දිබ්බසෝත අභිඥාව
දෙව්ලොව උපන් දෙවියන්හට, ශ්‍රද්ධා බහුලභාවය, පිරිසුදු දෘෂ්ටිය ඇති බවය, ආනිසංස ඇදහීමය යනාදී මනාව කරණ ලද පුණ්යකර්මයන්ගේ විපාක වශයෙන් පලිබෝධයන්ගෙන් මිදුණු හෙයින්, ඉතා දුරවූද, ඉතා සියුම්වූද, ශබ්ද ඇසීමට පවා සමර්ථ ප්‍රසාද සෝත ධාතුවක් ඇත්තේය.
එසේම යෝගාවචර තෙමේ, ධ්‍යාන සමාධින් සමාධිමත්වූ කල්හි පිරිසුදුවූ, මිනිස් කන්හි ශබ්ද ඇසීමේ ශක්තිය ඉක්ම සිටි, දෙවියන් ගේ සෝතය වැනි හෙයින් දිබ්බසොත යයි කියන ලද නුවණින්, දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, උභය ශබ්දයන් අසන්නට සමර්ථවන් නේය.
දිබ්බසොතඤාණය උපදවනු කැමැති යෝගාවචර තෙමේ අභිඥාපාදක ධ්‍යානයට සමවැද එයින් නැගී, පරිකර්ම වශයෙන් හටගත් සමාධි සිතින් පළමුකොට ප්‍රකෘති ශ්රෝතප්රසාදයට විෂයවූ වනසතුන් ආදීන්ගේ ඖදාරික ශබ්දය ආවර්ජනා කළ යුතුවේ. මෙසේ ක්‍රමයෙන් ලං ලංව අවුත් තමා වසන ස්ථානය අවට ඇති කථා ශබ්දය පක්ෂීන්ගේ නාදය, වාතයෙන් හටගත් ශබ්දය, අව්වෙහි වියලෙන පත්රාදීන්ගේ ශබ්දය කුරුකුහුඹු ආදීන්ගේ ශබ්දය යනාදී වශයෙන් සියලු ඖදාරික ශබ්දයන් වෙන් වෙන් වශයෙන් ආවර් ජනා කොට හැඳින ගත යුතුවේ.
තවද, දිසා වශයෙන්ද, ශබ්දයන් මෙනෙහි කළ යුතුවේ. පූර්ව දිසාව, පශ්චිම දිසාව, උත්තර දිසාව, දක්ෂිණ දිසාව, හෙට්ඨිම දිසාව උපරිම දිසාව, නිරිත, ඊසාන, වයඹ, ගිනිකොන යන අනුදිසාවන්දැයි මෙසේ දශ දිසාවන්හි පවත්නා ශබ්ද වශයෙන් සිහි කළ යුතුවේ. මෙසේ මෙනෙහි කරණ කල්හි ඒ ඒ ශබ්ද ප්‍රකෘති සිතට ප්‍රකට වෙයි. පරිකර්ම සමාධි සිතට අතිශයින්ම ප්‍රකට වේමය. මෙසේ දිව්‍ය ශ්‍රෝතය ඉපදීමට ලංවූ කල්හි ඒ මොහොතෙහි කරණ ලද යම් කිසි ශබ්දයක් අරමුණු කොට මනෝද්වාරාවජ්ජන සිතක් ඉපිද නිරුද්ධවූ පසු, තික්ඛප්රාඥයෙකු වී නම්, උපචාර, අනුලොම ගොත්රභූ යන කාමාවචර සිත් තුනද, මන්දප්රාඥයෙකු වී නම් පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්රභූ යන කාමාවචර සිත් සතරද ඉපිද අනතුරුව පඤ්චම ධ්‍යාන අර්පණා චිත්තය උපදී. ඒ සිතෙහි උපදනා ඤාණය දිව්‍ය සොත ධාතු හෙවත් දිව්යසොතඤාණය නම් වේ.
මේ ඤාණය ස්ථිර වශයෙන් පිහිටි කල්හි, මෙතෙක් තැන පැතිරේවායි අධිෂ්ඨාන කොට, පාදකධ්‍යානයට සමවැද, එයින් නැගිට, එහි වූ ශබ්දය ආවර්ජනය කරන්නේය. තමාට ඉතාම ආසන්නයෙහි පටන් ක්‍රමයෙන් පිටත වූ ශබ්ද යන්ද නොදුරු ගම් දනවූ ආදීන්හි ශබ්දද, මේ පිළිවෙලින් සක්වළ තෙක්ද, එයින් පිටතද පවත්නා ශබ්දයන් අසන්නාහ. මේ ශබ්දයන් වෙන් වෙන් වශයෙන් බෙදා අසනු කැමැති කල්හි ඒ එක එක ශබ්දයක් පාසා නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදිය යුතුවේ.