අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දිබ්බචක්ඛු අභිඥාව

දිබ්බචක්ඛු අභිඥාව උපදවාගනු කැමැති පුද්ගල තෙමේ, පළමු කොට, දුර පවත්නාවූ හෝ ප්‍රතිච්ඡන්න හෙවත් වැසී තිබෙන්නාවූ හෝ සියුම්වූ හෝ රූප දකිනු කැමැත්ත ඇති කල්හි, තේජෝ කසිණ ඕදාත කසිණ, ආලොක කසිණ යන කසිණ තුන අතුරෙන් එකක් අරමුණු කොට ගෙන රූපාවචර පඤ්චමධ්‍යානයට සමවදින් නේය. මෙයට පරිකර්ම පාදක ධ්‍යානය යයි කියනු ලැබේ. දෙවනුව, නොදක්නා ලද රූපයන් අරමුණු කොට ගෙන අසුවල් අසුවල් රූපයන් දකින්නෙමියි අධිෂ්ඨාන කර කාමාවචර මනොද්වාර වීථි පහළවේ. එයට පරිකර්ම වීථි යයි කියති. තුන්වෙනුව, එක් කසිණයක් අරමුණු කොට ගෙන නැවත රූපාවචර පඤ්චමධ්‍යානයට සමවදින්නේය. එයට අභිඥා පාදක ධ්‍යාන වීථිය යයි කියති. සතරවැනිව, වර්තමාන රූපයන් අරමුණු කොට ගෙන ඉතා පිරිසුදු විශේෂ දැකුම් ඇති ජවන් සිත් පහළවන රූපාවචර පඤ්චමධ්‍යාන අභිඥා වීථිය හටගන්නේය. මෙසේ ඒ ඒ අභිඥාවෝ උපදවා ගැනීම සඳහා සතර සතර බැගින් චිත්ත වීථි ඇතිකර ගත යුතු වේ. ඒ චිත්ත වීථිය මෙසේයි.

...න ද ම ප උ නු ගො අභිඥා භ භ...

මේ අභිඥාවට, දිබ්බචක්ඛු අභිඥාව යයි කියනු ලබන්නේ කුමක් නිසාදැයි දත යුතු වේ.

දෙවියන්ට වනාහි තමන්ගේ පෙර කුසලානුභාවයෙන් පහළවූ පළිබොධ රහිතවූ, උපක්ලේශයන්ගෙන් මිදුනු හෙයින් ඉතා දුරවූ රූපාලම්බණය පිළිගැනීමට සමර්ථවූ, දිව්‍යමය ප්‍රසාද චක්ෂුවක් ඇත්තේය. භාවනා බලයෙන් ලබාගත් මේ ප්‍රඥා චක්ෂුෂය දිව්‍ය චක්ෂුෂය මෙන් බැහැරවූද රූපාලම්බණය දැකීමට සමර්ථ හෙයින් ද, දිව්‍ය විහාර වශයෙන් ලබන ලද හෙයින්ද කසිණාලොකයේ උපකාරයෙන් පැමිණිය යුතු බැවින්ද, පාදක ධ්‍යාන සඞ්ඛ්‍යාත දිව්‍ය විහාරය නිශ්‍රය කොට ලබා ගත් හෙයින්ද, ඤාණාලොකය පතුරුවා දෙවියන්ට මෙන් බිත්ති ආදීන් පිටතවූ රූප බැලීමෙන් මහත් දිව්‍ය ගති ඇති බැවින්ද දිබ්බ චක්ඛු නම් වේ.

තවද, මේ දිවැස් ඇති අභිඥා ලාභී පුද්ගල තෙමේ තමාගේ ධ්‍යානාලොකය නිරයයන් කරා පතුරුවා, නිරිසතුන් දිව නැණින් දැක ඔවුන් නිරයයන්හි උපදවාලු කර්මයන් බැලීමට හෙවත් දැනගැනීමට කැමතිවන්නේ, පාදකධ්‍යානයට සමවැද ඉන් නැගී “මේ සත්ත්වයා කවර නම් කර්මයක් කොට නිරයෙහි ඉපිද මෙසා මහත් දුක් අනුභව කෙරේදැයි මෙනෙහි කරණ කල්හි, මෙනම් කර්මයකැයි වැටහී, එම කර්මය අරමුණු කරන්නාවූ ඤාණය පහළවන්නේය. එසේම ධ්‍යානාලෝකය දිව්‍යලෝකයන් කරා පතුරුවා දෙව්ලොව දිව සැප විඳින පුද්ගලයන් දැක මේ සත්ත්වයන් කිනම් කුසල කර්මයන් කොට මේසා මහත් සම්පතක් අනුභව කෙරෙත්දැයි මෙනෙහි කරණ කල්හි මෙ නම් කුසල කර්මයකැයි වැටහී, එම කර්මය අරමුණු කරන්නාවූ ඤාණය පහළවන්නේය. මෙයට යථා කම්මුපගඤාණය හෙවන් යථා කම්මුපග අභිඥා යයි කියනු ලැබේ.

යම් සත්ත්වයෙකු දැක ඔහු විසින් නිපදවන ලද කර්මයකින් මතු උපදනා ආත්ම භාවය බලනු කැමැති දිව්‍යචක්ෂුරභිඥානලාභී පුද්ගල තෙමේ, ඒ යථා කම්මුපග ඤාණයම පාදක කොට ගෙණ අනාගතංස ඤාණය උපදවාගන්නේය. මේ ඤාණ දෙකම දිබ්බ චක්ඛුඤාණය ඇති කල්හිම ලැබේ. නැති කල්හි නො ලැබේ.

තවද, ඒ දිව්‍යචක්ෂුරභිඥානය පෘථග්ජනයාහට අන්තරාය කර වේ. ඔහු යම් යම් තැන් ආලෝක වේවායි අධිෂ්ඨාන කොට කසිණාලෝකය ඒ ඒ තැන්හි පතුරුවාද, එකල්හි යක්ෂ, රාක්ෂසාදී රූප දර්ශනයෙන් භය ඉපිද සිත් විකල් බවට හෝ පැමිණ, ධ්‍යානයෙන් පිරිහී උමතු බවටද පැමිණිය හැකි වේ.