අර්පණා ජවන වීථි
අර්පණා යනු මහග්ගත ලොකොත්තර ජවන් සිත්වලට නමෙකි. එනම්:-රූපාවචර කුසල් සිත් පසත්, ක්‍රියා සිත් පසත්, අරූපාවචර කුසල් සිත් සතරත්, ක්‍රියා සිත් සතරත්, ලොකොත්තර මාර්ග සතරත්, ඵල සතරත් යන සවිසි (26) චිත්තයෝ යි. සසම්ප්‍රයුක්ත වූ චිත්තය අරමුණට පමුණුවන අර්ථයෙන් අර්පණා නම් වේ. එය විතර්කයාගේ පර්‍ය්‍යාය විශේෂයකි.
මෙකී අර්පණා නම්වූ ජවන් සිත් පහළවන මනොද්වාර චිත්ත වීථි, අර්පණාජවන වීථි නම්.
ලෞකික ධ්‍යානයන් හෝ ලොකොත්තර මාර්ගයන් හෝ වඩනා කල්හි, චිත්තෙකග්ගතා නම් වූ බලවත් සමාධිය ඇතිවන බැවින්, ඒ සිත්වලට හමුවන අරමුණු ඉතා ප්‍රකට අරමුණු වෙත්. එබැවින් අර්පණා ජවන වීථිවල විභූතාරම්මණ මිස අවිභූතාරම්මණ වීථි නොලැබේ. කාමාවචර සත්ත්වයන්ට කාමාවචර අරමුණක් එල්බගෙණ හටගන්නා, කාමාවචර ජවන් සිත් පහළවන චිත්ත වීථින්හි පමණක් යෙදෙන තදාරම්මණ සිත්, අර්පණා ජවන වීථින්හි නොලැබේ.
අර්පණා ජවන වීථි තුන්වැදෑරුම් වේ. එනම්:
- ධ්‍යාන වීථි
- මාර්ග වීථි
- සමාපත්ති වීථි
අෂ්ට සමාපත්ති, මාර්ගඵලාදි උත්තරීමනුෂ්‍ය ධර්මයන් ඉපද වීමට පූර්වභාගයෙහිදී, පළමුකොට ප්‍රථම ධ්‍යානය උපදවා ගතයුතුවේ. ඒ ප්‍රථම ධ්‍යානය, ආවජ්ජන, සමාපජ්ජන, අධිෂ්ඨාන, උට්ඨාන, ප්රත්යවෙක්ඛණ යන පඤ්ච වසිතාවන්ගේ වශයෙන් පුරුදු කොට ගෙණ, ඒ ප්‍රථම ධ්යානයාගේම උපකාරයෙන් අෂ්ට සමාපත්ති උපදවාගනු ලැබේ.
ඒ පරිද්දෙන්ම, ප්‍රථම ධ්‍යානය පටන් පඤ්චම ධ්‍යානය දක්වා සියලු රූපාවචර ධ්‍යානයන් උපදවා, පඤ්ච වසිතාවෙන් පුරුදුකොට ගෙණ, නැවත පඤ්චමධ්යානයාගේම පඤ්චාභිඥාවෝ උපදවාගන්නා හුය.
තවද, ඒ ප්‍රථමධ්‍යානාදී ධ්‍යානයකට සමවැද, එයින් නැගිට ධ්‍යානය පාදක කොට ගෙන හෝ, පාදකකොට නොගෙන හෝ, ත්‍රෛභූමික සංස්කාර ධර්මයන් සම්මර්ශනය කොට, සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණිය යුතුය.
තවද, ඒ ප්‍රථම ධ්‍යානය උපදවාගෙන, එතැන් පටන් අනිකුත් රූපාවචර, අරූපාවචර ධ්‍යානයන් පිළිවෙලින් උපදවා, අෂ්ට සමාපත්තින්ට සමවැද, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානලාභී ආර්‍ය්‍ය පුද්ගල තෙමේ චිත්තප්‍රවෘත්තිය නිරුද්ධ කිරීමෙන් සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට සමවදනේය.
මෙසේ ප්‍රථමධ්‍යානය පටන් නිරෝධ සමාපත්තිය අවසන් කොට ඇති සියලු උත්තරීමනුෂ්‍ය ධර්මයන් උපදවා ගැනීමට විතර්ක සඞ්ඛ්‍යාත අර්පණාව ප්‍රධාන ධර්මය වේ. එසේ හෙයින් සියලු උත්තරීමනුෂ්‍ය ධර්මයන්ටද අර්පණා යන නාමය ව්‍යවහාරවේ.