ඉද්ධි විධි අභිඥා
ඉද්ධිවිධඤාණය උපදවනු කැමැති යොගාවචරයා විසින් පඨවී කසිණයේ පටන් ඕදාත කසිණය දක්වා ඇති අට කසිණයන්හි ලෞකික සමාපත්ති අට අට උපදවාගෙන අනතුරුව තුදුස් ආකාරයෙන් සිත දමනය කළ යුතුවේ. ඒ තුදුස් ආකාරය නම්:-
- කසිණානුලොමය.
- කසිණ පටිලොමය.
- කසිණානුලොම පටිලොමය
- ධ්යානානුලොමය.
- ධ්‍යාන පටිලොමය.
- ධ්යානානුලොම පටිලොමය.
- ධ්‍යාන උල්ලඞ්ඝනය.
- කසිණ උල්ලඞ්ඝනය.
- ධ්‍යාන කසිණ උල්ලඞ්ඝනය
- අඞ්ග සඞ්කන්තිකය.
- ආලම්බණ සඞ්කන්තිකය.
- අඞ්ග ආලම්බණ සඞ්කන්තිකය.
- අඞ්ග ව්‍යවස්ථාපනය.
- ආලම්බණ ව්‍යවස්ථාපනය.
මේ තුදුස් ආකාරයෙන් සිත දමනය නොකොට; පූර්ව ජන්ම යන්හි භාවනා නොවැඩූ, ධ්‍යාන නොවැඩූ පුද්ගලයා හට සෘද්ධි විධඥානය නො ලැබෙන්නේමය. ආදිකර්මිකයාහට මේ කසිණ පරිකර්මයද ඉතා දුෂ්කර ක්‍රියාවකි. උග්ගහනිමිත්ත තෙක් කසිණ පරිකර්මය වැඩූ පුද්ගලයාහට ප්‍රතිභාග නිමිත්ත ඉපදවීම ඉතා දුෂ්කරය. ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි ද උපචාර අර්පණා ලැබීම දුෂ්කරය. අර්පණාලාභියා හට තුදුස් ආකාරයකින් සිත දමනය කිරීම ඉතා දුෂ්කරය. තුදුස් ආකාරයෙන් සිත දමනය කළ තැනැත්තා හටද සෘද්ධි විකුර්වණය හෙවත් අන් වේශයන් ගැනීම ඉතා දුෂ්කරය. සෘද්ධි විකුර්වණය ඇත්තා හටද ඛිප්පනිසන්තිභාවය හෙවත් වහ වහා ධ්‍යානයට සමවැදීම අති දුෂ්කරය. එබැවින් ආදිකාර්මික යොගාවචරයා විසින් මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කොට ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යන සතර සෘද්ධිපාදයන් පෙරටු කොට ගෙන, ධ්‍යානයට සමවැදීම් වශයෙන් පඤ්චවසිතාදියෙන් මොලොක් කොට, සෘද්ධිවිධඥානය ලබනු පිණිස භාවනා කළ යුතුය. මෙසේ භාවනා වඩන යොගාවචරයාහට සද්ධා, වීර්‍ය්‍ය, සති සමාධි, ප්‍රඥා, ආදියෙන් රුකුල් ලැබ, ධ්‍යාන සමාධීන් සමාහිතවූ කල්හි, නීවරණ යන් විෂ්කම්භණ වශයෙන් දුරු කොට පිරිසුදුවී, ක්‍රමයෙන් විතර්කා දී ඖදාරිකාඞ්ගයන් පහවීමෙන් ප්රභාස්වරවී, පහවූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, උපක්ලේශයන්ගෙන් මිදී, පඤ්චප්‍රකාර වසීභාවයට පැමිණී මෙන් මෘදු වී, සෘද්ධිපාද භාවයට ආසන්න බවට පැමිණීමෙන් කර්මණ්ය වී, භාවනාව සම්පූර්ණ කොට, පඤ්චමධ්යානයෙහි සිත නිශ්චල බවට පමුණුවා, කසිණාලම්බණයෙන් ධ්‍යාන සිත වෙන් කොට, සෘද්ධිවිධය පිණිස අභිමුඛ කොට, ඉපදවිය යුතු සෘද්ධියට නංවන්නේය.
සෘද්ධිය දැක්වීමට කැමැති යොගාවචර තෙමේ පළමුකී පරිදි සෘද්ධිය පිළිබඳ මූල ධර්ම සම්පාදනය කොට, අභිඥාපාදක පඤ්චමධ්‍යානයට සමවැද එයින් නැගී සියයක් වනු කැමැති නම් “සියයක් වෙමියි” කාමාවචර සිතින් මෙනෙහි කිරීමෙන් පරිකර්ම කොට නැවත ආවර්ජනා අභිඥා පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී “සියයක් වෙමියි” ඉටා ගන්නේය. එවිට ඒ අධිෂ්ඨාන චිත්තය සමග සියයක් වේ. දහසෙක් වෙමියි පරිකර්මාදිය කෙළේවීනම් එසේම වෙයි. හෙතෙමේ මෙසේ බොහෝව, එකෙකු වෙමියි අධිෂ්ඨාන කෙළේ වීනම් එසේම වන්නේය. තවද මේ ක්‍රමයෙන්ම අප්‍රකට දෙය ප්‍රකට කිරීමත්, ප්‍රකට දෙය අප්‍රකට කිරීමත්, දුර වූ දැය ලං කිරීමත්, ලංවූ දැය දුර කිරීමත්, අහසෙහි ගමන් කිරීමත්, පොළොව කිමිදීමත් ජලයෙහි ඇවිදීමත් යනාදිය අධිෂ්ඨාන කෙළේවී නම් ඒ ඒ අධිෂ්ඨානය පරිදිම සිද්ධ වන්නේය. මෙලෙසින්ම මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව සම්පන්න සඳ හිරු දෙදෙනා ද අත් පසට ගැනීම, හිඳ හෝ අතින් පිරිමැදීම, අතින් අල්වා ගැනීම, යනාදි සෘද්ධීන් මේ සමාධි බලයෙන්ම දක්වන්නාහ.
තවද සෘද්ධිමත් තෙමේ, කුමාර වේශයක් හෝ, නාග වේශයක් හෝ ගුරුළු වේශයක් හෝ, ශක්‍ර, දිව්‍ය, බ්‍රහ්ම, සමුද්‍ර, පර්වත, සිංහ, ව්යාඝ්ර, ඇත් අස් ආදී වශයෙන් අතුරෙන් යමක් මවනු කැමැත්තේ නම්, ඒ ඒ දැය අධිෂ්ඨාන කොට, පඨවි කසිණාදීන් අතුරෙන් යම්කිසි ආරම්මණයකින් අභිඥා පාදක ධ්‍යානයට සමවැද, එයින් නැගී තමා කැමැති වේශයක් ආවර්ජනා කළ යුතුයි. එසේ ආවර්ජනා කොට, පරිකර්මාවසානයෙහි නැවත සමවතට සමවැද එයින් නැගී මෙබඳු වේශයකින් පෙණේවා යි අධිෂ්ඨාන කිරීම හා සමඟම, එසේ වන් නේය.