අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සප්තරසායුෂ්ක නොවන කාමජවන වීථි

අතීතානාගත රූප ශබ්දාදිය හා චිත්ත, චෛතසික, නිබ්බාන, පඤ්ඤත්ති යනාදී අරමුණුවලට, ප්‍රත්‍යුත්පන්න දෙවිසි රූපයන්ට මෙන් ආයු කාලයක් නියම නැති හෙයින් එවැනි අරමුණක් එල්බ ගෙන පහළවන්නා වූ චිත්තවීථියක චිත්තක්ෂණ ගණනක් නියම නැත. ආරම්මණ ස්වභාවය අනුව පහළවන්නා වූ සිත් ඉපිද නිරුද්ධ වූ පසු චිත්ත වීථිය අවසන් වේ. මෙම චිත්තවීථින්හි අතීත භවඞ්ගයන්ගේ ඉපදීමෙක් නැත.

මෙසේ හමුවන ආරම්මණයෝ විභූත, අවිභූත වශයෙන් ද්විවිධ වේ.

1. විභූතාරම්මණයක් හෙවත් ප්‍රකට අරමුණක් හමුවූ කල්හි පිළිවෙලින් භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනොද්වාරාවජ්ජනය ජවන් සතය යන සිත් දසය ඉපිද නිරුද්ධ වූ පසු අරමුණු විභූත බැවින්, තදාරම්මණ සිත් දෙකක් ඉපිද නිරුද්ධ වීමෙන් චිත්තවීථිය අවසන් වේ. මෙය විභූතාරම්මණ චිත්ත වීථියයි.

2. අවිභූතාරම්මණයක් හෙවත් අප්‍රකට අරමුණක් හමුවූ කල්හි භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනොද්වාරාවජ්ජනය සහ ජවන් සත ඉපිද නිරුද්ධ වීමෙන්, අවිභූතාරම්මණ චිත්තවීථිය අවසන් වේ. අරමුණ අප්‍රකට බැවින් තදාරම්මණයන්ගේ ඉපදීමෙක් නැත.