අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අදින්නාදාන අකුසල කර්මය

නුදුන් දෙය ගැන්ම අදින්නාදාන නම් වේ. අන්සතු වස්තුව හෙවත් තමන් වෙත නුදුන් දෙය ගැණීම යන අදහසයි. එසේ ගැණීමේදී ඇතිවන ජවන චිත්තයන් හා සම්ප්‍රයුක්ත චේතනා චෛතසිකය අදින්නාදාන අකුසල කර්මය නම් වේ. අර්ථ සාධකවූ හෙවත් අඞ්ග පසකින් සම්පූර්ණවූ එම සොරකම අදින්නාදාන අකුසල කර්ම පථය නම් වේ. එයින් එකක්වත් අඩුවී නම් කර්මපථ බවට නොපැමිණේ.

එහි අඞ්ග පස නම්:—

  1. අන් සතු වස්තුවක් වීමය.
  2. අන් සතු වස්තුව බව දැනීමය.
  3. අන් සතු වස්තුව සොරා ගැණීමට සිත්වීමය.
  4. එම වස්තුව පැහැර ගැණීමට උපක්‍රම යෙදීමය.
  5. අන් සතු වස්තුව සොරකම් කිරීමය.

සොරකම් කරණ තැනැත්තා ලොභ සිතින් අන් සතු වස්තුව පැහැර ගන්නා කල්හි ලොභ මූල අකුසල් සිතකින්ද, ක්‍රෝධයෙන් හෝ පලිගන්නා අදහසින් හෝ පැහැර ගන්නා කල්හි ද්වේෂ මූල සිතකින්ද අදින්නාදාන අකුසල කර්මය සිද්ධ වන්නේය. මේ අදින්නාදාන අකුසල කර්මය බොහෝසෙයින් කායද්වාරයෙන් සිදුවන්නේ වී නමුත් ආණත්තික වශයෙන් හෙවත් අණකොට අන් කෙනෙකු ලවා සොරකම් කරවීමේදී වාග්ද්වාරයෙන්ද සිද්ධ වන්නේය.

අදත්තාදාන අකුසල කර්මයෙහි විපාක වශයෙන් මෙලොවදී නොයෙක් දුක්, හිරිහැර, නින්දා, අපහාස, වධ විඳීමටද සිදුවී එම අකුසලානුභාවයෙන් මරණින් මතු ඉතා දීර්ඝ කාලයක් සතර අපා දුක් විඳ, යම් විටෙක මිනිසත් බවක් ලද්දේවීනම් ඉතා අසරණ දුගී බවට ද පත්වන්නේය.