කාමමිථ්‍යාචාර අකුසල කර්මය
මෙහි කාම යනුවෙන් ස්ත්‍රී පුරුෂයන් හඟවයි. මිථ්‍යාචාර යනු වරදවා හැසිරීමයි. ස්ත්‍රී පුරුෂයන්ගේ වැරැදි හැසිරීමට කාම මිථ්‍යාචාරය යි කියනු ලැබේ. පුරුෂ තෙමේ පර ස්ත්‍රීන් සේවනය කරණ කල්හිද, ස්ත්‍රී තොමෝ පරපුරුෂයන් සේවනය කරන කල්හිද, උප දින්නාවූ යම් ආශ්වාද චේතනාවක් වේද, එය කාමමිථ්‍යාචාර අකුසල කර්මය නම්වන්නේය.
අඞ්ග සතරකින් සම්පූර්ණ වූ කාමමිථ්‍යාචාර අකුසල කර්මය, කර්මපථ බවට පැමිණෙන්නේය. එම අඞ්ග සතර නම්:—
- පර ස්ත්‍රියක් හෝ පර පුරුෂයෙක් වීමය.
- සේවන සිත ඇතිවීමය.
- උපක්‍රමය හෙවත් සේවනය කිරීමය.
- අධිවාසනය හෙවත් එය ඉවසීමය.
මෙහි දක්වන ලද පර ස්ත්‍රීහු විසිදෙනෙක් වෙති. එනම්:—
- මාතුරක්ඛිතා නම් වූ මව විසින් රක්නාලද ස්ත්‍රිය.
- පිතුරක්ඛිතා නම් වූ පියා විසින් රක්නාලද ස්ත්‍රිය.
- මාතුපිතුරක්ඛිතා නම් වූ මව්පිය දෙදෙනා විසින් රක්නාලද ස්ත්‍රිය.
- භගිනිරක්ඛිතා නම් වූ සහෝදරිය විසින් රක්නාලද ස්ත්‍රිය.
- භාතුරක්ඛිතා නම් වූ සහෝදරයා විසින් රක්නාලද ස්ත්‍රිය.
- ඤාතිරක්ඛිතා නම් වූ නෑයන් විසින් රක්නාලද ස්ත්‍රිය.
- ගොත්තරක්ඛිතා නම් වූ ස්වකීය ගොත්‍රයන් විසින් රක්නා ලද ස්ත්‍රිය.
- ධම්මරක්ඛිතා නම් වූ සහ ධාර්මිකයන් විසින් රක්නාලද ස්ත්‍රිය
- සාරක්ඛා නම් වූ ගැබව සිටියදී හෝ මෝ මාගේ යයි රක්නා ලද ස්ත්‍රිය.
- සපරිදණ්ඩා නම් වූ අසුවල් ස්ත්‍රිය කරා ගියහොත් මෙතෙක් දඩ යයි නියමකරන ලද ස්ත්‍රිය.
- ධනත්තිකා නම් වූ ධනය දී ගන්නා ලද ස්ත්‍රිය.
- ඡන්දවාසිනි නම් වූ සිය කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයා ළඟ වසන්නාවූ ස්ත්‍රිය.
- භෝගවාසිනි නම් වූ භෝග නිසා භාර්‍ය්‍යා බවට පත්වූ ස්ත්‍රිය
- පටවාසිනී නම් වූ වස්ත්‍රය මාත්‍රයෙන් භාර්‍ය්‍යා බවට එළඹ සිටි ස්ත්‍රිය.
- ඔදපත්තකිනී නම් වූ පැන් කලයෙහි අත බහා මේ ජලය මෙන් එක්ව වසමු යයි කැමැතිකොට වසන්නාවූ ස්ත්‍රිය.
- ඕහතවුම්බටා නම් වූ දර දිය අදින තැනැත්තී විසින් හිසින් සුමුලුවම බිමතබා බිරින්ද බවට ගත්තාවූ ස්ත්‍රිය.
- දාසිභරියා නම් වූ දාසීව භාර්‍ය්‍යාව බවට ගත් ස්ත්‍රිය.
- කම්මකාරි භරියා නම් වූ බැළමෙහෙ කරන්නීව භාර්‍ය්‍යා බවට ගත් ස්ත්‍රිය.
- ධජාහටා නම් වූ යුදකොට ජය ගෙන පරදෙසින් ගෙනෙන ලද ස්ත්‍රිය.
- මුහුත්තිකා නම් වූ මොහොතකට බිරින්ද බවට ගන්නාලද ස්ත්‍රිය.
මෙකී ස්ත්‍රීන් අතුරෙන් කවර ස්ත්‍රියකු සමඟ හෝ මෙවුන් දම් සේවනය කරන පුරුෂයා හට කාමමිථ්‍යාචාර අකුසල කර්ම පථය සිද්ධ වන්නේය.
මාතුරක්ඛිතා, පිතුරක්ඛිතා, මාතාපිතුරක්ඛිතා, භගිනි රක්ඛිතා, භාතුරක්ඛිතා, ඤාතිරක්ඛිතා, ගොත්තරක්ඛිතා, ධම්මරක්ඛිතා, යන ස්ත්‍රීහු අටදෙනා හට, ඔවුන් ගේ ස්පර්ශය පිළිබඳව ස්වාමීහු නැති බැවින්, පරපුරුෂ සේවනයෙහි කර්මපථය සිද්ධ නොවේ. මේ කාමමිථ්‍යාචාරයද කායද්වාරික අකුසල කර්මයකි.
කාය කර්මයක් වූ සූරාමේරය පානයද, ස්පර්ශකාම ගුණයෙහි චරදවා පිළිපදනා හෙයින් කාමමිථ්යාචාරයෙහිම ඇතුළත් වේ.
තවද, කාමමිථ්‍යාචාරයෙහි හැසිරෙන්නාවූ ස්ත්‍රී පුරුෂයන් හට මෙලොවදීම නොයෙක් වද, හිරිහැර, නින්ද, අපහාස ලැබීමටත්, මරණින් මතු සතර අපායෙහි ඉපිද, නොයෙක් දුක් විඳීමටත් සිදු වන්නේය. මනුෂ්‍යාත්මයක් ලැබුනේවීනම් නපුංසකව විරූපව උප දිති. බොහෝ ජාතීන්හි ස්ත්රීන්වම උපදිති. ස්වාමි කුලයට ගියේවී නමුත් ඔවුනොවුන් අවිශ්වාසව, අප්‍රියව, අමනාපව කුකුස් සහිතව වෙසෙති. නොකල්හිම බිඳී වෙන් වෙති.
යම් ස්ත්‍රියක් පරපුරුෂ සේවනය කරන්නීද, ඒ ස්ත්‍රිය මතු සසරදී ස්ත්‍රීභාවයෙන් සදහටම නො මිදේ. යම් පුරුෂයෙක් පරස්ත්‍රි සේවනය කෙරේ ද, හෙතෙමේ පරලෙව්හි ස්ත්‍රියක්වම උපදී.
කාම මිථ්‍යාචාර අකුසල කර්මය ලෝභ මූල සිතකින්ම සිදු වන්නේය.