අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පරචිත්ත විජානන අභිඥා

අන්‍ය සත්ත්වයන්ගේ සිතෙහි ස්වභාවය පිරිසිඳ දන්නා නුවණ පරචිත්ත විජානන ඤාණය නම් වේ. එයටම චේතොපරිය ඤාණය යයි ද කියනු ලැබේ.

දිව්‍යචක්ෂුරභිඥාන ලාභී යොගාවචර තෙමේ පළමුකොට කසිණා ලෝකය වඩා දිව ඇසින් අන්‍ය වූ සත්ත්වයෙකුගේ හෘදය මාංස පිණ්ඩය බලන්නේය. එවිට හෘදය ඇසුර කොට පවත්නා ලේ ධාතු වෙහි වර්ණය බැලීමෙන් සරාගාදී වූ සිත බලන්නේය.

සොම්නස් සිතක් පවත්නා කල ඒ ලේය විලිකුන් නුග ඵලයක් මෙන් රතු පැහැය ඇත්තේය. දොම්නස් සිතක් පවත්නා කල, විලිකුන් අඹ ඵලයක් මෙන් කළු වර්ණ වේ. උපෙක්ෂා සිතක් පවත්නා කල පහන් තලතෙල් බඳු පැහැය වේ. එහෙයින්, ඒ හේතූන් අනුව, මේ සිත සොමනස්සින්ද්‍රිය සහගතය, මෙය උපෙක්ඛින්ද්‍රිය සහගතය, යනාදී වශයෙන් දැනගන්නේය. මෙසේ අනුමාන වශයෙන් දිව්‍යචක්ෂුරභිඥානයෙන් දැනගත් පසු, නැවත නැවත නුවණ මෙහෙයවා සෙවීමෙන් චේතොපරියඤාණය ශක්තිමත් බවට පැමිණෙන්නේය. මෙසේ සිය දහස් වර බැලීමෙන් චේතොපරියඤාණ යට ආසන්නව පිහිටි කල්හි ඒ ක්ෂණයෙන් ඒ සත්ත්වයාගේ සිතඅරමුණුකොට මනොද්වාරාවජ්ජන සිතක් උපදී. එයට අනතුරුව ජවන් පසක් හෝ සතරක් ඉපිද නිරුද්ධ වන්නේය. එයින් අවසාන සිත රූපාවචර පඤ්චමධ්‍යාන සිතය. ඒ සිත හා යෙදුනු ප්‍රඥා චෛත සිකය චෙතොපරිය ඤාණ නම් වේ. ඒ සිතින් සරාග, වීතරාග, සදොස, වීතදොස, සමොහ, වීතමොහ යනාදී වශයෙන් සොළොස් ආකාර වූ චීත්තයන් දැන ගන්නේය.