අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාය විඤ්ඤත්ති

ඉදිරියට යාම ආපසු ඊම, අත් පා දිගහැරීම, හැකිළීම යනාදි කායික ක්‍රියාවන් පවත්වන්නාවූ, සිත නිසා පැවැති වායො ධාතුව හා එක්ව හටගන්නාවූ, රූප කායට රුකුල් දීමෙන් සැළීම්, පිහිටුවීම් ආදි ඒ ඒ ක්‍රියාවන් උපදවන්නාවූ ආකාර විශේෂය කාය විඤ්ඤත්ති නම් වේ. යෑම් ඊම ආදී ක්‍රියාවක් කරණ කල්හි, සැළෙන්නාවූ ශරීරාඞ්ගයන් දැක, පිටත සිටින්නවුන් හට, මොහු හිඳින්නේය, සිටින්නේය, වටපිට බලන්නේය, මේ මේ කරුණු හඟවන්නේය යනාදී දැනීමක් ඇතිවන්නේ මේ කාය විඤ්ඤත්තිය හේතුකොට ගෙණය. එය වායො ධාතුව අධික චිත්තජ මහා භූතයන්ගේ ශක්තියෙන් ම සිදුවන්නේය. ශරීරාවයවයන්ගේ සැළීම විඤ්ඤත්තිය නොවන බවත්, ඒ සැළිම කරන්නාවූ චිත්තජ වායො ධාතු අධික මහා භුතයන්ගේ විකාරයම විඤ්ඤත්තිය බවත් දත යුතුයි.

යම් පුද්ගලයෙකු හට ඇවිදිමියි අදහසක් උපන් කල්හි කෙසේ ඇවිදිමිද, කවර තැනෙක්හි, කවර දිසාවක් බලා යන්නෙම්ද යනාදි වශයෙන් සිතමින් චිත්ත වීථි රාශියක් ඇතිවන්නේ වුවමුත් එයින් ඇවිදීමක් නොවන්නේය. ඇවිදීමක් ඇතිවන්නට නම් පළමුකොට එක් පාදයක් ඔසවා ඉදිරියට යවා ඉදිරි පාදය පොළොවෙහි පිහිටුවා, දෙවෙනි පාදය ද එසේම ඔසවා පළමු පාදයට ඉදිරියෙන් පිහිටුවා ගෙන මේ ක්‍රමයෙන් පාදයන් ක්‍රියා කළයුතුවේ. මේ ක්‍රියාවන් සිදුකිරීමට විශේෂ ශක්තියක් ඇතිවිය යුතුයි. එසේ විශේෂ ශක්තියක් නැති කල්හි ඇවිදීමක් නොවන්නේය. මේ විශේෂ ශක්තිය ඒ පුද්ගලයන් හට ඇතිවූ අදහස් අනුව ඒ සිත්වලින්ම ඉපිදවිය යුතු ශක්තියකි. ක්‍රියා කරවන්නට අදහස් කළ ශරීරාවයවයන්, රෝගාබාධයකින් හෝ, අනතුරකින් හෝ, මොළය හා සම්බන්‍ධය නැතිවීමෙන් හෝ, මොළයෙහි දෝෂයකින් හෝ, දුබල නොවී පවතී නම් තම සන්තානයෙහි උපන් ඒ චිත්තයන්ගේ ශක්තියෙන් චිත්තජ වායො ධාතුව අධික රූප කලාපයන් ඒ ඒ ශරීරාවයවයන්හි උපදවනු ලැබේ. එසේ උපදවනු ලබන්නාවූ ඒ වායො ධාතු අධික රූප කලාප සන්තතිය උපකාර කොටගෙණ ඒ ඒ අවයවයන් සැළෙන්නට ද, අදහස් කළ පරිද්දෙන් ඉදිරියට පමුණුවන්නටද පටන්ගනී. මේ උපදවනු ලබන චිත්තජ වායො ධාතුන් ඇතිතාක් කල් ඒ ඒ ශරීරාඞ්ගයන් ක්‍රියා කරන්නේය. ගමන නතර කිරීමට අදහසක් උපන් කල්හි පළමු ගමනට උවමනා වූ ශරීරාඞ්ග යන්හි උපදවන ලද චිත්තජ වායො ධාතු සන්තතිය නැවතී ඒ වෙනුවට සිටීමට හෝ හිඳීමට හෝ, කැමැති යම් ඉරියව්වකට උපකාරවන ශරීරාඞ්ගයන්හි වායො ධාතුව උපදවන්නට පටන්ගන්නේය. එවිට ඔහුගේ ගමන නතරවී සිටීම හෝ හිඳීම හෝ වන්නේය. මෙසේ ශරීරය පිළිබඳවූ සෑම ක්‍රියාවක්ම චිත්තජ වායො ධාතු අධික රූප කලාපයන්ගේ ඉපැද්මෙන්ම කළයුතු වේ. එබැවින් කාය විඤ්ඤත්තිය යයි කියනු ලබන්නේ තම අදහස් හැඟවීම පිණිස චිත්තජ වායො ධාතු අධික රූප කලාපයන් නිසා සැළෙන්නාවූ ශරීරාඞ්ගයන් කරණකොටගෙණ දතයුතු රූපයකි.