අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නියත මිථ්‍යාදෘෂ්ටිය

ශාස්වත, උච්ඡේද වශයෙන් හෝ පරලොවක් නැත, මැරී උපදින සත්ත්වයෙක් නැත, කුසලාකුසල කර්ම නැත, කර්ම විපාක නැත යනාදී වශයෙන් හෝ නාස්තික දෘෂ්ටි, අහේතුක දෘෂ්ටි, අකිරිය දෘෂ්ටි වශයෙන් හෝ ගැනීම නියත මිථ්‍යා දෘෂ්ටි නම් වේ. එසේ නියත මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගල තෙමේ, මරණයට අනතුරු අත්බැව්හි ඒකාන්තයෙන්ම අවීචිමහා නිරයෙහි උපදින්නේය. මෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් නිරය දුක් විඳ කල්ප විනාශ කාලයෙහි එකවිට නස්නා කෙළ ලක්ෂයක් ලෝකධාතුන්ගෙන් පිටත්හි අවීචිමහ නිරයයන්හි ඉපිද දුක් විඳිමින් අනන්ත අප්‍රමාණ කාලයක් එහිම පැසෙන්නේය.

මිථ්‍යාදෘෂ්ටි අකුසලය ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරින් යම්කිසි සිතකින්ම සිදු වන්නේය. එම අකුසල සිත්හි මෝහයත් දිට්ඨියත් බලවත්වන බැවින් අනිෂ්ට විපාකද බලවත් වේ. මෙහි පටිසන්ධි විපාකය සත්වන ජවනයෙන්ම සිදුවේ.