අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්චානන්තරිය කර්ම

ආනන්තරිය කර්ම පසෙකි. එනම්:-

  1. මාතෘඝාතක කර්මය
  2. පිතෘඝාතක කර්මය
  3. අරහන්ත ඝාතක කර්මය
  4. ලොහිතුප්පාදක කර්මය
  5. සංඝ භේද කර්මය

මේ කර්ම පසම මනුෂ්‍යයෙකුට මුත්, අමනුෂ්‍යයෙකුට කළ නොහැකි වේ. පඤ්චානන්තරිය කර්ම අතුරෙන් යම්කිසි කර්මයක් කළ පුද්ගලයෙක් වීනම් එම අත්බැව්හිම කොපමණ කුසල් කළත් මරණින් මතු ඒකාන්තයෙන්ම අනතුරු අත්බැව්හිම අපායොත්පත්තිය ලබන්නේමය. එහෙයින්ම එයට ආනන්තරිය කර්මය යයි කියනු ලැබේ. හෙතෙම ඔසුපත් නිරයයන් ඇතුළු අටමහ නිරයයන් අතුරෙන් යම්කිසි නිරයක ඉපිද, කල්පාන්තය තෙක් දුක්විඳ එයින් මිදෙන්නේය. එහි ප්‍රතිසන්ධි විපාකය තුන්වන අත්බැව්හි ගෙන නොදෙන්නේය. කල්ප විනාශයට දස දිනකට පෙර ආනන්තරිය කර්මයක් කෙළේවීනම් ඒ පුද්ගල තෙමේ දෙවන අත්බැව්හි ලැබිය යුතු අපාය දුකින් මිදෙන්නේය. අපායෙහි දෙතුන් දිනක් දුක් නොවිඳින හෙයිනි. මේ ගරු කර්මය සත්වන ජවන් සිතින්ම සිද්ධ කරණු ලබන්නක් බැවින් දෙවන ආත්මභාවයෙහි පටිසන්ධි විපාක නුදුනහොත් එම සත්වන ජවන කර්මය අහෝසි කර්මයක් වන්නේය. නමුත්, එම අර්ථසාධක ජවන වීථින්හි දෙවන, තුන්වන, සතරවන, පස්වන, සවන ජවන චේතනාවන්, අපරාපර්‍ය්‍ය වේද්‍ය වශයෙන් අවස්ථා පැමිණිකල්හි, අපාය ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘත්ති විපාකද දෙන බැව් සැලකිය යුතුයි. මහ මුගලන් මහ රහතන් වහන්සේ, පෙර සංසාරයෙහිදි කළාවූ මාතෘඝාතක, පිතෘඝාතක කර්මයන්ගේ දෙවන චේතනාදීවූ අපරාපර්‍ය්‍ය වේද්‍ය අකුසල කර්මයක් හේතුකොටගෙන රහත්වූ අත්බැව්හි සොරු පන්සියයක් විසින් තලා මරා දැමීමෙන් පිරිනිවන් පෑයේයි.

ආනන්තරිය කර්මයක් කළාවූ පුද්ගල තෙමේ ඒ කර්මය වළක් වන පිණිස කොපමණ කුසල කර්මයන් රැස් කෙළේවී නමුත්, බුදුපාමොක් මහ සඟනට මහ දන් දුන්නේ වී නමුත්, අනතුරු අත්බැව්හි අපායොත්පත්තිය ඒකාන්තයෙන්ම වැළැක්විය නොහැකි වේමැයි. අජාසත් රජ තෙමේ පිතෘ ඝාතක ආනන්තරිය පාපකර්මය කොට, ලොහිතුප්පාදක සංඝ භේද කර්මයන්ට සහායව සිට, මෑත භාගයෙහි සාමඤ්ඤ ඵල සූත්‍රාන්ත ධර්ම දේශනාව අසා, තමා කළාවූ පව් ගැන පසුතැවිලි වී බුදුන් වහන්සේ ක්ෂමා කරවාගෙන මේ ශාසනයෙහි අචල ශ්‍රද්ධාවන්ත උපාසකයන් කෙරෙන් අග්‍රයයි, අග තනතුරු ලබා බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම මහා සඞ්ගායනාව පිණිස සප්තපර්ණි ගුහා සමීපයෙන් කෙළ ලක්ෂයක් ධන වියදම් කොට සඞ්ගායනා ධර්ම මණ්ඩපය කරවා, තුන් මසක් මුලුල්ලෙහි මහා කාශ්‍යපාදී පන්සියයක් මහරහතන් වහන්සේට මහ දන් දී පන්දහසක් අවුරුදු මේ ශාසනය නිර්මලව පවත්නා පිණිස උපස්ථම්භක වූයේ නමුත් සැට දහසක් අවුරුද්දට ආයු ඇත්තාවූ ලොහොකුඹු නරකයෙහි ඉපිද, අද දක්වා එහි දුක් විඳින්නේය.

මේ පඤ්චානන්තරිය කර්ම අතුරෙන් සංඝභේද කර්මය අන් හැමටම වඩා බලවත් පාප කර්මයකි. සංඝ භේදය කරන තැනැත්තා සම්බුද්ධ ශාසනයටම අන්තරාදායක කාරණයක්ම කරන්නේය. එබැවින් ආනන්තරිය කර්ම පසම යම් පුද්ගලයෙකු විසින් කරණ ලද්දේ නම්, එයින් සංඝභේද පාපකර්ම යෙහි ප්‍රතිසන්ධි විපාකම ගෙනදෙන්නේය. අවශේෂ කර්ම චතුෂ්කයෙහි සත්වන ජවනයාගේ ප්‍රතිසන්ධි විපාක අහෝසි වේ.

සඞ්ඝභේද කර්මය හැර අවශේෂ කර්ම සතර කෙළේවීනම් ලොහිතුප්පාදක කර්මය විපාක දෙයි. ඉතිරි කර්මත්‍රයෙහි දෙවන ආත්ම භාවයෙහි ලැබිය යුතු පටිසන්ධි විපාක ශක්තිය අහෝසි වෙයි.

සංඝ භේද ලොහිතුප්පාදක කර්ම දෙක හැර ඉතිරි කර්මත්‍රය කෙළේවීනම් අරහන්ත ඝාතක කර්මය විපාක දෙයි. ඉතිරි කර්මද්වයේ සත්වන ජවන යෙහි ප්‍රතිසන්ධි විපාක ශක්තිය අහෝසි වෙයි.

මාතෘඝාතක පිතෘඝාතක කර්මද්වය කෙළේවීනම්, පියා සුසිලවන්තයෙක් වී මව දුශ්ශීල වීනම්, පිතෘඝාතක කර්මය විපාක දෙයි. මව් පිය දෙදෙනාම දුශ්ශීල නම් මාතෘඝාතක කර්මය විපාක දෙයි. මව්පිය දෙදෙනාම සිල්වත් නම්, මාතෘ ඝාතක කර්මයම විපාක දෙයි. මෙසේ වීමට හේතුව, මව්පිය දෙදෙනා අතුරෙන් මවගේ ගුණය මහත්වන හෙයිනි.

සියලු අකුසල් අතුරෙන් බලවත්වූ අකුසල ගරු කර්මය, නියත මිථ්‍යා දෘෂ්ටිය යි. දෙවන ගරු කර්මය පඤ්චානන්තරිය කර්මයි. පඤ්චානන්තරිය කර්ම සිදුවන්නේ දොමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අකුසල ජවන චිත්ත වීථියෙහි සත්වන ජවන චේතනා ශක්තියෙනි. නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය යන ත්‍රිවිධ මිථ්‍යාදෘෂ්ටියත් පඤ්චානන්තරිය කර්මත් එක්කොටගත් කල්හි අට්ඨමිච්ඡත්ත යයි කියනු ලැබේ.