අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පාණාතිපාත අකුසල කර්මය

ප්‍රාණ යනු සම්මුති වශයෙන් සත්ත්වයාටද, පරමාර්ථ වශයෙන් ජීවිතෙන්ද්‍රියටද කියන නමෙකි. සත්ත්වයෙකුගේ ස්වාභාවික පතනය හෙවත් ස්වාභාවික මරණය වළකා අතිපතනය හෙවත් ප්‍රයෝග බලයෙන් සත්ත්වයෙකුගේ මරණය සිද්ධ කිරීම පාණාතිපාතය නම් වේ. එ වැනි හෙළීමක් හෙවත් මරණයක් සිදු කරන්නාවූ කල්හි උපදනා අකුසල ජවන චිත්ත වීථින්හි හට ගත් ජවන චිත්තයන්හි සම්ප්‍රයුක්ත වූ චෙතනා චෛතසිකයෝ ප්‍රාණඝාත අකුසල කර්ම නම් වෙත්. ඒ චිත්ත වීථින් අතුරෙන් ද අර්ථ සාධක නොවන්නාවූ ජවනයන් කර්ම වශයෙන් ද අර්ථසාධක ජවන කර්ම පථ වශයෙන්ද සළකනු ලැබේ.

කර්මපථ බවට පැමිණි කර්මයෝ පටිසන්ධි විපාක දී අනතුරුව ප්‍රවෘත්ති විපාකද දෙති. කර්මපථ බවට නොපැමිණි කර්මයෝ ප්‍රවෘත්ති විපාක පමණක් දෙති.

ප්‍රාණඝාත අකුසල කර්මපථයක් සිදුවීමට අඞ්ග පසක් සම්පූර්ණ විය යුතුයි. එයින් එකක් හෝ අඩුවී නම් කර්මපථයක් නොවී සාමාන්‍ය ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් දෙන්නාවූ කර්මයක් වන්නේය. ඒ අඞ්ග පස නම්:--

  1. සතෙකු වන බවය.
  2. සතෙකු බව දැනීමය.
  3. සත්ත්වයා මැරීමට සිතක් ඇතිවීමය.
  4. සත්ත්වයා මැරීමට උපක්‍රම හෙවත් ප්‍රයෝග යොදන බවය.
  5. සත්ත්වයාගේ මරණය සිදුවීමය.

මෙහි උපක්‍රම හෙවත් ප්‍රයෝග සයෙකි. එනම්:-

  1. සාහත්ථික ප්‍රයෝගය - තමා විසින් හෙවත් තම අතින් මැරීම.
  2. ආණත්තික ප්‍රයෝගය - අනුන් ලවා මැරවීම,
  3. නිස්සග්ගිය ප්‍රයෝගය - ගල්, පොලු දඬු මුගුරු ආදියෙන් ගසා හෝ වෙඩි තැබීම් ආදියෙන් හෝ මැරීම.
  4. ථාවර ප්‍රයෝගය - බොරු වලවල් කැණිම, උගුල් ඇටවීම ආදියෙන් මැරීම.
  5. සෘද්ධිමය ප්‍රයෝගය - සෘද්ධි බලයෙන් මැරීම.
  6. විද්‍යාමය ප්‍රයෝගය - මන්ත්‍ර ගුරුකම් ආදියෙන් මැරීම

මෙයින් යම්කිසි ප්‍රයෝගයකින් සතෙකු මරණ කල්හි අඞ්ග සම්පූර්ණ වී නම් ප්‍රාණඝාත අකුසල කර්මපථය සිද්ධ වන්නේය. මෙයින් ආණත්තික ප්‍රයෝගයෙන් සතෙකු මරණ කල්හි වාග්ද්වාරයෙන් අකුසලය සිද්ධ වන බව සැලකිය යුතුයි.

ප්‍රාණඝාත කර්මය සිදුකරණ කල්හි, ද්වේෂමූල දොමනස්ස සහගත පටිඝසම්ප්‍රයුක්ත සිත් දෙකින් මිස අන් අකුසල සිතකින් සිදුකළ නොහැකි වේ. කොපමණ සතුටින් සිනහ සෙමින් සත්ත්ව ඝාතනය කිරීමට තැත් කරන්නේ වී නමුත් තමා ගේ අදහස ඉටු කර ගැනීමට සත්ත්වයාගේ ජීවත්වීම බාධාවක් වන බැවින් එය නැතිකරණ අවස්ථාවෙහි පටිඝ සිතක්ම උපදින්නේය. මෙවැනි පාපකර්මයක් මරණාසන්නයේදී අරමුණු වුවහොත් ඒකාන්තයෙන්ම දෙවන ‘අත්බැව්හි අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් සතර අපායෙහි පටිසන්ධිය ගෙන දෙන්නේය. එයට පසුව එහි ප්‍රවෘත්ති විපාක වශයෙන් අහේතුක අකුසල විපාක සිත් සතම ලැබීමෙන් ඉතා දීර්ඝ කාලයක් දුක් විඳිමින් නැවත පටිඝ ජවන් උපදවමින් අපා දුකට ම පමුණුවන්නාහ.

සත්ත්ව ඝාතනය කිරීමේදී සත්ත්වයාගේ ගුණවත් කමේ හැටියටත් ශරීර ප්‍රමාණයේ හැටියටත් කර්මයෙහි බරපතල භාවය අඩු වැඩි වන්නේය. ආර්‍ය්‍ය පුද්ගලයන්, සිල්වත් පෘථග්ජනයන්, දෙමාපියන් ආදි ගුණයෙන් වැඩි පුද්ගලයන් මැරීමේ විපාක ඉතා මහත්ය. මහත්වූ ශරීර ඇති සතුන් මැරීමේදී ප්‍රයෝගයත්, එයට ගතවන කාලයත් මහත් බැවින්, මරණය සිදුකරණතෙක් මරණ චේතනාවන්ම ඇති වන හෙයින්, එම කර්මය ද බලවත් වන්නේය.