පුබ්බෙනිවාසානුස්සති අභිඥා
පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ පුබ්බෙනිවාසානුස්සති ඤාණය නම් වේ. පෙර ජාතීන්හි කාම, රූප, අරූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට සමත් වූ ස්මෘතිය හෙවත් සතිය පුබ්බෙනිවාසානුස්සති නම් වේ. ඒ සතියෙන් යුත් ඤාණය පුබ්බෙනිවාසානුස්සති ඤාණ නම් වේ.
මේ නුවණ ලබනු කැමැති යොගාවචරයා විසින් රහසිගතව හුදකලාව, එක් අරමුණක සිත පිහිටුවා, පිළිවෙලින් රූපාවචර පඤ්චම ධ්‍යානයට සමවැද, අනතුරුව අභිඥාපාදක ධ්‍යානයෙන් නැගිට තමා හිඳිනා ආකාරය මෙනෙහි කරන්නේය. එතැන් සිට පිළිවෙලින් අසුන් පැනවීම, සෙනසුනට පිවිසීම, එයට පෙර ආහාර අනුභව කිරීම, පළමු සිටි තැනින් පැමිණීම යනාදී වශයෙන් එදින උදය කාලයේදී මුව සේදීම, අවදිවීම, රාත්‍රි ගතකිරීම, එසේම එයට පෙර දිනයෙහි කළ කී දෑ අනුක්රමයෙන්, පටිලොම වශයෙන් මෙනෙහි කරන්නේය. මෙසේ මෙනෙහි කරණා කල්හි යම් කිසිවක් ප්රකටව නොවැටහේ නම්, නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ආවර්ජනා කළ යුතු වේ. මෙසේ ප්‍රතිලොම වශයෙන් දෙවෙනි දවසද, තුන්වෙනි දවසද, සතර, පස්වැනි දවස ආදී වශයෙන් මාස වර්ෂ ගණන් ආපසු බලන්නේ මේ අත්බැව්හි තමාගේ ප්රතිසන්ධිය තෙක් මෙනෙහි කළ යුතු වේ. එතැනින් නොනැවතී එයට අනතුරුව පූර්වභවයෙහි චුතික්ෂණයත් ඒ සමඟ පැවති නාමරූපත් ආවර්ජනා කළයුතු වේ. භාවනාවට පටන්ගත් තැන් සිට එම භවයෙහි ප්රතිසන්ධිය දක්වා පිරියම් පිණිස පැවැති සමාධිය පරිකර්ම සමාධිය නම් වේ. යම් කලෙක මේ ප්රතිසන්ධි අවස්ථාව ඉක්මවා අනතුර පෙර භවයෙහි චුතික්ෂණයෙහි පැවැති නාම රූප අරමුණු කරන්නේ නම්, එය පුබ්බෙනිවාසානුස්සති ඤාණය නම් වේ. මෙසේ ඇති කල්හි එම නාමරූපයන් අරමුණු කොට ගෙන මනොද්වාරාවජ්ජන චිත්තය උපදී. එයට අනතුරුව ජවන් සතරක් උපදී. එයින් අවසානයෙහිවූ සතරවැනි සිත රූපාවචර අර්පණා සිතය. ඒ සිත හා සමඟ උපදනා ඥානය පුබ්බෙනිවාසානුස්සති ඥානය නම් වේ.
මේ ක්‍රමයෙන් ජාති එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඒ ඒ ජාතින් පිළිබඳ ස්කන්ධ සන්තතිය හෝ ජාති සියයක් දහසක් හෝ නොයෙක් සංවට්ටකල්ප හෝ නොයෙක් විවට්ටකල්ප හෝ අනෙක ප්‍රකාරයෙන් සිහි කරන්නේය.
මේ පූර්ව නිවාසය සිහි කරන්නාවූ පුද්ගලයෝ සදෙනෙකි. එනම්:- තීර්ථකයාය, ප්‍රකෘති ශ්‍රාවකයාය, අසූ මහා ශ්‍රාවකයෝය, අග්‍ර ශ්‍රාවකයෝය, පසේ බුදුවරයෝය, සම්මා සම්බුදුවරයන් වහන්සේය.
මෙයින් කර්මවාදී, ක්‍රියාවාදී තාපසාදීන්ගේ ඤාණයෙන් ඉකුත් සතලිස් (40) කපක් කල් සිහි කරති. ඔවුන් හට විදර්ශනා ඥානය නැති හෙයින් ස්කන්ධ පටිපාටියෙන්ම සිහි කරති.
ප්‍රකෘති ශ්‍රාවකයෝ කල්ප සියක් දහසක් සිහි කරති. එයද ස්කන්ධ පිළිවෙලින් හෝ චුති පටිසන්ධි පිළිවෙලිනි.
අසූ මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් චුති ප්රතිසන්ධි ක්‍රමය අනුව සිහි කෙරෙති.
දෑගසව්වෝ එකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් චුති පටිසන්ධි පිළිවෙලින් සිහි කෙරෙති.
පසේබුදුවරයෝ දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් චුතිපටිසන්ධි වශයෙන් සිහි කරති.
බුදුවරුන්ට වූ කලි ස්කන්ධ පටිපාටියක් හෝ, චුතිපටිසන්ධි පටිපාටියක් හෝ කාල නියමයක් හෝ නැත්තේය. නොයෙක් කෝටි ගණන් කල්ප අත්හැර යම් යම් කලක් බැලීමට කැමැති වන්නේ නම් ඒ ඒ කාලය ප්‍රකට වේමය.