපයන් මතුයෙහි තවත් බොහෝ රූප කලාපයන්ගේ උත්පාදය හෙවත් පහළවීම ඇතිවන නිසා සත්ත්වයාගේ වැඩීම ඇතිවේ. මෙය මතු මත්තෙහි වැඩෙන රූපයෝයි. මෙසේ මතු මත්තෙහි වැඩෙන්නාවූ රූප කලාපයෝ චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක යන සතර රූප කලාපයන්ගේ පහළවීමෙන් සම්පූර්ණ වන්නේ ය. මනුෂ්‍යයන්ට වනාහි පටිසන්ධියේ සිට එකොළොස්වන සති අන්තයේදී හෙවත් සත් සැත්තෑ (77) වන දිනය වන විට මෙකි සතර රූප කලාපයන්ගේ පහළවීමත් සමඟම ඒ සත්ත්ව සන්තානයෙහි ඇතිවිය යුතු රූප පරම්පරා සියල්ලම වැඩී අවසන් වේ. මන්දායුෂ්ක හෙවත් ස්වල්ප කලක් ජීවත්වන්නාවූ සත්ත්වයන්ට සම්පූර්ණ ආයතන ඇතිවීමට එ පමණ කලක් ගත නො වේ.
මෙසේ පළමුකොට පහළවන්නාවූ කාය දසක, භාව දසක, වත්ථු දසක යන රූප කලාපයන්ගේ උත්පාදයත්, එම රූපයන් මතුයෙහි වැඩෙන්නාවූ චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක යන සතර රූප කලාපයන්ගේ වැඩීම අවසන් වන තෙක් වැඩෙන්නාවූ රූපයන්ගේ උත්පාදයත් උපචය රූප නම් වෙත්. සංසේදජ, ඕපපාතික යන සත්ත්වයන්ගේ ප්රතිසන්ධික්ෂණයෙහි ඒ ඒ සත්ත්වයන්ට ඇතිවන ආයතන සම්පූර්ණව පහළවන බැවින් රූපයන් පිළිබඳ පළමු ඉපදීමත්, මතු මතුයෙහි වැඩෙන රූපත් එයම වන්නේය. එබැවින් උපචය රූපය යයි කී කල්හි මෙකී රූපයන්ගේ උත්පාද අවස්ථාව හෙවත් උත්පාද ලක්ෂණය ඇති රූපය බව දත යුතුයි.
සත්ත්ව ශරීරයෙක්හි ඇතිවිය යුතු රූප පරම්පරා සියල්ලම වැඩී අවසන් වූ පසු ඒ ශරීරයාගේ පැවැත්ම ඇතිකරවනු පිණිස, නිරුද්ධ වන්නාවූ රූප කලාපයන් වෙනුවට සන්තතිය කඩ නොකොට, අභිනව රූප කලාප නිරන්තරයෙන්ම පහළ වන්නේය. මෙසේ සන්තතිය නොබිඳ පවත්නා රූපයන්ගේ උත්පාද ලක්ෂණය ඇති රූපයන්ට සන්තති රූප යයි කියනු ලැබේ.
මෙසේ පළමුව හටගන්නාවූ ද, මතු මතුයෙහි වැඩෙන්නා වූ ද උපචය රූපයන්ට හා සන්තතිය බිඳිය නොදී හටගන්නා වූ සන්තති රූපයන්ට ද ජාති රූප යයි කියන ලදී.
චිත්තජ, සෘතුජ, ආහාරජ රූපයන් පිළිබඳව පළමු පහළවීම සහ වැඩීම වශයෙන් ඇතිවන රූප උපචය රූප වශයෙන් ද, පැවැත්මේදී නැවත නැවතත් උපදින්නාවූ රූප කලාපයන්ගේ උත්පාදය සන්තති රූප වශයෙන්ද සැළකිය යුතුයි.
රූප කලාපයාගේ උත්පාදයෙන් පසු ඒ රූපයෝ ක්‍රමයෙන් දිරීමට පත්වේ. මෙය සෑම රූපයන්ටම සාධාරණ ලක්ෂණයක් බව දතයුතු. නො දිරන්නාවූ රූපයක් නම් නැත රූප කලාපයෝ ඇසට නොපෙනෙන බැවින් එහි උත්පාදයත්, ජරාවත් නොපෙනේ. මෙසේ දිරීම් ලක්ෂණය ඇති රූපයට ජරතා රූපය යයි කියති. කුඩා කාලයේදී ශරීරයාගේ වැඩීම ප්‍රකට බැවින් දිරීම අප්‍රකට වේ. නමුත් ශරීරය වැඩි අවසන් වූ පසු දිරීම ප්‍රකට වන්නට ආරම්භ වේ. හිස කෙස් පැසීම, දත් වැටීම, ඇඟ රැලී වැටීම යනාදියෙන් ජරාව තදින් බල පවත්නා බව අවබෝධ වේ. හිසකෙස් පැසීම් ආදිය දිරීමම නොව දිරීම ඇතිවූ බව පළකරවන එක්තරා ලක්ෂණයෙකි. රූපයාගේ ආයුෂ කාලයෙන් එනම් සතළොස් (17) චිත්තක්ෂණය හෙවත් කුඩා චිත්තක්ෂණ එක්පනසෙන් (51) පළමුවෙනි කුඩා චිත්තක්ෂණය ඒ රූපයාගේ උත්පාදය හෙවත් උපචය රූපය නම් වේ. දෙවෙනි කුඩා චිත්තක්ෂණය පටන් පනස්වන චිත්තක්ෂණය දක්වා දිරීමට පැමිණි කාලය බැවින් ඒ කුඩා චිත්තක්ෂණය එකුන් පනස (49) ජරතා රූපයා ගේ ආයුෂය වේ. මෙසේ දිරා අවසන් වන්නේ පනස් එක්වන කුඩා චිත්තක්ෂණයේදී ය එතැන්හිදී රූපයාගේ භඞ්ගය හෙවත් නිරුද්ධය ඇතිවේ එබැවින් පනස් එක්වන චිත්තක්ෂණයට පැමිණි රූපය අනිච්චතා රූපය බව දත යුතුයි.