අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඵරුසා වාචා අකුසල කර්මය

සිත රිදවන තද වචන ඵරුසා වාචා නම් වේ. ඵරුස බස් අනුන් පෙළන අදහසින් කියන කල්හි ඇතිවන ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනා චෛතසිකය ඵරුසාවාචා අකුසල කර්මය නම් වේ. අඞ්ග තුනකින් සම්පූර්ණ වූ කල්හි එය කර්මපථයක් වන්නේය. එම අඞ්ග තුන නම්:-

  1. ආක්‍රොස කරණු ලබන අන්‍ය පුද්ගලයෙකු වීම.
  2. පටිඝ හෙවත් තරහ සිතක් ඇතිවීම.
  3. ආක්‍රොස කිරීම.

ඵරුසාවාචා අකුසල කර්මය පටිඝ සම්ප්‍රයුක්ත අකුසල් සිතකින්ම සිද්ධවන්නේය. ඵරුස වචනයේ තද බැව්හි හැටියටත් ආක්‍රොස කරණු ලබන පුද්ගලයාගේ ගුණ මහත්වයේ හැටියටත් කර්මයාගේ මහාසාවද්‍ය අල්ප සාවද්‍ය බව සිදුවේ. මේ කර්මයද වචී කර්මයක් වන්නේවී නමුත් අනුන්ගේ හෘදය පෙළන වචන පත්‍රාදීන්හි ලියා යැවීමෙන් කායද්වාරයෙහි ද සිදුවේ. ඵරුසාවාචා අකුසල කර්මානු භාවයෙන් මතු සතර අපායයන්හි පටිසන්ධිය ලැබ නොයෙක් දුක් විඳින්නට සිදුවේ.