අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වචී විඤ්ඤත්ති රූපය

සත්ත්‍වයෝ තම අදහස ශබ්දානුසාරයෙන් අනුන් හට දැන්වීමට කැමැති කල්හි ඒ සමගම උපදින්නාවූ චිත්තයන් ගේ ශක්තිය කරණකොට ගෙණ පඨවි, ආපො, තෙජො, වායො, වණ්ණ, ගන්‍ධ, රස, ඕජා යන සුද්ධාෂ්ඨක රූප කලාපයත් සමගම, එම භුත රූපයන්ගේ සංඝට්ටනයෙන් ශබ්ද රූපය ද උපදවා, මෙරමා හට තම අදහස හඟවන්නට ප්‍රත්‍යවූ යම් විකාර ස්වභාවයක් පහළවේ නම් එය වචී විඤ්ඤත්ති රූපය නම් වේ. මේ වචී විඤ්ඤත්ති රූපය කරණකොටගෙණ අන්‍යයෝ ද තම අදහස් දැනගනිත්. මේ රූපය සිතින්ම උපදවනු මිස අන් ක්‍රමයකින් ඉපදවිය නොහැකිය. මේ සමග උපදනා ශබ්ද රූපයට සමාන ශබ්ද රූපයෝ සෘතු ශක්තියෙන් ඉපදවිය හැකි වේ. යම් පුද්ගල යෙක් තම අදහස මෙසේ වචී විඤ්ඤත්ති රූපයන්ගේ උපකාරයෙන් ප්‍රකාශ කරණ ලද්දේ වේද, එම ශබ්ද රූපය සහිත වූ සුද්ධාෂ්ඨක රූප කලාපයන්ට සමාන රූප කලාපයෝ රේඩියෝ ග්‍රැමපෝන් ආදී වූ යන්ත්‍ර වලින් ද සෘතූජ රූප කලාප වශයෙන් නැවත නැවතත් ප්‍රකාශ කරවන්නට හැකි වන්නේය. නමුත් එහි වචී විඤ්ඤත්ති රූපයෝ නැත.

වචී විඤ්ඤත්ති රූපය වනාහි එක් චිත්තක්‍ෂණයකට ආයුෂය ඇති රූපයකි. ඒ සමගම උපදනා අනිකුත් චිත්තජ රූපයෝ චිත්තක්‍ෂණ සතළොසක් (17) ආයු වළඳති. ඒ රූප කලාපය උපදවන ලද සිතෙහි නිරුද්ධයත් සමගම වචී විඤ්ඤත්ති රූපයෝ ද නිරුද්ධ වෙති. ශබ්ද රූපයා සහිත වූ ඉතිරි රූපයෝ සතළොස් චිත්තක්‍ෂණයම ආයු වළඳා ශබ්ද ප්‍රකාශකොට නිරුද්ධ වන්නාහ.

මෙසේ තම අදහස හැඟවීමට වචන ප්‍රකාශ කරණ කල්හි ඒ සිත්වලින්ම උපදවනු ලබන චිත්තජ වායෝ ධාතුව අධික රූප කලාපයන් ගල නළය පටන් දෙතොල් දක්වා ඒ ඒ ශබ්දයන් ඉපදවීමට හැකිවන සේ ඒ ඒ තැන්වල උපදවා ආශ්වාස ප්‍රශ්වාස වායුවත් උපකාර කොටගෙන උච්චාරණය කොට ශබ්ද හෙවත් වචන නිකුත් කරන්නේය. වචනයකට ඇතුළත් ඒ ඒ අක්‍ෂරයන් හෙවත් ශබ්දයන් නොයෙක් තැන්වල ඉතා ශීඝ්‍රව උපදවනු ලබන හෙයින් එක් වරට නිකුත්වන වචනයන් මෙන් අන්‍යයන්ට ඇසෙන්නේය. ඔවුන්ගේ ශ්‍රෝතප්‍රසාදය හා ස්පර්‍ශ වන්නාවූ මේ ශබ්දයෝ එයට පෙරත් අසා පුරුදු ඇත්නම්, ශබ්දය නිකුත් කළ පුද්ගලයා විසින් හඟවනු ලබන අදහස දැනගත හැකි වේ.

එබැවින් මේ වචී විඤ්ඤත්තිය, වාග් විශේෂ ජනක චිත්තජ පඨවි ධාතුහුගේ අක්‍ෂරොත්පත්ති ස්ථානෝපගත කම්මජ රූපයන් හා ගැටීම ප්‍රත්‍යයකොට ඇති ආකාර විශේෂයක් බව දක්වන ලදී.