ඵලසමාපත්ති වීථි
ප්‍රඥා භාවනාවෙහි හෙවත් විදර්ශනා වැඩීමෙහි ආනිශංස වූ කෙළෙස් නැසීමය, ආර්‍ය්‍ය ඵල රසය අනුභව කිරීමය, නිරෝධ සමාපත්තියට සමවැදීමට සමත් බවය, ආහුනෙය්‍ය භාවාදී සිද්ධිය යනාදී අනෙකවිධ අනුසස් අතුරෙන් ආර්‍ය්‍ය ඵල රස අනුභව කිරීම ද්විප්‍රකාර වේ. එයින් මාර්ග චිත්ත වීථියෙහි, මාර්ග සිතට අනතුරුව අකාලික විපාක වශයෙන් ලැබෙන්නාවූ ඵල සිත් දෙතුන්දෙනාගේ පහළවීම පළමුවෙනි ආර්‍ය්‍ය ඵල රස අනුභව කිරීම නම් වේ. ප්රවෘත්ති කාලයෙහිදී ඵල සමාපත්තියට සමවැදීම දෙවෙනි ආර්‍ය්‍ය ඵල රසය අනුභව කිරීම නම් වේ.
ආර්‍ය්‍යයන් වහන්සේගේ ඵල චිත්තය වනාහී අප්‍රමාණ වූ නිර්වාණය අරමුණුකොට පටිප්පස්සද්ධිප්රහාණියෙන් ක්ලේශයන්ගේ සංසිඳුවීම කර වන චිත්තයකි. මෙසේ නිර්වාණාලම්බණය ගෙන උපදනා ඵල චිත්තයන්ගේ පැවැත්ම හෙවත් අර්පණාව ඵල සමාපත්ති නම් වේ.
සියලුම ආර්‍ය්‍යයෝ තම තමන් පිළිබඳ ඵලයට සමවදින්නාහුය. සෝවාන් ආර්‍ය්‍ය පුද්ගල තෙමේ සෝවාන් ඵලයටද, සකෘදාගාමි පුද්ගලතෙමේ සකෘදාගාමි ඵලයටද, අනාගාමී පුද්ගලතෙමේ අනාගාමි ඵලයටද, රහතන් වහන්සේ රහත් ඵලයටද සමවදින්නේය. සකෘදා ගාමි පුද්ගලතෙමේ සෝවාන් ඵලයට සම නොවදී. අනාගාමි පුද්ගල තෙමේ සෝවාන් සකෘදාගාමි ඵලයන්ට සම නොවදී. රහතන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඵලයන්ට සම නොවදී.
මෙසේ ආර්‍ය්‍යයන්ගේ ඵල සමාපත්තියට සමවැදීම, ඉහාත්ම යෙහිම කෙලෙස් විඩා දාහයන් සංසිඳුවා, නිවණ අරමුණු කරමින් සුවසේ වසනු පිණිසමය. කැමැති, කැමැති කෙණෙහි ආර්‍ය්‍ය පුද්ගලයෝ ඵල සමවතට සමවදිත්.
ඵලසමවතට සමවදනා කැමැති ආර්‍ය්‍ය පුද්ගලතෙමේ රහසිගතව, නොයෙක් අරමුණෙන් වැළකී සිතින්, උදයව්යයාදී වශයෙන් සංස්කාර යන් විදර්ශනාවට නංවන්නේය. එසේ මනාකොට පරිපූර්ණ වූ විදර්ශනා ඥාන ඇති කල්හි භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, මනොද්- වාරාවජ්ජනය, පරිකර්මය, උපචාරය, අනුලෝමය, වොදානය යන සිත් පිළිවෙලින් ඉපිද අනතුරුව ඵල සමාපත්ති වශයෙන් නිවන් අරමුණු කරමින් ඵල සිත් පිළිවෙලින් කැමැති තාක් කල් උපදී. ආර්‍ය්‍ය පුද්ගල තෙමේ, සමථයානිකයෙක්ව, වැඩූ ධ්‍යානය පාදක කොට ගෙන මාර්ග ඵල ලැබූයේවීනම්, ඕහට එම ධ්‍යානික ඵලයම ලැබෙන් නේය. එවිට ඔහුගේ ඵල සමාපත්තිය වන්නේ එම ධ්‍යානික ඵල සිත්මය. සමවතට සමවැදීමට පෙර අසුවල් කාලයෙහි ඵල සමවතින් නැගී සිටිමියි අධිෂ්ඨාන කෙළේවීනම්, ඒ කාලය තුළ සමවතෙහි සිටීම වන්නේය. මේ ඵල සමාපත්තියෙන් නැගිටීමේදී, අවසාන ඵල සිතට අනතුරුව තමන්ගේම ඤාණ සම්ප්‍රයුක්ත විපාකයක් වූ භවඞ්ග සිතින් සමවතින් නැගිටීම වන්නේය.
මන්දප්‍රාඥයා හට උපදනා ඵල සමාපත්ති වීථිය මෙසේයි.
...භ න ද ම ප උ නු වො එ එ එ ... භ භ ...
තික්ඛප්රාඥයා හට පරිකර්ම සිත පමණක් නූපදී.
මේ ඵල සමාපත්ති වීථිය, ධ්‍යාන සමාපත්ති වීථියට බොහෝ සෙයින් සමානය. ගොත්රභූ චිත්තය වෙනුවට වොදාන සිත ද, ධ්‍යාන සිත් වෙනුවට ඵල සිත් ද යොදාගත් කල්හි ඵල සමාපත්ති වීථිය දතහැකි වේ.
ශුෂ්කවිදර්ශක ආර්‍ය්‍ය පුද්ගල තෙමේද ඵල සමාපත්තියට සම වදනා හෙයින්, හෙතෙමේ මාර්ගය උපදවා ගැනීමට පෙර ධ්‍යාන වඩා තිබෙන බව පැහැදිලි වේ. එසේ ධ්‍යාන නොවැඩූ පුද්ගලයෙකුට ලෞකික ධ්‍යානයන්ට වඩා සෑම ආකාරයකින්ම උතුම් වූ ආනන්තරික සමාධිය නම් වූ මේ ඵල සමාපත්තියට සමවැදීමට නොහැකි වේ.